Print this Article


ජීවිතයත් මලක් වගෙයි

ජීවිතයත් මලක් වගෙයි

සිතෙහි පිවිතුරු බව ඇති වන්නේ හැම දෙයක්ම ඇසින් නොව සිතින් නිවැරැදිව දැකීම නිසයි. සිතින් නිවැරැදිව දැකීමේ හැකියාව ඇති වන්නේ ප්‍රඥාව නිසයි. එබඳු ප්‍රඥාවන්තයා අල්ලා ගැනීමේ අදහස වෙනුවට අතහැර දැමීමේ අදහස තමන් තුළ දියුණුූ කර ගන්නවා.

ගසක මල් පිපුණාම ඒ ගහ හරිම ලස්සනයි. සමහර ගස්වල මල් පිපෙන්නේ අවුරුද්දකට එක සැරයක් විතරයි. හැබැයි එදාට මුළු ගසේම මල්. ගහේ කොළ තරමටම අලුත් මලුත් පිරිලා. සමහර වෙලාවට මෙබඳු ගස්වල කොළ පේන්නේ නෑ. බැලු බැල්මට පේන්නේ මල් විතරයි.

මෙබඳු ගස්වල එක දිගට මල් පිපුණාම මුළු ප්‍රදේශයම උත්සවශ්‍රීයෙන් සැරසුවා වගෙයි. මෙයින් තේරෙනවා හොඳින් මල් පිපිච්ච ගසක් ප්‍රදේශයේ අලංකාරයට ආභරණයක් බව.

අපි ශරීරයට ආභරණ පළඳිනවා. ඒකෙන් ශරීර ශෝභාව තවත් වැඩි වෙනවා. අපි ජීවත්වන ප්‍රදේශයේ ගස්වල මල් පිපෙනවා. ඒකෙන් සොබා දහමේ ශෝභාව වැඩි වෙනවා.

මෙහෙම මල් පිපුණු මල් ගසකට කවුරුත් එකාවගේ කැමතියි. අපි දැකල තියෙනවා මේ වගේ තැන්වල මේ ගහ ළඟින් යන කවුරුත් ගහ දිහා බලාගෙනයි යන්නේ. මිනිස්සු විතරක් නොවෙයි. අහසේ පියාසර කරන කුරුල්ලන් පවා මෙබඳු මල් ගහකට හරිම කැමතියි. මී මැස්සො, බඹරු, කුරුල්ලො වගේ සත්තු පවා මේ ගහ වෙත ඇදී අවුත් මල් ගහේ ලස්සනත් බලල එහි පැණිත් බීල යනවා. මේ විදියට මල් ගහකට පුදුම හැකියාවක් තියෙනවා අන්‍යයන් තමා වෙත ඇදගන්නට. මල් ගහකට මෙබඳු හැකියාවක් ඇති වෙන්නේ මල්වල තියෙන ගුණ තුනක් නිසයි. ඉන් එක් ගුණයක් තමයි මල්වල තියෙන වර්ණවත් බව හා මුදු මොළොක් බව. අනෙක් ගුණය තමයි මල්වලින් වහනය වන සුවඳ, තවත් ගුණයක් තමයි මල්වල රැඳී ඇති පැණි.

මෙසේ මල් ගහ, පරිසරයට අලංකාර ආභරණයක් වෙනවා වගේ පිවිතුරු චේතනා ඇති සත්පුරුෂයාත් සමාජයට අලංකාර ආභරණයක් ම යි. ආභරණ පැළඳීමෙන් ශරීරයෙහි ශෝභාව වැඩි වෙනවා වගේ එබඳු පිරිසුදු චේතනා ඇති යහපත් මිනිසුන් නිසා සමාජ ව්‍යුහයත් අලංකාර වෙනවා. ශෝභාවත් වෙනවා.

මල් ගහේ සුවඳ සුළඟට මුසුවී අවට වාතාශ්‍රය පිරිසුදු වෙනවා වගේ යහපත් මිනිසුන්ගේ පිරිසුදු සිතිවිලිත් සමාජයට එකතු වෙලා සමාජ පරිසරයත් පිරිසුදු වෙනවා.

මල් ගසේ මල්වලින් නැවුම් සුවඳක් විහිදෙන්නා සේ, එම නැවුම් සුවඳට ඉව අල්ලා මී මැස්සන්, බඹරුන් වැනි සතුන් පවා එම මල් ගසට පැමිණෙන්නා සේ යහපත් සත්පුරුෂයන්ගේ හදවත්වලින් වහනය වන පිවිතුරු සිතිවිලිවල සුවඳ දැනගන්නා වූ හැම දෙනාම එබඳු සත්පුරුෂයන් කරා ඇදී එනවා.

එබඳු සත්පුරුෂයාට පි‍්‍රය කරන්නේ මිනිසුන්, සතුන් පමණක් නොවෙයි. දෙවියන් බඹුන් පවා පි‍්‍රය කරනවා.

මලේ පැහැදිලිවම දක්නට ලැබෙන ස්වභාවයන් දෙකක් තියෙනවා. ඉන් එකක් තමයි බාහිර ඔපය. ඊළඟ කාරණාව තමයි මලේ ඇතුළතින් සහ මලේ සුවඳට මලේ බාහිර ගුණය අපි බැහැරින්ම විඳ ගන්නවා. එහෙත් මලේ අභ්‍යන්තර ගුණය අපි අභ්‍යන්තරයෙන්ම විඳ ගන්නවා. මෙයින් තේරෙනවා ජීවිතයත් මලක් විය යුතු බව. මලට බාහිර ඔපය අවශ්‍යයි. මිනිස් ජීවිතයටත් පි‍්‍රයංකරත්වය අවශ්‍යයි. මලට මල් සුවඳ අවශ්‍යයි. මිනිස් ජීවිතයටත් පිවිතුරු චේතනාවලින් විහිදෙන ගුණ සුවඳ අවශ්‍යයි. මල අංග සම්පූර්ණ වෙන්නේ සුවඳත් ලස්සනත් නිසයි. ජීවිතය අංග සම්පූර්ණ වෙන්නේ බාහිර ඔපයත් පවිත්‍ර චේතනාත් නිසයි.

ඒත් මල් සුවඳ උඩු සුළඟට මුසු වෙන්නේ නෑ. සඳුන් සුවඳත්, උඩු සුළඟට මුසු වෙන්නේ නෑ. සියලු මල් සුවඳත් සියලු සඳුන් සුවඳත් මදක්වත් උඩු සුළඟට මුසු වෙන්නේ නෑ. යටි සුළඟෙහි ම පාවෙලා යනවා. ඒත් පිවිතුරු චේතනා ඇති සත්පුරුෂයින්ගේ සිල් සවුඳ උඩු සුළඟෙහි මුසු වෙනවා. සියලු දිශාවන්හි පැතිරෙනවා. සියලු මල් සුවඳ හා සඳුන් සුවඳ ඉක්මවාගෙන දස දිශාවෙහිම පැතිරෙනවා.

මේ නිසා සඳුන් තවරලා උපුල් දෑසමන් ආදී මල්වලින් නැඟෙන සුවඳට වඩා සත්පුරුෂයන්ගේ උතුම් සිතිවිලිවලින් නැඟෙන සිල් සුවඳ ඉතාම උතුම් බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ.

හැමදාම තුනුරුවන් වඳින්න ගියාමත් අපි කියන්නේ වර්ණයෙන් හා සුවඳින් යුක්ත වූ මල් බුදුරජාණන් වහන්සේට පූජා කරන බවයි. එයින් තේරෙන්නේ කිසියම් මලක් වර්ණයෙන් හා සුවඳින් අංග සම්පූර්ණ වී තිබේ නම් ඒ මල බුදු පුදට සුදුසු බවයි. හරියට අපි ජීවත්වන සමාජයත් මේ මල් වගෙයි. සමහර අය ඉන්නවා බාහිර සමාජ ජීවිතය හරිම අලංකාරයි. ඒත් හදවතේ, සිතිවිලිවල ඒ ගුණය නෑ. හරියට ලස්සනකම ඇති. ඒත් මිනිසත්කම සුවඳ නැති මලක් වගේ නෑ තමයි.

සමහර අය ඉන්නවා බාහිර සමාජ ජීවිතය එතරම් පිළිවෙළක් නෑ. ඒත් යහපත් සිතුම් පැතුම් හද තුළ තිබෙනවා. එබඳු අය සුවඳ ඇති. ඒත් සුන්දර නැති මලක් වගෙයි.

ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා ඇතුළත චේතනාත් පවිත්‍රයි. උසස් සිතුම් – පැතුම් වලින් යුක්තයි. බාහිර ජීවිතයත් සුන්දරයි. සැබැවින්ම එබඳු අය සුවඳින් හා ලස්සනින් පිරුණු මල් වගේ ම ලස්සනයි.

මේ සියල්ලෙන් ම අවබෝධ වෙනවා අපේ ජීවිතය නමැති මල් සුවඳවත් වෙන්නේ පිවිතුරු චේතනා නිසා බව. මහ වැස්ස සියලු ගොවිතැන්බත් සරුසාර කරවමින් බොහෝ දෙනාගේ යහපත පිණිස, හිත සුව පිණිස පවතින්නා සේ පවුලක උපදින යහපත් චේතනා ඇති සත්පුරුෂයාත් බොහෝ දෙනාගේ යහපත පිණිස, හිතසුව පිණිස, පවතිනනවා. මව්පියන්ගේ යහපත පිණිස පවතිනවා. අඹුදරුවන්ගේ යහපත පිණිස හිතසුව පිණිස පවතිනවා. දැසි කම්කරු ජනයාගේ හිත පිණිස යහපත පිණිස පවතිනවා. මිත්‍රයන්ගේ යහපත පිණිස පවතිනවා. මහණ බමුණන්ගේ යහපත පිණිස පවතිනවා. මෙයින් පෙනෙනවා පිවිතුරු චේතනා ඇති සත්පුරුෂයා මුළු ලෝකයට ම යහපත පිණිස පවතින පුද්ගලයකු බව.

මේ බව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අංගුත්තර නිකායේ මුණ්ඩරාජ වග්ගයේදී ය.

පිරිසුදු චේතනා හදවතෙහි තිබේ නම් අනාගත වාසනාව ගැන බය වෙන්න වුවමනා නැහැ. මෙයින් තවදුරටත් තේරෙනවා සියලු දියුණුවේ පදනම යහපත් සිතිවිලි බව. අපිරිසුදු චේතනාවලින් යුතුව ලබන්න යන දියුණුව ඉතාමත් ම තාවකාලිකයි. එය තාවකාලික ජයග්‍රහණයක් සේ පෙනුණත් පසුකාලයේ දී පසුතැවිල්ලක් හා කනගාටුවක් බවට පත්වෙනවා. අපිරිසුදු චේතනාවලින් ක්‍රියාකාර යම් ලාභයක් ලැබුවත් සැබැවින් ම එය ලාභයක් නොවෙයි. අලාභයක් ම යි. අපිරිසුදු චේතනාවලින් ක්‍රියා කර යම් කීර්තියක් ලැබුවත් සැබැවින්ම එය කීර්තියක් නොවෙයි. අපිරිසුදු චේතනා අනුව ලබන ප්‍රශංසාවත් ප්‍රශංසාවක් නොවෙයි. නින්දාවක් ම යි. මේ විදිහට බුද්ධිමත් සත්පුරුෂ අය, වැරදි සිතිවිලි ඔස්සේ ලබන හැම දෙයක්ම ප්‍රතික්ෂේප කරනවා.

නැව කැඩී, මුහුදුබත් වී මහා සාගරයෙහි අතරමං වූ තම මෑණියන්ගේ ජීවිතය බේරා ගැනීම පිළිබඳ මහා බෝසතාණන් වහන්සේගේ හදවතෙහි පහළ වූ පිරිසුදු චේතනාව උන්වහන්සේගේ බුදු බවට පදනම වුණා. මේ විදිහට පිවිතුරු චේතනාව සියලු ලොව්තුරු දියුණුවේ පදනමයි.

සිතක පිවිතුරු චේතනා පහළවීමට නම් සිත පවිත්‍ර විය යුතුයි. “සචිත්ත පරියෝදපනං” යනුවෙන් පවා සියලු බුදුවරුන්ගේ අනුශාසනාවේදී තම සිත පිරිසුදු කර ගැනීමේ අවශ්‍යතාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. පිරිසුදු සිතක තමයි පිවිතුරු චේතනා පහළ වෙන්නේ.

සිතෙහි පිවිතුරු බව ඇති වන්නේ හැම දෙයක්ම ඇසින් නොව සිතින් නිවැරැදිව දැකීම නිසයි. සිතින් නිවැරැදිව දැකීමේ හැකියාව ඇති වන්නේ ප්‍රඥාව නිසයි. එබඳු ප්‍රඥාවන්තයා අල්ලා ගැනීමේ අදහස වෙනුවට අතහැර දැමීමේ අදහස තමන් තුළ දියුණුූ කර ගන්නවා.

අනුන් නැති - භංග වේවා යන අදහස වෙනුවට සියලු සත්වයෝ සුවපත් වෙත්වා! යන මෛත්‍රී අදහස දියුණු කර ගන්නවා. මෙසේ හිතන ඔහුගේ වචනය යහපත් වෙනවා. පස් පවින් වැළකී යහපත් කටයුතුවල යෙදෙනවා. නිවැරැදි දිවි පැවැත්මක් තමන් තුළ ඇති කර ගන්නවා. මේ මගින් ඔහු ආර්ය මාර්ගය ධර්මයේ අනුපූර්ව ප්‍රතිපදාවෙහි යෙදී නිවන් මඟ අත්පත් කර ගන්නා උතුම් පුද්ගලයෙක් වෙනවා.

බුදුරජාණන් වහන්සේගේ ශාසනයට “කරුණා ශාසනය” කියල කියනවා. එම කරුණා ශාසනයට ඇතුළත් පින්වතුන්ගේ චින්තනයෙහි පදනම කරුණාව සහ මෛත්‍රියයි. කරුණාව සහ මෛත්‍රිය අප තුළ හුරුපුරුදු කර ගන්නා විට ස්වභාවයෙන් ම අපේ චේතනා පිවිතුරු වෙනවා.

අපි භය වෙන්නේ, තැවෙන්නේ, දැවෙන්නේ අප තුළ පිවිතුරු චේතනා නැති නිසයි. අපේ සිත පිරිසුදු නම් අපේ සිතිවිලි පිරිසුදු නම් අප තුළින් භීතියත්, ත්‍රාසයත් ඉවත්ව යනවා. මේ නිසා අප හැමත් අප තුළ කරුණාව මෛත්‍රිය පහළ කර ගනිමු.

එය සියලු සිතුම් පැතුම්වල පදනම බවට පත්කර ගනිමු. මලින් මල් සුවඳ විහිදෙන්නා සේ කරුණාව, මෛත්‍රිය පදනම් කරගත් හදවතින් විහිදෙන්නා වූ පිවිතුරු චේතනා නමැති සුවඳින් අප අවට ලෝකය සුවඳවත් කරමු.