Print this Article


සතුට පරම ධනය වීමට නම් ලද දෙයින් සතුටු විය යුතුයි

සතුට පරම ධනය වීමට නම් ලද දෙයින් සතුටු විය යුතුයි

මේ ලෝකයේ ජීවත්වන සෑම පුද්ගලයෙක්ම තම ජීවිතය සතුටින් ගතකිරීමේ බලාපොරොත්තුවෙන් උපන්දා සිට බොහෝ දේවල් කරනවා. කුඩා කාලයේ සිතනවා හොඳින් ඉගෙනගෙන උපාධියක් ගත්තොත් ලොකු වුණාම සතුටින් ඉන්න පුළුවන් කියලා. ඊට පස්සෙ හිතනවා විවාහ වුණොත්, දරුවෝ හැදුවොත්, වතුපිටි වැව්වොත්, ගේදොර හැදුවොත්, වාහනයක් ගත්තොත්, දරුවන්ට හොඳින් ඉගැන්නුවොත්, ඔවුන් සුදුසු පරිදි විවාහ කරල දුන්නොත් සතුටින් ජීවත්වෙන්න පුළුවන් කියලා.

‘දුක්ඛ ලෝකො පතිට්ඨිතො” ලෝකය දුක තුළ පිහිටා ඇති බව බුද්ධ දේශනාවයි. එහෙත් දුක තුළ වෙසෙන අය සොයන්නේ සතුට ය. පංච ඉන්ද්‍රියයන්ගෙන් අපි දකින, අසන, ආඝ්‍රාණය කරන, විඳිනු ලබන සියල්ල තුළ දුක හා සතුට තියෙනවා.

ඒ අනුව දුක හා සතුට යන කාරණාවන් දෙක පුද්ගල චිත්ත ස්වභාවයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. යම් කාරණාවක් අපි අපේක්ෂා කරන ආකාරයට සිදු වන්නේ නම්, එය සතුටක් ලෙසත්, අපේක්ෂිත අයුරින් සිදු නොවන්නේ නම්, එය දුකක් ලෙසත් හඳුන්වනවා.

අචින්ති තම්පි භවති – චින්ති තම්පි විනස්සති

යන බුද්ධ දේශනාවට අනුව මේ ලෝකයේ සිදුවන සියල්ල අපි අපේක්ෂා කරන අයුරින් සිදු වන්නේ නැහැ.

මේ ලෝකයේ ජීවත්වන සෑම පුද්ගලයෙක් ම තම ජීවිතය සතුටින් ගතකිරීමේ බලාපොරොත්තුවෙන් උපන් දා සිට බොහෝ දේ කරනවා. කුඩා කාලයේ සිතනවා හොඳින් ඉගෙනගෙන උපාධියක් ගත්තොත් ලොකු වුණාම සතුටින් ඉන්න පුළුවන් කියලා. ඊට පස්සෙ හිතනවා විවාහ වුණොත්, දරුවෝ හැදුවොත්, වතුපිටි වැව්වොත්, ගේදොර හැදුවොත්, වාහනයක් ගත්තොත්, දරුවන්ට හොඳින් ඉගැන්නුවොත්, ඔවුන් සුදුසු පරිදි විවාහ කරල දුන්නොත් සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලා.

මේ විදියට අනවරත අරගලයක යෙදෙන මිනිස්සු තමන්ගේ ජීවිත කාලය තුළ තමන්ගේ අභිමතාර්ථයන් ඉෂ්ට කරගෙන සතුටින් ජීවත් වෙනවා ද?

ලෞකික ලෝකය තුළ යුතුකම් වගකීම් ඉෂ්ට කරමින් රැකී රක්ෂා කරමින් අධික කාර්යබහුල ජීවිතයක් ගත කරන ගිහියාට, ලෞකික සතුට හෙවත් ගිහිජීවිතය සතුටින් ගත කිරීමට ප්‍රායෝගිකව අනුගමනය කළ යුතු කරුණු කාරණාවන් මොනවා දැයි බුද්ධ දේශනාව ඇසුරින් සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි.

සීමිත සම්පත් ප්‍රමාණයක් ඇති මේ විශ්වය තුළ මිනිසා උපන් දා සිට අසීමිත, අතෘප්තිමත් ආශාවන් පසුපස හඹා යන නිසා, සතුට ලබා ගැනනීමත්, සතුට පවත්වා ගැනීමත් අතිශයින් ම දුෂ්කරයි. ඒ නිසා බුදුන් වහන්සේ “සන්තුට්ඨි පරමං ධනං” සතුට පරම ධනය කියලා දේශනා කරනවා.

බුදු දහමට අනුව සතුට ප්‍රධාන වශයෙන් ලෞකික සතුට හා ලෝකෝත්තර සතුට යනුවෙන් බෙදා දක්වන්න පුළුවන්. ලෞකික සතුට පුද්ගලයාගෙන් පුද්ගලයාට ක්ෂණයෙන් වෙනස්වීම්වලට හසුවෙනවා. එම නිසා එය තාවකාලික අස්ථිර දෙයක්. ලෝකෝත්තර සතුට හෙවත් නිවන නොවෙනස් ස්ථිර සදාතනික දෙයක්. පෘථග්ජන සත්ත්වයන්ගේ සිත් තුළ නිරන්තරයෙන් හටගන්නා වූ තෘෂ්ණාව, ආසාව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, තරහ හා ද්වේෂය ආදී අකුසල චෛතසිකයන් නිසා සිතේ ඇතිවන සතුට ක්ෂණයෙන් පහවෙනවා.

මේ සමාජයේ භෞතික සැප සම්පත් බොහොමයක් තියාගෙන සිතේ දුකින් සිටින මිනිස්සු සිටිනවා. කොතෙක් ධනය තිබුණත් ආසාවන්, අවශ්‍යතාවන් හා වුවමනාවන් තේරුම් නොගෙන අවශ්‍ය ආකාරයට භෞතික සම්පත් භාවිතයට නොගෙන යම් පුද්ගලයෙක් බහු භාණ්ඩික වෙනවා නම් , ඔහුගෙන් සතුට දුරස් වෙනවා. මින් අපිට පැහැදිලි වෙනවා සතුට යනු භෞතික සැප සම්පත් බහුල වූ පමණින් ම ඇති නොවන, වෙනත් අයකුට ඇතිකර දීමට නොහැකි අපේ චිත්ත සන්තානය තුළ අප විසින් ම ඇති කර ගත යුත්තක් බව.

යම් පුද්ගලයෙක් දැහැමි ධනෝපායෙන්, විධිමත් ධන පරිහරණයෙන් හා මනා කළමනාකාරිත්වයෙන් කටයුතු කරන්නේ නම්, ඔහුට චතුර්විධ වූ සතුටක් ලබා ගන්න පුළුවන් බව බුදුන් වහන්සේ අණන සූත්‍රයේ දී දේශනා කර තිබෙනවා.

අත්ථි සුඛය – ප්‍රමාණවත් පරිදි ධාර්මිකව උපයා සපයා ගත් ධන ධාන්‍ය හා භෞතික වස්තුව තමාට ඇතැයි ඇතිවන සතුට.

භෝග සුඛය – ධාර්මිකව උපයා සපයාගත් වස්තුව පරිභෝග කිරීමෙන් ලබන සතුට

අණන සුඛය – කිසිවකුටත් ණය නොවී ජීවිතය, ඉදිරියට ගෙන යාමෙන් ලැබෙන සතුට,

අනවජ්ජ සුඛය – අධාර්මිකව ජීවිතයක් ගත නොකර සමාජයට හිතකාමී පුද්ගලයෙක් හැටියට ජීවත් වුණා කියලා ඇතිවන සතුට.

“න කහාපණ වස්සේන තිත්ති කාමේසු විප්පති”

ධනකාමියා කහවනු වැස්සක් වැස්සත් ඉන් තෘප්තිමත් වෙන්නේ නෑ. එම නිසා සරල ජිවන මාර්ගය හා ලද දෙයින් සතුටුවීම ජීවිතයේ සතුට පවත්වා ගැනීමට අවශ්‍ය ප්‍රධානම කරුණු දෙකක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. මෙම ගුණාංගයන් නොමැති පුද්ගලයා අත්‍රිච්ඡිතා, මහිච්ඡතා, පාපිච්ඡතා කියන කාරණාවන් නිසා ජීවිතය විඳවනවා. ලද දෙයින් තෘප්තියට පත් නොවී ඊටත් වඩා හොඳ දෙයක් පතන හා හොයන ස්වභාවය “අත්‍රිච්ඡතා” නමින් හඳුන්වනවා. අත්‍රිච්ඡිතාව ඇති පුද්ගලයා එක සැළියේ පිසූ බත වුවත් තමාට වඩා අනෙකාට ලැබුණු කොටස හොඳ යැයි සිතා එය ලබා ගැනීමට උත්සාහ කරනවා. කොතෙක් ලැබුණත් සෑහීමකට පත් නොවී තව තවත් බලාපොරොත්තු වන ස්වභාවය, කොපමණ ලැබුවත් තව තවත් සොයන ස්වභාවය මහිච්ඡතා නමින් හඳුන්වනවා.

ගින්නට කොතෙක් දර දැමුවත් සෑහීමත් නැතිවාක් මෙන් මහිච්ඡතාව ඇති පුද්ගලයාට කොපමණ ප්‍රත්‍ය ලැබුණත් සෑහීමකට පත් නොවී තව තවත් ලබා ගන්නට උත්සාහ කරනවා. අත්‍රිච්ඡිතාව හා මහිච්ඡතාව ඇති පුද්ගලයා තුළ ඊළඟට ගොඩනැඟෙන්නේ පාපිච්ඡිතාවයි. (අසීමිත හා අතෘප්තිමත් ආශාවන් ලබා ගැනීමේ අරමුණින් කුමන උපක්‍රමයකින් හෝ එම ආශාවන් ඉෂ්ට කර ගැනීම සඳහා පාපකාරී වූ මං සෙවීම මෙම චිත්ත ස්වභාවය ඇති පුද්ගලයාගේ ලක්ෂණයි.

ලද දෙයින් සතුටුනොවී, පමණ ඉක්මවා රැස් කිරීම හා අධික පරිභෝජනය වර්තමානයේ බොහෝ සමාජ ගැටලුවලටත් හේතුවෙලා තියෙනවා.

මෙලොව ජීවිතය, සතුටින් ගත කිරීම පිණිස හේතුවන කරුණු සූත්‍රධර්ම තුළින් පෙන්වා දී තිබෙනවා. මීට අමතරව අටලෝ දහමෙහි කම්පා නොවී සිටීමට හැකි නම්, ආත්මාර්ථකාමී නොවී පරාර්ථකාමී වීමට හැකි නම්, සෑම මොහොතකම සතුට තමා තුළ රඳා පවත්වා ගන්න පුළුවන්.

ලොව පවතින සියලුම දේ ත්‍රිලක්ෂණ ධර්මයන්ට අසුවන බව අවබෝධ කර ගනිමින් ලෞකික සතුට විඳිමින් සදාකාලික සැප ඇති නිවන අවබෝධ කර ගැනීමට උත්සාහ කරන්න.