Print this Article


පහන් සිතක කවි

සසර දුකින් එතෙර වන්න

බෝ සෙවණේ සිලි සිලියේ
බෝ පත් සෙළැවේ
අමදින විට බෝ මළුවේ
සුදු වැලි දිලිසේ

පය තබනා විට මළුවේ
මොහොතක් ගානේ
සමිඳුන්මයි සිහි වන්නේ
මතකෙට මාගේ

බෝ මැඬ ළඟ බුදු හිමිගේ
රැස් විහිදෙන්නේ
අසිරිය දැක සදෙව් ලොවම
සාධු කියන්නේ
මහ බඹුවිත් දොහොත් මුදුන්
දී නමදින්නේ

අපා දෙපා සියලු සතුන් හට මෙය දැනුණේ
ගස් වැල් මල් සියලු ම දේ
තුටින් සැනසුණේ
අඳ ගොළු බිහිරන්
සියලු දෙනා සුවපත් වූයේ
බුදු අසිරිය තුන් ලොවට ම
මෙලෙසයි දැනුනේ
මෙත් කරුණා මුදිතාවෙන්
ලොවම නැහැවුණේ

මළුව තුළ මොහොතකට
මගේ සිත නැවතුනී
අමදින කුසලයෙන්
මෙලෙස මම පතනෙමි
දිනෙක මම බෝ සෙවණේ
බවුන් වඩන්නම්
සසර දුකින් එතෙර වන්න
පැතුම් පතන්නම්

****

සම්බුදු හිමි...

සකල ලොවට
මෙත් කුළුණින්
දෙතිස් මහා
පුරිස ලකුණු
කන්කලු හඬ
දහම් දෙසන
නිල් අඹරේ
තරු පිරිවැරු
සහ පිරිවර
සම්පත වෙයි

****

නමදිමු සැමදා

දශබලධාරි
ගෞතම බුදු සමිඳේ
ඉසිකෝ මාන කෙලසුන් පිරිපුන් සමය
අප මහ බුදු රදුන් පහළව නැති කලෙ ය
ඉතිරී හැලෙන මෙත් ගුණයෙන් සිසිලස ය
හිමි පා කමල් වඳිනෙමු එය ගරුසරු ය

විමුක්තියෙන් ආලෝකය සොයන නියා
රජකම ඔටුනු සිහසුන සැම පසෙක තියා
අමිලවූ සේවයක් මුළු ලොව සැමට දයා
පෙන්වූවේ බුදු සමිඳු ගෞතම සුගත් පියා

****

මැදින් පොහොය දින සබැඳිව

අභිනික්මනින් සත් වසරක් දින ගෙවුවා
පියරජු දකින්නට බුදුහමි අදිටන් කෙරුවා
මහ සඟරුවන විසි දහසක් එක්වූවා
මැදින් පොහොය ඒ සඳහා වෙන් වූවා

කිඹුල්වතම කහ සිවුරෙන් බැබළවූවා
මානෙන් පිරුණු ශාක්‍යයන් එහි රැස්වූවා
යමා මහ පෙළහරින් සැම මානය දුරුවූවා
සම්බුදු සමිඳු සුමුදුර සදහම් දෙසුවා

කුමරුන් නන්ද පුත් රාහුල පෙරටු කොට
බුදුහිමි සඟරුවන වැඩියා පන්සලට
උතුම් සම්බුදු සසුනෙ දෙදෙනම මහණ කොට
දුන්නා කමටහන් බුදු මඟ වඩන්නට

කුමරුන් දෙදෙන නැති මාළිගෙ පාළුවෙලා
සුදොවුන් රජුත් මේ පුවතින් සසල වෙලා
ඉල්ලීමක් කළා බුදු රදුගෙන් වැඳවැටිලා
නොකරමු මහණ මව්පිය අවසර නොලබා

****

කැඩපත

හුඟ කලකට පසුව කැඩපත ළඟට වෙලා
බැලුවෙමි මුහුණ එක මොහොතක් නතර වෙලා
හම රැලි වැටී දත් නැති කට ද හැකිළි ලා
පිළිකුල් හිතෙන තරමට මා වෙනස් වෙ ලා

ලතු ගෑ දෙතොල අවපැහැ ගැන්වී තිබුණී
දේදුනු දෙබැම ගැලවී ඉවතට වැටුණී
අක් බඹරුවන් වරලස සුදු වී තිබුණී
ජීවිතයේ බොරුව ඒ මොහොතෙම දැනුණී

යන්නට ඉවත්වී එතැනින් හිතක් නැත
ගන්නට “කමටහන්” මෙහි හොඳ මඟක් ඇත
වැනසෙන දෙතිස් කුණුපය පිළිකුලක් ඇත
වටහා ගෙන සසර කර ගමු සුරක්ෂිත

දූ දරු මා පියන් ලෙස ඉපදී සසර
කොතරම් දුරක් ආවද උනුනුන් අතැර
නැවතත් ඉපදෙමින් වැටුණොත් භව කතර
මේ බුදු සසුන ලැබුමෙන් ඵලය ද කවර

****

හිතුවොත් හොඳයි

නිතරම අධික තරහෙන් සිත පසුවීම
හැමටම වෛර කරමින් කල් ගතවීම
අන්හැම සතු වූ ගුණ යටපත් කරලීම
ඇති පෙම අදහසට මිසදිටු නතුවීම

නැති ගුණ තමන්ගේ පිටතට පෙන්වීම
ඇති තම වරද හැම විටදිම සැඟවීම
වෙති මම උසස් ඔබ පහළයි සිත වීම
ගති අන් අය කෝප කරලා තුටු වීම

කිසි විට දෙයක් තව කෙනකුට නොම දීම
හැමවිට පාපකාරී වන හැසිරීම
තමහට ලෝබයෙන් නෙක රැස් කරලීම
කුමකට අන් අයට කපටිව පැවතීම

වරදට කිසිම ලජ්ජාවක් නැතිවීම
කෙරුමට වරද කිසි පියකුදු නොමවීම
ඇත මට රහත් වග විලසින් රඟපෑම
සැමහට අධම ගති ගුණ වෙයි හැමදාම

ඇතහොත් තමන් ළඟ මෙම දුර්ගුණ එහෙම
පැතුවත් සුගති එන්නේ දුගතියෙ රහම
සැදැහැත් සිතින් මන තුළ රඳවා බොහොම
හිතුවොත් හොඳයි මේ වග කියවා දහම