Print this Article


දුක සැප උරුම සසරක අරුම

දුක සැප උරුම සසරක අරුම

සසරේ අප කාටත් පොදු වූ එක්තරා ධර්මතාවක් තිබෙනවා. ඒ තමන් තමාට තමා ව ම නිතර හමුවීම. සසරේ අප ආදරණීය චරිතයක්ව අන් අයට සැපය, පහසුව, සුවය සැලසුවා නම් මේ ජීවිතයේ අපට ලැබෙන්නේ සැපය, පහසුව, සුවය සලසන ආදරයක්.

නමුත් සසරේදී අපට ආදරය කළ අය, ආදරය ලැබිය යුතු අය නොයෙක් අයුරින් පීඩාවට පත් කළා නම්, අවමානයට ලක් කළා නම් අද අපි කොතරම් ආදරණීය චරිතයක් වුවත් අපට සුව පහසුව සැලසෙන්නේ නැහැ. ඔබට මේ හමුව තිබෙන්නේ ඔබම යි. එනිසා පවුලක් වශයෙන් වේවා, සමාජයක් වශයෙන් වේවා, රටක්, ලෝකයක් වශයෙන් වේවා, ආදරය හමුවේ සැප සේ වාසය කරන්නෙක් වේවා, දුක සේ බොහෝ පීඩා විඳින්නෙක් වේවා, කර්මයේ ස්වභාවය සිහි කොට උපේක්ෂාවට පත්වීමයි කළ යුතු වන්නේ.

අප දායාද කරගෙන පැමිණි කර්මයේ ස්වභාවය කෙබඳුද කියා අප දන්නේ නැහැ. බැඳීම් ඇතිවීමේදීත්, බැඳීම් වෙන්ව යාමේදීත් අපට විෂය නොවන ඒ කර්ම ස්වභාවයත් ඒ මත බල පැවැත්වෙනවා.

කෙසේ නමුත් බැඳීම් සම්බන්ධයෙන් ලෝකයේ බහුල වශයෙන් පවත්නා එක්තරා පොදු ස්වභාවයක් අප දකිනවා. බොහෝ දෙනකුගේ විවාහය තීරණය වන්නේ ඒ අනුවයි. අතීතයේ පි‍්‍රය වූ මනාප වූ, කැමැති වූ දේ අතරින් අපගේ ජීවිතයට අද වන විට ඉතිරි වී තිබෙන්නේ බොහෝම සුළු දෙයක් පමණයි. ඒ දේ තේරුම් ගෙන උපේක්ෂා නොවුණොත් අප අප සමඟත්, අවට පරිසරය සමඟත් නිරන්තරයෙන් ගැටීම් ගොඩනඟා ගන්නා චරිත බවට පත්වෙනවා. එනිසා සසරේ අපට මුණ ගැහෙන්නේ අපටම බව නිතර සිහි කරන්න. බිඳුණු සිත සුවපත් කර ගැනීමට එය බොහෝ උපකාරයි.

ආදරය, පේ‍්‍රමය හමුවේ මහා පුණ්‍යවන්තයින් මේ මිහිතලය සසල කළා. ඉන් දෙදෙනෙක් තමා පිප්ඵලී කුමරු සහ භද්‍රා කාපලානී කුමරිය . ඔවුන් සසරේ අවසන්වරට බැඳී විවාහ ජීවිතය බ්‍රහ්මචාරීව ගෙවා ලොව පහළ වූ මුනිවරු උදෙසා තමන් විසින්ම පැවිදිව දෙදෙනා දෙමඟක යනු පිණිස වෙන් වූ මොහොතේ සසරේ යළි හමුවීමක් නොවන පරිද්දෙන් නිවනින් නිවී සැනසීම පිණිස වෙන්ව යන ඒ පින්වත් යුවළගේ ආදරයේ මහිමයෙන් ඒ මොහොතේ මහා පොළොව කම්පා වුණා. එදා ඒ පිප්ඵලී කුමරු වූයේ අපගේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ යි.

උදය ජාතකය, ජාතක කතා වස්තුවේ එන ඉතා සුන්දර කතාවක්. මරණින් මතු උතුම් සැපය පිණිස උදය රජුත්, උදයභද්‍රා බිසවත් බඹසර සීලයේ සමාදන්ව සිටියේ විවාහ පත්ව සිටිය දී ම යි. ඔවුන් දෙදෙනා අතර, එක්තරා පොරොන්දුවක් තිබුණා. ඒ ඔවුන් අතරින් පළමුව මරණයට පත්වන කෙනා සුජීවත්ව සිටින කෙනා වෙත පැමිණ තමා සැපවත් ජීවිතයකට පත් වූ බව දැන්වීමයි. උදය රජු පළමුව මිය ගියා. නිදා පිබිදියාක් මෙන් ඔහු දෙව්ලොව උපන්නා. ටික දිනක් දිව්‍ය සම්පත් විඳ පොරොන්දුව රකින පිණිස මිනිස් ලෝකයේ තම පෙර බිරිඳ ජීවත්වන මාළිගය වෙත පැමිණියා. ඒ උදය රජුගේ වෙසින් නොවේ.

ඒ රාත්‍රියේ මේ සුකුමාල දිව්‍ය පුත්‍රයා දේවියගේ නිදන සිරියහන් ගබඩාවේ කවුළුව සමීපයේ පෙනී සිටියේ රන් පාත්‍රයක රන් කාසි පුරවාගෙනයි. ඔහු එය පෙන්වා රැජිනට කාමස්වාදයට ඇරැයුම් කළා. නමුත් බඹසර සීලයේ කැමැති ඇය එම ඇරැයුම ප්‍රතික්ෂේප කළා.

දෙවැනි රාත්‍රියේදීත් දෙව් පුතු එහි පැමිණ රිදී පාත්‍රයක රන් කාසි පුරවාගෙන පැමිණ ඔහුගේ පෙර ඉල්ලීම නැවත කළා. එය ප්‍රතික්ෂේප කළ බිසව අසා සිටියා “ඔබ පෙර දා රන් පාත්‍රයක රන් කාසි පුරවාගෙනයි ආවේ. නමුත් අද ඔබ රිදී පාත්‍රයක් අතැතිව සිටින්නේ . එයට හේතුව කුමක්ද කියලා.

බිසවුනි, මා කළේ කළ යුතු දෙයයි. මිනිස් ලොව හිඳින ඔබ ඊයේ මා කාමාස්වාදය පිණිස ඇරයුම් කරද්දී යම් ආයුෂයක්, වර්ණයක් දරා සිටියද අද වන විට එය පිරිහී ගොස්, දිවා රෑ ගෙවී යද්දී ඔබේ රූපය ගෙවී යනවා.

දෙව්පුතු ඉන්පසුව තමා කවුදැයි හඳුන්වා දී තවදුරටත් ඉන්ද්‍රිය දමනයේ, සීල සංවරයේ යෙදෙන ලෙස අවවාද කොට නොපෙනී ගියා. ඒ දේවිය පැවිදිව උතුම් බඹසර සිල් ආරක්ෂා කළා.

එනිසා අප ද විවාහව සිටියත්, නැතත් කලින් කලට හෝ උතුම් බඹසර සීලයේ සමාදන් වීමට උත්සුක විය යුතු වෙනවා. මේ ජීවිතය මොහොතින් මොහොත ගෙවී යන, දිරා යන, නැසී යන එකක්. ඉඳුරන් නැසී වැනසී යද්දී උපන් පේ‍්‍රමය වියැකී යනවා. එනිසා ලැබුණු මේ මිනිස් ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ලබමු.