Print this Article


ලොවම එරෙහි වූ කල වුව දරුවන්ගේ පිහිටට එන ගෙදර බුදුන්ගේ ගුණ කඳ

ලොවම එරෙහි වූ කල වුව දරුවන්ගේ පිහිටට එන ගෙදර බුදුන්ගේ ගුණ කඳ

මේ ලෝකයේ කාගේත් ළඟින්ම පිහිටට, පිළිසරණට සිටිනා දෙන්නෙක් ඇත්නම් ඒ මවත්, පියාත් බව අමුතුවෙන් කිව යුතු නැත. අටලෝ දහමින් කම්පා නොවී දරුවන් සමඟම ජීවත්වීමට නිරන්තරයෙන් උත්සාහ කරන්නේ එම දෙපළයි. ගෙදර බුදුන් ලෙස ආමන්ත්‍රණය කරන්නේ ද එම දෙපළටමයි. මවුපියන්ගේ වටිනාකම පිළිබඳ මොහොතක් ගානේ සිතීමට කාලය උදා වී ඇත. බුදුරදුන් වදාළ දෙමව්පියන්ගේ වටිනාකම පිළිබඳ කරුණු කාරණා අද සමාජයට ඉතා වැදගත් වේ.

මෙත්තා, කරුණා, මුදිතා,උපේක්ඛා යන මහා බ්‍රහ්මයාට ඇති ගුණ හතරකි. දෙමාපියන් තුළ ද එම ගුණ තිබෙන බව බුදුරජාණන් වහන්සේ වදාළහ.

ගෙදර බුදුන් ලෙස සලකන්නේ දෙමව්පියන් ය. “බ්‍රහ්මාති මාතා පිතරෝ” යනුවෙන් සඳහන් වන්නේ එම ගුණ හරහා මහා බ්‍රහ්මයාට දෙමව්පියන් ද සමාන වන බවයි. එම ගුණ හතර දෙමාපියන්ටත් තිබීම එයට හේතුවයි. දරුවන් විසින් වෙහෙස මහන්සි වී සැලකීමට සුදුස්සන් දෙපළක් ඇත්නම් ඒ මවුපියන් ය. දරුවන්ට ඇති ආදරය නිසාම දරුවන්ගෙන් වන කරදර කොතෙක් පැමිණියත් ඒවා ආදරයෙන් ඉවසීම දෙමව්පියන්ගේ ලක්ෂණයයි.

අජාසත්ත කුමාරයාට පියා වූ බිම්බිසාර රජතුමා සැලකූ ආකාරයත්, පසුව ඔහු රජ වී පියාට සැලකූ ආකරය තුළිනුත් ඒ බව මනාව සපථ වේ.

මැක්සිම් ගෝර්කි සඳහන් කළේ “ලෝකය ලස්සන වන්නේ හිරුගේ රැස්වලින් හා මවගේ කිරිවලින් බවයි. ඊට වසර දෙදහසකටත් ඉහතදී බුදුරජාණන් වහන්සේ දෙමාපියන්ගේ වටිනාකම ලෝක සත්වයාට දේශනා කළහ. ඕනෑම අම්මා කෙනකුගේ රුධිරය කිරි බවට පත්වන්නේ දරුවාට තිබෙන අපමණ සෙනෙහස නිසාවෙනි. ලෝකය කොතරම් දියුණු වුවත් රුධිරය දමා, ඒවා කිරි බවට පත්කරන යන්ත්‍රයක් බිහිවෙලා තිබේ ද යන්න මොහොතක් සිතා බැලිය යුතුව ඇත. එය සිදුවන්නේ මවක් තුළ දරුවා කෙරෙහි තිබෙන අසීමිත ආදරය නිසාමයි.

ශරීරයේ කිරි කියලා වෙනම කොටසක් ඇත්තේ නැත. දස මසක් තුළ දරුවෙකු කුසෙහි රඳවාගෙන අපමණ දුක් විඳිමින් මවක් දරුවන් මේ ලෝකෙට බිහි කරන්නේ දුක් වේදනා දරුවා වෙනුවෙන් ඉවසා ගෙන නොවේ ද?

දරුවන් ලොකු මහත් කිරීම සඳහා දරුවන්ට ආහාර පාන, ඇඳුම් පැළඳුම් පොත් පත් ලබා දෙන්නේ පියා ය. පිය කෙනෙක් වුව ද දරුවන් වෙනුවෙන් මොන තරම් මහන්සි වෙනවා ද? දහඩිය බිංදු දහස් ගණනක් මේ මහ පොළොවට වගුරුවා, දෑත දෙපයේ කර ගැට එනතුරු පොළොවත් සමඟ ගැටී පොර බදලා, කැත්තෙ උදැල්ලේ වැඩ කරන්නේ, රැකී රක්ෂා කරන්නේ, දූ දරුවන්ගේ අනාගතය යහපත් කර දීමට නොවේද? මව්පියෝ දූ දරුවන් වෙනුවෙන් විඳින දුක් වේදනා වචනවලට හසු කිරීමට බැරි තරම් ය. නමුදු සමහර දූ දරුවන්ට දෙමව්පියන්ගේ වටිනාකම ලොකු මහත් වෙනකොට අමතක වීම අභාග්‍ය සම්පන්න සිදුවීමකි. දෙමාපියන්ගේ අගය වටිනාකම මොහොතින් මොහොත සිහිකරමින් ඔවුනට උපස්ථාන කළ යුතු ය.

බුදුරජාණන් වහන්සේ තරම් මවුපිය වටිනාකම ගැන ලෝකයට කියා දුන්, ඒ පිළිබඳ වර්ණනා කළ, අගය කළ ශාස්තෘවරයෙක් මිහිපිට තවත් නැති තරම් ය. උන් වහන්සේ තම මවුපියන්ට කුමන ආකාරයෙන් උපස්ථාන කළේ ද යන්න ඉතා පැහැදිලි ය.

මවට තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කොට අභිධර්මය දේශනා කිරීම තුළින් ප්‍රකට වන්නේ මවගේ ගුණ බුදු කෙනෙක් වී ද අමතක නොකිරීමේ ස්වභාවයයි.

පියා වූ සුද්ධෝදන රජතුමාට රජමාළිගාවට වැඩම කොට තම දෑතින්ම හිස අතගා ආශිර්වාද කිරීම, පියාගේ ඉල්ලීම අනුව අවසරයක් නැතිව දරුවන් පැවිදි නොකරන ලෙස විනය ශික්ෂාවක් පැනවීම යනාදිය බුදු කෙනකු තම පියාට කළ උපස්ථාන ලෙස හැඳින්වීමට පුළුවන.

සිදුහත් කුමරු, රාහුල කුමරු, නන්ද කුමරු ආදී කුමාරවරුන්ගේ දරු සුරතල් බලමින් සුද්ධෝදන රජතුමා ලොකු සතුටකින් කල් ගත කළේ ය. නමුදු ඔවුන් පිළිවෙලින් පැවිදි වීමත් ( දරු මුණුබුරන්ගේ වෙනස්වීම) සමඟ සිතේ ඇති වුන දුක ප්‍රකාශ කළේ මේ අයුරිනි.

“දරු සෙනෙහස වනාහී සිවියත්, සමත්, මසත්, නහරත්, ඇටත් විනිවිද ගොස්, එයින් නොනැවතී ඇට මිදුළු දක්වා හැපී පවතින බවයි. ඒ සංසිද්ධිය මහා වග්ග පාලියේ ඉතා පැහැදිලිව සඳහන් කොට ඇත. දරුවන්ට දෙමාපියෝ අහිමි වීම, දෙමව්පියන්ට දරුවෝ අහිමි වීම තරම් දුකක් මේ ලෝකයේ තවත් නොමැති බව තේරුම් ගැනීමට බුද්ධ චරිතයේ සඳහන් එම සිදු වීම ම ප්‍රමාණවත් වේ.

අංගුලිමාල මුළු ලෝකයට ම දරුණු මිනීමරුවෙක් වුවත් තම මවට නම් එකම පුතා විය. ඒ නිසාම පුතා සොයා ගෙන ගියේ අපමණ දරු සෙනෙහසක් ඇතිවයි. දරුවෝ මුලු මහත් සමාජයටම එපා වුවත් දෙමාපියන්ට මැණිකක් සේ වටී. එය අන්‍යොන්‍ය වශයෙන් බැඳී පවතින්නක් බැවිනි. එනිසාම දරුවන් විසින් කරුණු පහකින් දෙමව්පියන්ට සැලකිය යුතු බව සිඟාලෝවාද සූත්‍රය තුළින් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. එනම් ,

භතෝ නේසං හරිස්සාමි (මව්පියන් පෝෂණය කිරීම)
කිච්චං නේසං කරිස්සාමි (මව්පියන්ගේ කටයුතු ඉටු කිරීම),
කුලවංස ඨපෙස්සාමි (කුල වංශය රැකීම),
දායජ්ජං පටිපජ්ජාමි ( මව්පියන්ගෙන් ලැබෙන දායාද ආරක්ෂා කිරීම),

අථ ච පන පේතානං කාලකතානං දක්ඛිණං අනුපදස්සාමි (මව්පියන් මළ කල්හි ඔවුන්ට පින් පෙත් පැමිණවීම) යන කරුණු පහ පිළිබඳ අවධානය යොමු කළ යුතු ය. දූ දරුවන්ගේ ලෝකය ගොඩනඟන්නට උර දෙන්නේ දෙමාපියන් බව අමතක නොකළ යුතු ය. මව්පියන්ට වැඳ නමස්කාර කිරීම හොඳ ගුණවත් දරුවන්ගේ සිරිතකි. ගමනක් යන විටදී වුව ද දෙමාපියන්ට වැඳ ආශිර්වාදය ලබා ගැනීමට හැකි නම් එය ජීවිතයට ශාන්තියක් පිණිසම පවතී. කාව්‍යශේඛරයේ සඳහන් පරිදි පුංචි සේනක කුමරු, ශිල්ප ඉගෙනීමට පළමු දෙමාපියන්ට වැඳ නමස්කාර කළ ආකාරය ඉතා ආදර්ශවත් වූවකි.

දෙමව්පිය සිනෙහැ ති
වඳිනුව පාපියුම් පෙ ති
එ කුමරු නැමීග ති
ඔවුන් කඳුළෙන් පිට තෙමී ගත

ස්නේහ ඇත්තා වූ මව්පිය දෙදෙනාගේ පාදපත්ම වඳිනා පිණිස ඒ කුමරු තෙම නැඹුරු විය. ඒ දෙමව්පියන්ගේ නේත්‍ර ජලයෙන් (කුමාරයාගේ) පෘෂ්ඨය තෙමී ගියා.

ඒ අනුව පැහැදිලි වන්නේ එසේ වඳිනා කල්හි දෙමාපියන්ගේ ඇස්වලින් සතුටු කඳුළු ගලා එන බව නොවේ ද? එම කුමරාට ආශිර්වාදය පිණිස එයම ශක්තියක් විය. මාගේ පුතාට තුණුරුවන් සරණයි. මාගේ දුවට තුණුරුවන් සරණයි ආදි වශයෙන් සඳහන් කිරීම දෙමාපියන්ගේ හදවතින් ම සිදුකරන්නක් බව අමතක නොකළ යුතු ය. එය ලබා ගැනීමට දූ දරුවන් ද නිරන්තරයෙන් උත්සාහවත් විය යුතු ය. මව්පියන්ටට උපස්ථාන කිරීම මංගල කරුණක් ලෙස මංගල සූත්‍රය තුළින් දේශනා කළහ. එසේම වයසට ගිය මවත් පියාත් පෝෂණය නොකරන තැනැත්තා වසලයෙක් වන බවත්, වසල සූත්‍ර තුළින් දේශනා කළහ.

“යො මාතරං වා පිතරං වා – ජින්ණකං ගතයොබ්බනං
පහුසන්තෝ න භරති – තං ජඤ්ඤා වසලො ඉති’

යමෙක් බොහෝ ධන ධාන්‍ය ඇත්තේ ජරපත් වූ, පහව ගිය තරුණ බව ඇති මව හෝ පියා හෝ පෝෂණය නොකෙරේ ද ඔහු වසලයෙකැයි දත යුතු ය.

සමහර දෙමව්පියන් තම දරුවන් කසල ගොඩට විසිකර යන කතා පුවත් ද අද නොයෙක් මාධ්‍ය තුළින් අසන්නට, දකින්නට ලැබේ. එසේ වුව ද බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ගුණ ඇති මව්වරු, පියවරු කවදාවත් එසේ නොකරති. දෙමව්පියන් දරුවන්ට කර ඇති කැපකිරීම උදෙසා දරුවන් කොතරම් වෙහෙස මහන්සි වී සැලකුවත් එයට සමාන නොවන බව දේශනා කොට ඇත.

නමුදු ගුණ යහපත් දරුවන් විසින් නොමඟ ගොස් ඇති මව්පියෝ සුමඟට ගැනීමට උත්සාහ කළොත් එතුළින් ඔවුනට සැලකුවා වන්නේ ය. ශ්‍රද්ධා, ශීල, ත්‍යාග, ප්‍රඥා ගුණවලින් තොර දෙමාපියන් ඒ ගුණයන්වලට පත්කිරීමට යම්කිසි දුවා දරුවකුට හැකියාවක් ඇත්නම් එවැනි දුවා දරුවන් මව්පියනට සැලකුවා වන්නේ ය. එයට හේතුව මෙලොව පරලොව සැප පිණිස එය හේතු වන බැවිනි. සමහර දරුවන් ලොකු මහත් වූවාට පසු තම දෙමාපියන් අමතක කරන ස්වභාවයක් ද දක්නට ලැබේ. සමහර වෙලාවට දරුවන් සමාජයේ ඉහළ තැන්වලට ගියාට පසු අම්මා, තාත්තා මහලු මඩම්වල හෝ වැඩිහිටි නිවාසවලට ඇතුළු කර මාසිකව මුදලක් ගෙවා ඔවුන්ගෙන් ඈත්වීම ද සමහර දරුවන් විසින් සුලභව සිදුකරන්නකි. එය හොඳ දරුවන්ගේ ගුණයක් නොවනු ඇත. තමන්ගේ උත්සාහයෙන් සම්බෝලයි බතුයි හෝ දෙමාපියන්ට කැවීම ඊට අමතරව උපස්ථාන වශයෙන් නැහැවීම, බේත් ටික දීම කරන්නට හැකි නම් එවැනි දරුවන් ගුණවත් දරුවන් ලෙසින් පිළිගැනීමට පුළුවන.

අම්මා තාත්තා කියල කියන්නේ එක ආත්මයකදී තමන්ට ලැබෙන දෙදෙනෙකු පමණයි. මාම, නැන්ද, අංකල්, ඇන්ටි කියන වචන අපට ඕනෑ තරම් කියන්න පුද්ගලයෝ ඉන්නවා. සමහර දරුවන් ලොකු මහත් වුණාම බිරිඳගේ කීමට අනුව හෝ ස්වාමියාගේ කීමට අනුව දෙමාපියන්ට අසාධාරණකම් සිදුකරන අවස්ථාත් සමාජය තුළ සුලභව දක්නට ලැබෙනවා. බුදුරදුන් කල සැවැත් නුවර සිටි වෘද්ධ බමුණාට මුහුණ පාන්නට සිදු වූයේ ද එවැනි සිද්ධියකටයි. දරුවෝ හතර දෙනාම හොඳට ලොකු මහත් කොට, වස්තුවත් සම සේ බෙදා දී පියා වයසට ගියාට පසු දරුවන් ළඟට ගියාම නොයෙක් අසාධාරණකම්වලට පියාට මුහුණපාන්ට සිදු වීමකි. අන්තිමට එම අසරණ පියාට බුදුරජාණන් වහන්සේගේ පිහිට පැතීමට සිදු විය.

එවැනි කතා පුවත් පිළිබඳ වර්තමානයේ වසන දූ දරුවන් ද අවධානය යොමු කරන්නේ නම් කිසි විටකත් තම දෙමව්පියනට අසාධාරණයක් සිදු නොකරනු ඇත. මුළු ලෝකයාගෙන් ම අසාධාරණයක් සිදුවන විටත් තමන් මෙලොවට බිහිකළ මවත්, ලොකු මහත් කළ පියත් තමන්ට පිහිට වන අයුරු දූ දරුවන් සිහියට ගත යුතු ය. කාගෙන් සරණක් නැති වුවත් දෙමාපියන්ගේ සරණ දරුවන්ට ලැබෙන බව දරුවන් සිතට ගෙන දෙමව්පියන්ට සැලකිය යුතු ය. දරුවන්ගේ දුකේ දී ඉවත් නොවන, සැපේ දී ඊර්ෂ්‍යා නොකරන දෙන්නෙක් ඇත්නම් ඒ වෙන කවුරුවත් නොව උතුම් වූ දෙමව්පිය දෙපළ පමණමයි. එනිසා කවදාවත් මව්පියෝ අමතක කරන්නට හීනෙකින්වත් හිතන්න එපා. එසේ කරනවා නම් එහි විපාක ද දරුවන්ට ලැබෙන බව මතක තබා ගත යුතු යි. බුදුරජාණන් වහන්සේ උගන්වා වදාළ යුතුකම් හරිහැටි ඉටුකරමින් උතුම් දූ දරුවන් වශයෙන් මෙලොව ජීවිත ගත කරන්නට හිතට ගන්නා ලෙස ලෝකවාසී සියලු දූ දරුවන්ට මතක් කිරීමට කැමැත්තෙමි.