Print this Article


ඇසුරේ වෙනස

ඇසුරේ වෙනස

වස් වසන බුදුන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේට දානය පූජා කිරීමට ඒ ගමට පැමිණි අස් වෙළෙඳ පිරිසක් ඉදිරිපත් වුණා. ඔවුන් අශ්වයන්ට ආහාර පිණිස රැගෙන ආ යව සහල් තම්බා බුදුරජාණන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේට පූජා කළා

බුදුරජාණන් වහන්සේ පළමු විසි වසර ඇතුළත කාලයෙහි වේරඤ්ජාවට වැඩම කොට එහි වාසය කරන සමයෙහි වස් කාලය උදාවුණා.

ඒ ගමෙහි අධිපති වේරඤ්ජ බමුණා යි. ඔහු බුදුරජාණන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේ පන්සියයකට එහි වස් වසන්නැයි ඇරැයුම් කළා. බුදුන් වහන්සේ ඒ ඇරැයුම පිළිගෙන එහි වස් විසූ සේක. එදා පවිටු මාරයා එක මොහොතක දී වේරඤ්ජ බමුණාට ආවේශ වුණා. මාරවේශ වූ වේරඤ්ජ බමුණාට තෙමසක් ඉක්මයන තුරු බුදුන් වහන්සේට කළ වස් ඇරැයුම අමතක කළා. වස් කාලයේ බුදුරජාණන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේ පන්සියයක් රහතන් වහන්සේට උපස්ථාන කළයුතු බව අමතක වුණා. එනිසා වස් කාලය තුළ දී බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේ පිරිසට කිසිදු අහරක් නොලැබී ගියා. දුක සේ වස් වසන බුදුන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේට පිහිටවීමට ඒ ගමට පැමිණි අස් වෙළෙඳ පිරිසක් ඉදිරිපත් වුණා. ඔවුන් අශ්වයන්ට ආහාර පිණිස රැගෙන ආ යව සහල් තම්බා බුදුරජාණන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලාට පූජා කළා.

යහව සහල් ආහාර වැළඳීමෙන් සියලු දෙනා වහන්සේ දුබල වූ සිරුරු ඇත්තෝ වුණා. මුගලන් මහ රහතන් වහන්සේ සෘද්ධි බලයෙන් පොළොව කිම්ද ගොස් රස ඕජා ගෙනවිත් දීමට හෝ උතුරුකුරු දිවයිනට අහසින් සියලු දෙනා වහන්සේ කැඳවා ගෙන යෑමට හෝ අදහස් කළ සේක. එහෙත් භාග්‍යවතුන් වහන්සේ ඒ අදහස ප්‍රතික්ෂේප කළ සේක.

වස් තුන් මස ගෙවී ගියා. අවසානයේ දී වස් විසීමට ඇරයුම් කළ තැනැත්තාට දන්වා යෑම සිරිත බැවින් බුදුන් වහන්සේ වේරඤ්ජ බමුණාගේ නිවසට වැඩම කොට වස් අවසන් බව දැන් වූ සේක. මාර බලපෑමෙන් මිඳුණු බමුණා තමාගෙන් සිදු වූ දෝෂය ගැන මහත් කම්පාවට පත්වුණා. භාග්‍යවතුªන් වහන්සේ ඇතුළු පිරිස බමුණාගේ සිත සනහා සැවැත් නුවරට වැඩම කළා. සැවැත්නුවර වැසියෝ ආගන්තුකව පැමිණි බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට දන්පැන් පූජා කළා. එදා සැවැත්නුවර සිටි සිඟන මිනිසුන් ඒ දන්පැන් අවසානයේ ඉතිරිවෙන කෑම අනුභව කරන්නට පුරුදු වුණා. ඒ ආහාරයෙන් පසුව ඔවුන් විනෝද වෙමින්, නටමින්, කෑ ගසමින්, විනෝද වීමට පටන් ගත්තා. මෙසේ නොහොබිනා ලෙස හැසිරෙන මේ මිනිසුන් පිළිබඳ ධර්ම සභාවේ දී භික්ෂූන් වහන්සේ අතර කතාබහ හට ගත්තා. ඒ පිළිබඳ බුදුන් වහන්සේ අතීත කතාව මෙසේ ගෙනහර දැක්වූවා.

පින්වත් මහණෙනි, මේ සිඟන මිනිසුන් පෙර ජීවිතයක කොටළුවන් ව ඉපිද, මිදි මිරිකා ඉතිරි වූ රොඩුවලට මුසුකළ පැන් බී මත් වූ විලාසයෙන් නොයෙක් විකාර හැසිරීම්වල යෙදුණු අයුරු විස්තර කර වදාළා. චාලෝදක ජාතකය ලෙස හැඳින් වූ එම කතාව තුළින් සත්පුරුෂයන් දුකට පත් වූ කල්හි ද, සුවපත් කල්හි ද සම සිතින් හැසිරෙන ආකාරයත්, ගුණ හීනයත් මිදි රොඩු මුසු ජලය පානය කළ කොටළුවන් මෙන් උඬගුව හැසිරෙන ආකාරයත් පෙන්වා වදාළ සේක.

අසත්පුරුෂයා එක් සුළු දෙයකින් උඩªඟු වෙන ආකාරයත්, සත්පුරුෂයා දුක සැප දෙකෙහි දී ම සමාන ගුණයෙන් හැසිරෙන බව පසක් කිරීමටත් මෙම කතා පුවත සද්ධර්මරත්නාවලිය වැඩිදුරටත් අපට කරුණු පහදා දෙයි.