Print this Article


අජිත සූත්‍ර නිර්දේශය

අජිත සූත්‍ර නිර්දේශය

භගවා යන නම මෑණියන් විසින් නොකරන ලදි. පියාණන් විසින්, සහෝදරයකු විසින්, සොහොයුරියක විසින්, හිතවත් යහළුවකු විසින්, සහ ලේ නෑයන් විසින්, මහණ බමුණන් විසින්, දේවතාවන් විසින්, නොකරන ලදී. මේ භගවා යන නම භාග්‍යවත් බුදුවරුනට අර්හත් මාර්ගය ලබා අවසානයේ බෝ මුල දී සර්වඥතාඥානය ලැබීමත් සමඟ අර්හත් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමෙන්, සියලු ධර්මයන් ප්‍රත්‍යක්ෂ කිරීමෙන් ලැබුණු පැනවීමකි.

ආයුෂ්මත් අජිත බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විමසීය.

කෙනස්සු නිවුතො ලොකො
(ඉච්චායස්මා අජිතො)
කෙනස්සු නප්පකාසති
කිස්සාභිලෙපනං බ්‍රෑසි
කිංසු තස්ස මහබ්භය

ලෝවැසියා කුමකින් වැසුණේ ද? කුමක් නිසා ප්‍රකාශ නොවේද? ඔහු කුමකට වෙසෙසින් ඇලුණේ ද? කුමක් ඔහුට මහත් බිය ගෙන දේ දැයි වදාළ මැනවි.”

අවිජ්ජාය නිවුතො ලොකො
(අජිතාති භගවා)
විවිච්ඡා පමාදා නප්පකාසති
ජප්පාභිලෙපනං බ්‍රෑම්
දුක්ඛමස්ස මහබ්භයං

බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ. අජිතය, ලෝ වැසියා අවිද්‍යාවෙන් වැසී ඇත. මසුරුකම හා ප්‍රමාදය නිසා ප්‍රකාශ නොවෙයි. ඔහුට තෘෂ්ණාව තදින් ඇලීමක් යැයි පවසමි. දුක ඔහුට මහත් භය වෙයි.

අවිජ්ජාය නිවුතො ලොකො

අවිජ්ජා යනු දුකත්, දුක ඇතිවීමට හේතුවත්, දුකින් මිදීමත්, දුකින් මිදෙන මඟත් යන චතුරාර්ය සත්‍ය පිළිබඳ නොදැනීමයි. පූර්වාන්තය නොදැනීම, අපරාන්තය නොදැනීම, පූර්වාන්ත අපරාන්තය නොදැනීම, හේතු ප්‍රත්‍යය නම් වූ පටිච්චසමුප්පාද ධර්මයන් පිළිබඳ නොදැනීමයි.

මෙවැනි යම් නොදැනීමක්, නොදැකීමක්, අවබෝධ නොවීමක්, අනුබෝධ නොවීමක්, මනාකොට අවබෝධ නොවීමක්, ප්‍රතිවේධ නොවීමක් (රූප ආදිය අනිත්‍ය, දුක්ඛ,අනාත්ම වශයෙන් සාමාන්‍යයෙන්) සංග්‍රහ නොකිරීමක් (අනිත්‍ය ආදියට) බැස නොගැනීමක්, සමව නොබැලීමක්, ප්‍රත්‍යවේක්ෂා නොකිරීමක්, ප්‍රත්‍යක්ෂ නොකිරීමක්, නුවණ නැති බවක්, බාල බවක්, යහපත් නුවණ නැති බවක්, සිහි මුළා බවක්, බලවත් සිහි මුළා බවක්, සෑම අතින්ම සිහි මුළා බවක්, අවිද්‍යාවක්, අවිද්‍යාව නමැති සැඩ පහරක්, අවිද්‍යාව සමඟ එක්ව බැඳීමක්, අවිද්‍යාව නමැති අනුශය ක්ලේශයක්, අවිද්‍යාවෙන් සිත නැඟී සිටීමක්, අවිද්‍යාව නමැති අගුලක්, මෝහය නමැති අකුසල් හටගැනීමට හේතුවක් වේ ද එය ‘අවිද්‍යාව යැයි කියනු ලැබේ.

ලොකො

නිරය, තිරිසන්, පේ‍්‍රත, මනුෂ්‍ය, දිව්‍ය යන ලෝක ද, ස්කන්ධ, ධාතු, ආයතන යන ලෝක ද, මෙලොව, පරලොව, බඹලොව හා දෙව්ලොව යන මේවා ‘ලෝක’ යැයි කියනු ලැබේ.

මේ ලෝකය අවිද්‍යාවෙන් ඇවුරුණේ, වැසුණේ යටින් හා උඩින් වැසුණේ, සැඟවුණේ, යටිකුරු කරන ලද්දේ ය යන අර්ථයෙන් ‘අවිජ්ජාය නිවුතො ලොකො යනු වේ. අජිත යනුවෙන් බුදුරජාණන් වහන්සේ ඒ බමුණා නමින් අමතන සේක.

භගවා

භගවා යනු ගෞරව නාමයකි. තවද රාගය බිඳින ලද හෙයින් ද, ද්වේෂය නැසූ හෙයින් ද, මෝහය නැසූ හෙයින් ද භගවා නම් වන සේක. මානය නැසූ හෙයින් ද, මිථ්‍යා දෘෂ්ටිය නැසූ හෙයින් ද කෙලෙස් නමැති කටු නැසූ හෙයින් ද, කෙලෙස් නැසූ හෙයින් ද භගවා නම් වන සේක. ධර්ම රත්නය බෙදූ හෙයින් ද, විශේෂයෙන් බෙදූ හෙයින් ද, නැවතත් බෙදූ හෙයින් ද, භවයන් කෙළවර කළ හෙයින් ද, කය වැඩූ හෙයින්ද, ශීලය වැඩූ හෙයින් ද, භගවා නම් වන සේක. සිත වැඩූ හෙයින් ද, ප්‍රඥාව වැඩූ හෙයින් ද භගවා නම් වේ. නැතහොත් බුදුරජාණන් වහන්සේ ස්වල්ප ශබ්ද ඇති, ස්වල්ප ඝෝෂාව ඇති, ජනවාත රහිත වූ, මිනිසුන්ගේ රහස් කටයුතුවලට සුදුසු වූ, විවේකයට යෝග්‍ය වූ වන සෙනසුන්, වනයෙහි දුර සෙනසුන්, වනයෙහි කෙළවර සෙනසුන් ඇසුරු කළ සේක යන අර්ථයෙන් භගවා නම් වන සේක.

බුදුරජාණන් වහන්සේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකරවලට හිමි වූ සේක යන අර්ථයෙන් භගවා නම් වන සේක. බුදුරජාණන් වහන්සේ අර්ථ රසයට, ධර්ම රසයට, විමුක්ති රසයට, අධිශීලයට, අධිචිත්තයට, අධිප්‍රඥාවට හිමි වූ සේක යන අර්ථයෙන් භගවා නම් වන සේක.

බුදුරජාණන් වහන්සේ ධ්‍යාන සතරට, අප්පමඤ්ඤා සතරට, අරූපාවචර සමාපත්ති සතරට, හිමි වූ බැවින් භගවා නම් වන සේක.

බුදුරජාණන් වහන්සේ විමෝක්ෂ අටට ද, අභිභායතන අටට ද, අනුපූර්ව විහාර සමාපත්ති නමයට ද හිමි වූ බැවින් භගවා නම් වන සේක.

බුදුරජාණන් වහන්සේ දසසඤ්ඤා භාවනාවන්ට, දසකසිණ සමාපත්තීන්ට, ආනාපානසති සමාධියට, අසුභ සමාපත්තියට හිමි වූ බැවින් භගවා නම් වන සේක.

බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානයට, සතර සම්‍යක් ප්‍රධානයට, සතර ඍද්ධිපාදයන්ට, පඤ්චේන්ද්‍රියන්ට, පඤ්ච බලයන්ට, සප්ත බොධ්‍යංගයන්ට, ආර්ය අෂ්ටාංගික මාර්ගයට හිමි වූ බැවින් භගවා නම් වන සේක. බුදුරජාණන් වහන්සේ තථාගත බල දහයට, විසාරද ඤාණ සතරට, සිවුපිළිසිඹියාවන්ට,අභිඤ්ඤා සයට, සවැදෑරුම් බුද්ධ ධර්මයන්ට හිමි වූ බැවින් භගවා නම් වන සේක.

එම භගවා යන නම මෑණියන් විසින් නොකරන ලදි. පියාණන් විසින්, සහෝදරයකු, විසින්, සොහොයුරියක විසින්, හිතවත් යහළුවකු විසින්, සහ ලේ නෑයන් විසින්, මහණ බමුණන් විසින්, දේවතාවන් විසින්, නොකරන ලදී. මේ භගවා යන නම භාග්‍යවත් බුදුවරුනට අර්හත් මාර්ගය ලබා අවසානයේ බෝ මුල දී සර්වඥතාඥානය ලැබිමත් සමඟ අර්හත් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමෙන්, සියලු ධර්මයන් ප්‍රත්‍යක්ෂ කිරීමෙන් ලැබුණු පැනවීමකි.

විවිච්ඡා පමාදා නප්පකාසති

ආවාස කුල ලාභ වර්ණ ධර්ම යන මේ කරුණු පිළිබඳ මසුරුකම විචිකිච්ඡා නම් වේ. යම් මසුරුකමක්, මසුරුවීමක්, මසුරුකමින් යුක්ත බවක් තම සම්පත් අනුන්ට නොදී වැඩි කර ගන්නා බවක්, උතුම් නොවන බවක්, කටුක බැවින් සිත හකුළන බවක්, සිත් නොගත් බවක් වේ නම් එය මසුරුකම (මාත්ස¸ය) යැයි කියනු ලැබේ. තවද, පඤ්චස්කන්ධය, ධාතු ආයතන යන මේවා පිළිබඳ මසුරුකම ද, මච්ඡරිය නම් වේ. තම සම්පත් තදින් අල්ලා ගැනීම මසුරුකම යැයි කියනු ලැබේ.

පමාදො

කය, වචන, සිත යන තුන් දොරෙහි හෝ පස්කම් සැපයෙහි හෝ සිත අත්හැරීම, දසකුසල ධර්මයන් හෝ භාවනාව සකස් කොට නොකරන බව, නිතර ඒවා නොකරන බව, අවසන් නොකළ වෙනත් ක්‍රියා ඇති බව, උත්සාහවත් නොවීම, කැමැත්තක් නැති බව, වීර්ය අත්හැරීම, පුරුදු නොකිරීම, භාවනා නොකිරීම, නැවත නැවත නොකිරීම, කුසල ධර්මයන්හි නොසිටීම, ඒවායෙහි නොයෙදීම, ප්‍රමාද නමි. යම් මෙබඳු ප්‍රමාද වීමක්, ප්‍රමාද වූ අයුරක්, ප්‍රමාද වූ බවක් වේ නම් එය පමාද යැයි කියනු ලැබේ.

විවිච්ඡා පමාදා නප්පකාසති

මේ මසුරුකමිනුත්, ප්‍රමාදයෙනුත් ලෝ වැසියා ප්‍රකාශ නොවේ. නුවණ ආලෝකවත් නොවේ. නුවණ ප්‍රතාපවත් නොවේ. නොබබළයි. ප්‍රකට නො වේ. නොපැනේ යන අර්ථ වශයෙන් විවිච්ඡා පමාදා නප්පකාසති යනු වේ.

‘ජප්පා’ යනු තෘෂ්ණාවයි. යම් රාගයක්, බලවත් රාගයක්, නැවත නැවත ඇලීමක්, ඒ අනුව බැඳීමක්, නන්දියක්, නන්දිරාගයක්, සිත තදින් ඇලීමක්, කැමැත්තක්, මුසපත් කිරීමක්, බැස ගැනීමක්, ගිජු බවක්, හාත්පසින් ගිජු බවක්, අරමුණෙහි ලැගීමක්, අරමුණෙහි ගිලීමක්, ඒ ඒ භවයට ඇද ගැනීමක්, අරමුණෙහි රැවටීමක්, සසර ඉපදවීමක්,දුක හා සංයෝග කරමින් උපදවන්නක්, භවයන් එකට එකතු කරන්නක්, ආකර්ෂණය කරන හෙයින් නදියක් වැනි වූ, වෙසෙසින් ඇලීමක්, එකට බඳිනාහු ය. පැතිර යන්නක්, එකට රැස්වන්නක්, (සහාය වන හෙයින්) දෙවැන්නක්, පැතුමක්, භවය ඉදිරියට ගෙන යන්නක්, වනයක්, (බලවත් බැවින්) වනථයක්, එකතුවක්, සෙනෙහසක්, බලාපොරොත්තුවක්, විරුද්ධ වූවක්, ආසාවක්, පැතුමක්, බලාපොරොත්තු සහිත බවක්, රූපයට ආසාවක්, ශබ්දයට, ගන්ධයට, රසයට, ස්පර්ශයට, ධනයට, පුතුන්ට, ජීවිතයට ආශාවක් වේ ද, කථාවෙහි කැමැත්තක්, බොහෝ කථාවට කැමති බවක්, අතිශයින් කථාවට කැමැත්තක්, කතාවට ලොල් වීමක්, කතාවට ලොල් වූ බවක් (නැවත නැවත අරමුණෙහි ඇදගන්න බැවින්) ලෝභ වූ බවක්, ලොල් වූ ස්වරූපයක්, ලොල් බවින් යුක්ත බවක්, නඟුට සොලවන බවක්, මිහිරි අරමුණු කැමති වන බවක්, අදැහැමි රාගයක්, දැඩි ලෝභයක්, තණ්හාවක්, නිතර කැමති බවක්, පැතුමක්, කැමති වීමක්, මනා පැතුමක්, කාම තණ්හාවක්, භව,විභව, රූප, අරූප, නිරෝධ, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම,ඕඝයක්, යෝගයක්, ග්‍රන්ථයක්, උපාදානයක්, ආවරණයක්, නීවරණයක් (කුසල් දහම් වසන හෙයින්) ඡදනයක්, බන්ධනයක්, සිත තුළ පවත්නා උපක්ලේශයක්, සිතේ තැන්පත්ව පවත්නා අනුසයක්, සිත තුළ පවත්නා උපක්ලේශයක්, සිතේ තැන්පත්ව පවත්නා අනුසයක්,කෙලෙස් අවදි වීමක්, (වෙළා ගන්නා හෙයින්) වැලක්, විවිධ කැමති වීම් ඇති, දුකට මූල හේතුවක්, දුකට නිදානයක්, දුක හට ගැනීමක්, මාරයාගේ මළපුඩුවක්, මාරයාගේ ඇමක්, මරුට විෂය වූවක්, මරුගේ නිවසක්, මරුගේ ගොදුරක්, මරු බැම්මක්, තණ්හා ගංගාවක්, තණ්හා දැලක්, තණ්හා (බලු) කූඩුවක්, තෘෂ්ණා සමුද්‍රයක්, දැඩි ලෝභකමක්, ලෝභ අකුශල මූලයක් වේ ද, මේ ජප්පා’ නම් වේ.

ලෝකයාගේ ඇලීම ගැලීම, බැඳීම, උපක්කිලෙස යැයි කියනු ලැබේ. මේ ඇලීමෙන් ලෝවැසියා ඇලුණේ. වෙසෙසින් ඇලුණේ, හොඳින් ඇලුණේ, කිලිටි වූයේ, වෙසෙසින් කිලිටි වූයේ, තැවැරුණේ , ඇලුණේ, ලැගුනේ, ඇවුණේ ය, බ්‍රෑමි යනු කියමි. දේශනා කරමි, පනවමි, පිහිටුවමි. විවෘත කරමි. විභාග කරමි. නොගැඹුරු කරමි, ප්‍රකාශ කරමි යන අර්ථ වශයෙන් ජප්පාභිලේපනං බ්‍රෑමි යනු වේ.

දුක්ඛමස්ස මහබ්භයං

දුක්ඛ යනු ජාති, ජරා, ව්‍යාධි, මරණං සොක, පරිදෙව.......කායික දුක් (දුක්ඛ) මානසික දුක් (දොම්නස) දැඩි වෙහෙස යන දුක් ය. නිරය, තිරිසන් පේ‍්‍රත යන ලෝකයන්හි දුක් ය. මිනිස් ලොව දුක්ය. ගැබට බැස ගැනීම මුල්කොට ඇති දුක් ය. ගැබෙහි වාසය කරන විට ඇති වන දුක ය. මවුකුසින් බිහි වීමේ දි ඇති වන දුක ය. බිහි වූ පසු පෝෂණය කිරීමේ දී ඇති වන දුක් ය. උපන් තැනැත්තා අනුන්ට අයත් බව නමැති දුක ය. තම උපක්‍රම නිසා ඇති වන දුක ය. අනුන්ගේ උපක්‍රම නිසා ඇති වන දුක ය. සංස්කාර නිසා ඇති වන දුක ය. වෙනස් වීම් නිසා ඇති වන දුක ය. ඇසේ රෝග, කනේ රෝග, නාසයේ රෝග, දිවේ රෝග, කයේ රෝග, හිසේ රෝග, කර්ණ රෝග, මුඛ රෝග, දන්ත රෝග, ක්ෂය රෝගය, ඇදුම, පීනස, දැවිල්ල, උණ රෝගය, බඩේ අමාරුව, මුසපත් වීම, ලේ අතීසාරය , ශූලය, විසූචිකාව, කුෂ්ට ගෙඩි, කිලාසය, කැස්ස, වලිප්පුව, දද, කඩුවේගන් , කැසීම, කච්ඡු, නිය පහරින් සිදුවන තුවාල, හොරි, පිත් අමාරුව, දියවැඩියාව, අර්ශස්, පොළ, භගන්දරා, (ගුද මාර්ගය හා මුත්‍ර මාර්ගය අතර ඇතිවන තුවාල) පිතින් උපදින ආබාධ, සෙම් නිසා ඇති වන ආබාධ, වාතයෙන් උපදින ආබාධ, වා පිත් සෙම් නිසා ඇතිවන ආබාධ, දේශගුණය වෙනස් වීමෙන් ඇතිවන ආබාධ, වැරැදි පිළිවෙත් නිසා ඇතිවන ආබාධ, උපක්‍රම නිසා ඇතිවන ආබාධ, පාපකර්ම නිසා ඇතිවන රෝග, ශීතල, උණුසුම, බඩගින්න, පිපාසය, මළ මුත්‍ර පහ කිරීම, මැසි මදුරු අව් වාත, සර්ප පහසින් හටගන්නා රෝගය.

මව හා පියා මිය යාමෙන් ඇති වන දුක, සොහොයුරා මිය යාමෙන් ඇතිවන දුක, සොහොයුරිය මිය යාමෙන් ඇතිවන දුක, පුතා මිය යාමෙන් ඇතිවන දුක, දුව මිය යාමෙන් ඇතිවන දුක, ඥාති වියෝවෙන් ඇතිවන දුක, භවභෝග විනාශ වීමෙන් ඇතිවන දුක, දුශ්ශීල වීමෙන් ඇතිවන දුක, වැරදි පිළිගැනීම් නිසා ඇතිවන දුක, රූපාදී යම් ධර්ම කෙනෙකුගේ ඉපදීමක් ආදියෙහි පෙනේ ද, අස්තංගමයෙන් නිරුද්ධ වීමක් පෙනේ ද, විපාකය කර්මය ඇසුරු කෙරේ ද, කුසලාකුසල කර්මය විපාකය ඇසුරු කෙරේ ද, රූපය නාමය ඇසුරු කෙළේ ද, නාමය රූපය ඇසුරු කෙරේද, යම් දහමක් ජාතිය විසින් ලුහුබඳිනා ලද ද, ජරාව විසින් අනුව හැසිරෙන ලද ද, ව්‍යාධියෙන් මඩනා ලද ද, මරණයෙන් විනාශයට පැමිණියේ වේ ද, දුකෙහි පිහිටියේ ද, ආරක්ෂාවක්, සැඟවීමක්, පිහිටක් නැත්තේ ද, අසරණ වූයේ ද, මේ දුක් යැයි කියනු ලැබේ.

මේ දුක නිසා ලෝවැසියාට බිය, මහා බිය, පෙළීම්, ගැටීම්, උවදුරු , විපත්ති සිදු වේ යන අර්ථ වශයෙන් “දුක්ඛමස්ස මහබ්භයං” යනු වේ.

එහෙයින් භාග්‍යවතුන් වහන්සේ “අවිජ්ජාය නිවුතො ලොකොපෙ – දුක්ඛමස්ස මහබ්භයං” යනුවෙන් වදාළ සේක.

සංක්‍ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ සූත්‍රාන්ත පිටකයෙහි කුදුගත් සඟියෙහි සිංහල චුල්ලනිද්දේසපාළි අජිත සූත්‍ර නිර්දේශය ඇසුරිනි