අඳුරු කුටියට
නොනිවෙන පහනක් දල්වන්න
සමාජය යනු විවිධ අදහස්, මතවාද ඇති අයගේ එකතුවකි. සමාජය සමඟින්ම ජීවිතය පවත්වනවා
විනා ඉන් බැහැරව තනිව ජීවත්වීම අසීරු ය.
දම්වැලක් සේ ඔවුනොවුන් එකිනෙකාට බැඳී සිටී. මෙහිදී උගත් – නූගත්, ලොකු – කුඩා,
උතුම් - අධම ආදී වශයෙන් නොයෙක් තරාතිරමේ පිරිස් සමඟ එකට මුහුණ දෙන්නට සිදුවේ. ඒ
ඇසුරේ දී නොයෙක් දෙනාගේ සත්‍ය වූ හෝ අසත්‍ය වූ හෝ නොයෙක් කරුණු පිළිබඳ තමාගේ සිතට
පීඩා ගෙන දෙන වචනයට ක්‍රියාවන්ට ද මුහුණ දෙන්නට සිදුවනු ඇත.
සමාජයෙහි කිසිම කෙනකුට තමා නිතර ගැටෙන ලෝකයෙන් හොඳ පමණක් ම දැකීමටත්, ඇසීමටත්
නොලැබේ. ගමනක් යන්නට බස් රථයකට ගොඩ වූයේ යැයි සිතන්න. ඇතැම් විට ඒ ගමන අවසන් වීමට
මත්තෙන් තමන් අකැමැති, තමන්ගේ සිතට නොරුස්සන කටුක වචන, අනුන්ගේ නොමනා හැසිරීම් ආදී
කොතෙකුත් දේ සිදුවිය හැකි ය. ලෝකයෙන් අප වෙත එන එවැනි දුබලකම් නිසා තමන්ගේ සිතට
ක්‍රෝධය නංවා, එසේත් නැති නම් චිත්ත සන්තානයෙහි යටපත් වී ඇති ක්‍රෝධය මතුකොට,
අනුන්ගේ දුබලකම් අනුව තමා ද වෙනස් වන කෙනකු වූයේ නම් එය මහත් වූ අරගලයකට මුහුණපෑමට
හේතුවන්නකි.
ඒ වගේ ම කෙනකුගේ පරුෂ වචනයට හෝ මොනයම් ආකාරයකින් චිත්ත දූෂණයට හේතුවන වචන නිසා හෝ
නොමනා හැසිරිම නිසා හෝ තමන් කෝපයට පත්ව ඒ ඒ ක්‍රියාවන්ට එකට එක කිරීමටත්, දොස් පවරා
ගැනීමටත්, එකට එක කිරීමටත් පෙළඹෙන්නේ නම්, එයින් දෙපාර්ෂවයට ම විපතක් මිස සැපතක්,
දියුණුවක් නම් කිසි කාලයක දී සැලසෙන්නේ නැත.
“සුනඛයකු පය සපා කෑ විට තමා ඒ සුනඛයාගේ පය සපා කන්නේ නැත.ආක්‍රෝශ පරිභව කිරීම්
හමුවේ පහරදීම් හෝ යමකුගේ කෝප සහගත හැසිරීම් හමුවේ තමන් නොකිපීම, පළිනොගැනීම ම
නුවණැති පුද්ගලයාගේ ස්වභාවයයි.
බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රශංසා කරන ලද ක්‍රියාවක් ලෙසින් සිතා ඉවසීම පුරුදු
පුහුණුූ කරන්නේ නම් ඔවුනොවුන් අතර, අසමගියක්, කළහ කිරීමක්, භේදයක් ඇති නොවනු ඇත.
“ඉවසීමෙන් සැනසීම ලැබේ” නම් වූ ආප්තෝපදේශය සිහිපත් කළ හැකි ය.
යමකුගේ චිත්ත සන්තානයේ ක්‍රෝධය ඇති කර ගන්නේ නම්, ඔහු තුළ හෝ ඇය තුළ හෝ ඉවසීම ඇති
නොවනු ඇත. අඳුරෙහි ආලෝකයක් නැත්තා සේ ය. ක්‍රෝධ සිතිවිලිවලින් පිරුණු සිත
අන්ධකාරයෙන් පිරුණු ගෘහයක් වැනි ය. අන්ධකාරයෙන් පිරුණු ගෘහය ආලෝකවත් කිරීමට නම්
පහනක් දැල්විය යුතු ම ය. ක්‍රෝධය නමැති අන්ධකාරයෙන් පිරුණු චිත්තසන්තානයෙහි ඉවසීම
නමැති පහන දල්වා ආලෝකවත් කිරීමෙන් ක්‍රෝධය නමැති අන්ධකාරය දුරුව මුළු චින්ත සන්තානය
ම එළිය වී දීප්තිමත් වන්නේ ය.
ක්‍රෝධය නමැති අන්ධකාරය මිනිස් සිත පමණක් නොව මුළු ශරීරයට ම අන්ධකාර ස්වභාවයක් ම
ඇති කරයි. ක්‍රෝධය තම ගත සිත දෙකම විරූප කරන ධර්මයකි. එබැවින් නිතර ඒ ක්‍රෝධය
මනුෂ්‍ය සිත තුළ මොන මොන හේතූන් නිසා හෝ ඇති වන්නට ඉඩහසර සැලසුවහොත්, ඒ මනුෂ්‍ය
ශරීරය වැඩි කාලයක් නොගොස්ම ශරීරගත ලේ ධාතුව විෂ වීම නිසා නොයෙකුත් රෝගයන්ට භාජනයවීම
නිසැක ය.
මේ නිසා නිරෝගීව, යහපත් වූ ශරීර වර්ණයක් ද ඇතිව යහපත් ආකාරයෙන් ජීවත්වීමට පවා ඉවසීම
නම් ගුණය උපකාරි වන්නේ ම ය.
හිස සුන් වූ මනුෂ්‍ය සිරුරකින් කිසිම ක්‍රියාවක් කළ නොහැකිවාක් මෙන් ඉවසීම නමැති
උතුම් ගුණ ධර්ම කෙනෙක් තුළ නො මැති නම් ඔහු හෝ ඇය තුළ සමාධි ප්‍රඥාදි සෙසු උසස්
ගුණධර්ම ඇති නොවන්නේ ය. ඒ ඉවසීමෙන් තොර වූ පුද්ගලයා තුළ ක්‍රෝධය බල පවත්වන බැවිනි.
බකමූණාට දවල් කාලයෙහි ඇස් නො පෙනේ. කපුටාට රාත්‍රි කාලයේ ඇස් නොපෙනේ. ලෝභය, කෝපය,
මෝහය නම් පාපී ධර්මයන්ගෙන් යුතු වූවන්ට රෑ දවල් කාලයන් දෙකෙහි ම දෑස් නො පෙනේ.
ක්‍රෝධය නම් මනුෂ්‍යයාගේ ප්‍රකෘති සිහිය විකෘතියට පත් කර මනුෂ්‍යයා උම්මත්තකයකු බවට
පමුණුවන පාප ධර්මයකි.
එසේ හෙයින් ද්වේෂයෙන් දූෂිත වූ ඔහු ඇත්ත යුක්තිය, කළ යුතු දේ නොකළ යුතු දේ, හොඳ –
නරක, ධර්මය – අධර්මය කිසිවක් නො හඳුනන්නෙක් වේ. එවැන්නකු තුළ දුශ්චරිතයෙන්
වෙන්වීමටත්, ගුණ ධර්මයෙන් යුක්තවීමටත් උපකාරි වන “හිරිඔතප්” යහපත් ධර්මයන් සිතෙහි
හට නොගන්නා බැවින් කෙසේ නම් දුසිරිතෙන් වැළකී උතුම් සුසිරිතෙහි යෙදේ ද?
පුහුදුන් සමාජයේ ක්‍රෝධයෙන් යුතුව අන්‍යයන්ගේ අයහපතට හේතුවන ලෙසින්, වරදක් නැතිව ද,
අන්‍යයන්ට හිංසා පීඩා කරන දූෂිත හිත් ඇති පාපී පුද්ගලයන්ගෙන් අඩුවක් නම් නැත. එවන්
සමාජයෙන් නිදහස්ව කලකෝලාහලයකින් තොරව ජීවත්වීමට ඇති එකම උපාය ද අස්ථානයෙහි වුව ද,
එසේ තමන්ට හිංසා පීඩා කරන්නාගේ නො මනා ක්‍රියාවන් හැකිතාක් ඉවසීම ය.
නො ඉවසන පුද්ගලයාට සමාජයෙහි දී මුහුණ පාන්නට වන දුක් ගැහැට අපමණ ය. අන්‍යයන්ගේ
ඇණුම් – බැණුම්, රැවුම් – ගෙරවුම් නො ඉවසා ඊට එකට එක කිරීමට පෙළඹෙන්නේ නම්, එයින්
ජීවිතයට වන හානිය මෙතැකැයි කිව නොහැකි ය. එය මෙලොව වශයෙන් පමණක් නොව පරලොව වශයෙන් ද
පිරිහීමට ලක්ව අපා ගත වන කරුණක් වනු ඇත. ඉවසීම පුරුදු කළ තැනැත්තා බොහෝ ජනයාට
පි‍්‍රය වේ. මිතුරන් බහුල වේ. අපරාධ බහුල කොට නැත්තෙක් වේ. සිහියෙන් යුක්තව මිය
යන්නෙක් වේ. මරණින් පසුව ද සුගතියක ඉපදීම යන ආනිශංස පහක්ම ඉවසන්නාට ලැබෙන ලාභයන් ය.
ඉවසීම පුරුදු කළ පුද්ගලයා මෙලොව පමණක් නොව පරලොව ද දිනන්නෙක් වේ.
දීපා පෙරේරා |