Print this Article


කට වටකර වැට නොබැඳීමේ විපාකය

කට වටකර වැට නොබැඳීමේ විපාකය

ඔබගේ ශරීරයේ සැම තැනම රන්වන් ය. සියලු දිසාවන් බබළවයි. එහෙත් කට ඌරකුගේ මෙනි. පෙර කවර නම් කර්මයක් කළේ ද?”

“පෙර මම කයින් සංවරවීමි. වචනයෙන් අසංවරවීමි. නාරදයන් වහන්ස, ඒ නිසා මේ අත් බැව්හි එබඳු වර්ණවීමි.

බුදුරජාණන් වහන්සේ සිත,කය, වචනය සංවර කර ගැනීමේ වැදගත්කම ආදර්ශ සම්පන්නව පෙන්වා දුන් ශාස්තෘවරයෙකි. ලෞකික මෙන්ම ලෝකෝත්තරවත් සෑම පුද්ගලයකුට ම ද්වාරත්‍රය සංවර භාවයෙන් යුතුව රැකගෙන ජීවත් වීමේ ප්‍රතිවිපාක ලැබෙන අතර, එසේ නොමැතිව අසංවර භාවයෙන් යුතු පුද්ගලයෙක් වුවහොත් උභය ලෝකයන්හි දී මහත් දුක්ඛ දෝමනස්ඛන්ධයන්ට මුහුණපෑමට සිදුවේ.

සිත,කය, වචනය අතරින් අකුසල් බොහෝ සෙයින් සිදුවනුයේ වචනයෙනි. එබැවින් වචනය සංවර කර ගැනීම කායික සංවරයට වඩා යහපත් ය.

කය සංවර කර ගැනීමට හැකි වුව ද වාචසික සංවරය ඇති කර ගැනීමට අපොහොසත්ව පේ‍්‍රත ආත්මභාවයක් ලැබූ භික්ෂුවක් පිළිබඳ සූඛරමුඛ පේ‍්‍රත වත්ථුවේ සඳහන් වේ.

පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සාසනයේ දී පැවිදිවී සිටි එක් භික්ෂු නමක් බොහෝ අසංවර ආකාරයට සිල්වත්, ගුණවත් භික්ෂූන් වහන්සේට ආක්‍රෝෂ පරිභව කිරීමට පුරුදුව සිටියා. මෙම භික්ෂුව කයින් සංවර යි. එහෙත් වාචසික සංවරය ඇති කර ගැනීමට කිසිවිටෙකත් උත්සාහ කළේ නෑ. එම නිසා බොහෝ අවස්ථාවල සෙසු භික්ෂූන් වහන්සේ එහි ප්‍රතිවිපාක පෙන්වා දුන්නා.

එහෙත් එය පිළිගැනීමට තරම් නොහික්මුණු බවට මෙම භික්ෂුව පත්ව සිටියා. මෙම අසංවර ගති ලක්ෂණ නිසා බොහෝ අවස්ථාවල මහජනයා ඉදිරියේ දැඩි ලෙස අපහසුතාවට පත්වීමට සිදුවුණා. මේ නිසා මෙම භික්ෂුව කාලයාත්‍රා කර බුද්ධාන්තරයක් මුළුල්ලෙහි අවීචි මහා නරකාදියෙහි උපත ලැබුවා. එයින් පැසව පැසව සිට ගෞතම බුදුන් වහන්සේගේ සමයේ දී පේ‍්‍රතයෙක්ව පහළ වුණා.

දිනක් නාරද තෙරුන් වහන්සේ උදෑසන අවදි වී පැන් පහසු වී පිණ්ඩපාතයේ වැඩම කිරීමට සූදානම් වුණා. උන්වහන්සේ ගිජ්ඣකූට පර්වතයෙන් පහළට වැඩම කළා. එසේ වැඩම කරන අවස්ථාවේ දී ස්වර්ණ වර්ණ ශරීරයෙන් හා මුඛය ඌරකුගේ වැනි ස්වභාවයෙන් යුතු පේ‍්‍රතයකු දුටුවා. එය දුටු නාරද තෙරුන් වහන්සේ.

“කායො තෙ සබ්බසොවණ්ණො
සබ්භා ඔභාසතෙ දිසා
මුඛං තෙ සූකරස්සෙව කිං කම්මකරි
පුරේ”

ඔබගේ ශරීරයේ සැම තැනම රන්වන් ය. සියලු දිසාවන් බබළවයි. එහෙත් කට ඌරකුගේ මෙනි. පෙර කවර නම් කර්මයක් කළේ ද?”

යනුවෙන් විමසුවා.

“කායෙන සඤ්ඤතො ආසිං
වාචායාසිමසඤ්ඤතො
තෙන මෙතාදිසො වණ්ණෝ යථා
පස්සසි නාරදං”

“පෙර මම කයින් සංවරවීමි. වචනයෙන් අසංවරවීමි. නාරදයන් වහන්ස, ඒ නිසා මේ අත් බැව්හි එබඳු වර්ණවීමි.

පේ‍්‍රතයා පෙර ආත්මයේ තමා භික්ෂුක් ව සිටි අවස්ථාවේ දී කායික සංවරය රැකගෙන සිටි නමුත් වචනය සංවර කර ගැනීමට නොහැකි වූ නිසා මෙබඳු අවස්ථාවක් ලද බවත්, කායික සංවරය නිසා ප්‍රදේශය ම බබළවන රන්වන් සිරුරක් ලැබුණු ද වාචසික අසංවර බව නිසා මුඛය ඌරකුගේ මෙන් පේ‍්‍රත ආත්මයක් ලැබූ බව ප්‍රකාශ කළේ ය.

තමා සිදුකළ ඒ අකුසලය නිසාවෙන් පසුතැවෙමින් දුක්ඛිතව දිවි ගෙවන බව ප්‍රකාශ කළ සුඛරමුඛ පේ‍්‍රතයා එම අවස්ථාවේ දී නාරද තෙරුන් වහන්සේට මෙසේ අවවාදයක් ද කළහ.

“තං ත්‍යාහං නාරද බ්‍රෑමි දිට්ඨමිදං තයා මාකාසි මුඛසා පාපං

මා ඛො සූකර මුඛො අහු ති”

“නාරදයන් වහන්ස, ඔබ විසින්ම මෙය දක්නා ලදී. මම මෙය ඔබට කියමි. වචනයෙන් පවක් නොරකන්න. ඌරුමුඛ ඇත්තෙක් නොවන්න.

යනුවෙන් මුසාවාද හෙවත් වාචසික අසංවර භාවයේ ආදිනව ප්‍රකාශ කළේ ය. මෙම කථාව අසා නාරද තෙරුන් වහන්සේ පිණ්ඩපාතයේ වැඩම කළහ.

සුඛරමුඛ පේ‍්‍රත වත්ථූවේ එන මෙම කථා පුවත තුළින් ගිහි පැවිදි සෑම කෙනකුටම වටිනා චරිතාදර්ශ සපයන්නෙකි.

වර්තමාන ඇතැම් ගිහි පින්වතුන් සමාජ මාධ්‍ය ජාලයන් මෙන්ම පොදු ව්‍යවහාරයන් තුළ දී භික්ෂූන් වහන්සේගේ වැරැදි සොයමින් සංඝරත්නය තුළ භේද ඇතිවන ආකාරයේ ක්‍රියාවන් වාචසිකව සිදුකිරීම නිතර නිතර දක්නට ලැබේ. කුමන ආකාරයේ තරාතිරමක වුව ද ඒ තුළින් ලැබෙන ප්‍රතිවිපාක සුලුපටු නොවේ. එබැවින් බොදු ජනයා මෙය සබුද්ධිකව වටහාගෙන කුසලයෙහි පිහිටා කටයුතු කිරීමට උත්සාහ කරන්න.