Print this Article


අසාධාරණකම් හමුවේ පසුනොතැවී දුක්ඛිත සසරෙන් නිදහස් වෙමු

අසාධාරණකම් හමුවේ පසුනොතැවී දුක්ඛිත සසරෙන් නිදහස් වෙමු

මනුස්ස ලෝකයේ දී විටෙක අපි සැපෙන් ඉන්නවා. ඒ අ‍ටලෝ දහ‍මේ හොඳ පැත්ත යි. තව වෙලාවකදී අපි දුකෙන් ඉන්නවා. ඒ අටලෝ දහමේ නරක පැත්ත යි. අටලෝ දහම කියන්නේ විටෙක ලාභ ලැබෙනවා. තව විටෙක ලාභ නො ලැබී යනවා. එතකොට අලාභ. වෙලාවකට නින්දා ලැබෙනවා. තව වෙලාවක ප්‍රශංසා ල‍ැබෙනවා. ඒ යස අයස තව අවස්ථාවක තමා වටේ පිරිවර සිටිනවා. කිසිවකු නැතිව තමන් තනිවෙනවා. තව අවස්ථාව දී කායික මානසින දුක් එනවා. තව අවස්ථාවක දී සැප සේ ඉන්නවා. මේ සියලු දේ අප හැමෝගේ ම ජීවිතවලට වරින් වර ඇවිත් තිබෙනවා.

අටලෝ දහමේ දුක් පැත්ත අපේ ජීවිතවලට එනකොට අපි හිතනවා අනේ ඇයි මට ම මෙහෙම වෙන්නේ. මට කරදරවල ඉවරයක් නැහැනේ කියලා. නමුත් සැප පැත්ත ලැබෙද්දී එසේ කල්පනා කළේ නැහැ. ඇයි මට මේලාභ ලැබෙන්නේ. ඇයි මට ම ප්‍රශංසා. මා වටේම ඇයි පිරිස. මට ම ඇයි මෙ තරම් සැප ලැබෙන්නේ කියලා අපි කවුරුත් හිතුවේ නැහැ. ඒ කාලයේ දී ලාභයෙන් ප්‍රශංසාවෙන්, යසසින්, සැපයෙන් උද්දාමයට පත් වෙනවා.

අලාභ එනවිට, නින්දා එනවිට, ඥාතින් යහළුවන් ඈත්වෙනවිට ජීවිතයට එක දිගට කායික, මානසික දුක් පීඩා එනවිට මට ම ඇයි මෙ තරම් කරදර කියා අප කල්පනා කළ වාර ගණන කො තරම්ද? මම අයහපත කරන්නේ නැත්නම් හැමෝට ම උදව් උපකාර කරනවා නම්, ඇයි මට ම මෙහෙම වෙන්නේ? කියලා අප සිතුවොත් ඒ සිතිවිල්ල අසාධාරණ යි. ඒ ඇයි? ඒක ලෝක ස්වභාවය නිසා.

බුදුරජාණන් වහන්සේගේ කාලයේ වැඩසිටි සෝණ රහත් තෙරණිය ඔබට හොඳ උදාහරණයක්. ඇය ගිහි කාලයේ රූමත්. ඇයට පුත්තු දස දෙනෙක් සිටියා. ඒ දරුවොත් රන් කඳන් වගේ ලස්සනයි. ළමයි දහ දෙනකු සිටින කොට ඒ අම්මා තේජස්. තමන් වයසට ගියාම එක දරුවෙක් හරි සලකයි කියන බලාපොරොත්තුව ඒ අම්මාගේ හිතේ තිබුණා.

දවසක් ඒ අම්මාගේ සැමියා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න ගියා. දැන් මේ අම්මා ස්වාමියාත් නැතුව දරුවන් දස දෙනෙක් හදාවඩා ගන්න ඔට්ටු වෙනවා‍. ඒක ලෙහෙසි වැඩක් නොවේ. ඉතා අමාරුයි. ඒ දරුවන්ට උගන්වන්න ඕන. ගෙවල් දොරවල් හදා දෙන්න ඕන. රැකියා සොයා දෙන්න ඕන. විවාහ කර දෙන්න ඕන. දේපළ පවරන්න ඕන. ඇය මත විශාල වගකීමක්. ඇය කෙසේ හෝ කරදර මැද දරුවන් ලොකුමහත් කළා. දුක සේ සියලු දේ විඳ දරාගෙන කාලය ගත කළා. මානසික පීඩාවලටත් මුහුණ දිදී සිත ශක්තිමත්ව සිටියා. ස්වාමියාට බණින්නේත් නැතිව දරුවන්ට බණින්නේත් නැතිව සිතේ හයිය අරගෙන සියලු දෙයට මුහුණ දුන්නා.

දරුවෝ ලොකුමහත් වුණා. සුදුසු විවාහ කර දුන්නා. දේපළ පවරා දුන්නා. ඒ සෝණ අම්මා තමන් වෙනුවෙන් කිසිදු දෙයක් තබා ගත්තේ නැහැ. සියලු දේ දරුවන්ට පැවරුවා. කාලයක් යද්දී බාල පුතාගේ බිරිය කියනවා

“අම්මා ඇයි අපි ගාවම ඉන්නේ. තවත් නව දෙනෙක් දරුවෝ ඉන්නවානේ. ඒ ගෙවල්වලටත් යන්න කිව්වා. ඒ අම්මා එළියට බැහැලා තව දරුවකුගේ නිවසට ගියා. ටික කාලයක් යද්දී ඒ ගෙදර දරුවොත් කියනවා” “ඇයි අම්මා අපට වැඩිපුර දේපළක් දුන්නා ද? තව අය ඉන්නේ ඒ ගෙදරකටත් යන්න” කිව්වා. ඇය ඒ නිවසින් එළියට බැස්සා.

තමන්ට නැඟිටගන්න බැරිව ඉද්දී අත දීපූ අම්මා කියා ඒ දරුවෝ අමතක කළා. කන්න අකමැති වුණා ම කටට බත් ගුලි දාලා කැව් අම්මාටයි එහෙම කරන්නේ. තමන් තුරුළට අරන් කිරි පොවපු අම්මාටයි එහෙම කරන්නේ. පොඩි කාලයේ වරු ගණන් නැළවූ අම්මාට අද නිදා ගන්න ඒ නිවෙස්වල ඉඩ නැති වෙලා. ඇය ගෙයින් ගෙට ගෙයින් ගෙට, යනකොට ඇයට සැම නිවසකම දොරවල් වැහුණා. ඇය දරුවන්ටවත්, දරුවෝ විවාහ වූ අයටවත් දොස් කිව්වේ නැහැ. වෛර කළෙත් නැහැ. මේ දරුවාගේ වැරැදි අනෙක් දරුවාට කිව්වේ නැහැ. පාඩුවේ හිටියා. ඇයට සිදු වූ අසාධාරණය කිව්වෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ අසාධාරණය ‍සොයන්න එපා කියලා. එහෙම අසාධාරණකම් එකදිගට එනකොට ඒ අසාධාරණ සංසාරයෙන් නිදහස්වීම තමයි ‍හොඳම දේ කියා ඇය සිහි කළා.

දුක් කරදර එකදිගට එනකොට දුක් කරදර දෙන කෙනාට ඇගිල්ල දිගු කරනවාට වඩා ලෙහෙසියි කෙළවරක් නැති මේ සංසාරයෙන් නිදහස් වෙන එක. විසඳුම ඒකයි. ඇඟිල්ල දිගු කරන අයට වෛර බැඳගත්තොත්, මීටත් වඩා දුක් කරදර තිබෙන ලෝකයක උපත සැකසේවි.

ඉතින් මේ අම්මා කල්පනා කරනවා අසාධාරණය සංසාරයේ ස්වභාවය යි. ඒ නිසා මේ අසාධාරණ සංසාරයට ඇලෙන්න හොඳ නැහැ. ඒ කාලයේ මේ දරුවෝ මගේ වටේ දැවිටි දැවටි සිටියා. ඤාතින් යහළුවෝ මට හිටියා අද කවුරුත් නැහැ. මම යසස තිබූ කාලයේ උදම් වුනෙත් නැහැ. අයස ආ විට කම්පා වෙන්නෙත් නැහැ කියා කල්පනා කළා.

දැන දැනත් ඇය වයස යි. අතපය වාරු නැහැ. දුර්වලයි. කායික දුකටත්, මානසික දුකටත් ඔරොත්තු දිදී ඒවාට කම්පා නොවී ඇය තව විස½දුමකට ආවා. ඒ ආරාමයකට යන්න.

ඇය ආරාමයකට ගියා.‍ එතැනත් ඇයට ලෙහෙසි වුණේ නැහැ. එතැන සිටි භික්ෂුණින්ගේ බොහෝ වැඩ කරන්නට සිදු වුණා. දර පැලුවා, වතුර උණු කළා. පැන් පහසුවට වතුර පිරවූවා. අතුපතු ගෑවා. දවස පුරාම වැඩ කළා. සාමාන්‍ය කෙනෙක් නම් එතැනත් ගැටී යනවා. ඇය ඉවසුවා. දවස පුරාම වැඩ කරලා රාත්‍රියට පහළට බැහැල එතැන තිබෙන කණුවක් අල්ලාගෙන තමන්ගේ ශරීරයේ තිබෙන දෙතිස් කුණුපයන් සිහි කරමින් සක්මන් භාවනාව කරනවා.

ඇයට සක්මන් මළුවක සක්මන් කරන්නට වාරු නැති නිසා ඇය කණුව වටේට සක්මන් කරනවා. මේ මහපොළොවට පස් වෙලා යන කයක්, කුණුප කොටස්වලින් සැදනු කයක් දරාගත් නිසානේ මට මේ දුක කියා සිතමින් ඇය සක්මන් භාවනාවේ යෙදෙනවා. ඇය කායානුපස්සනාව සිහිකරමින් රැය පුරා සක්මන් කරනවා.

ඇයගේ සිත පටු වුණා නම් රාත්‍රිය පුරාම සිහි කරන්නේ දරුවන් කළ අසාධාරණය යි.

“මම ලොකු පුතාගේ ගෙදර ගියාම මට මෙහෙම කළා. අනෙක් පුතාගේ ලේලි මෙහෙම කළා. පොඩි දුවත් හුඟක් වෙනස් වෙලා” ආදී ලෙස රැය පුරා අයෝනිසෝ මනසිකාරයෙන් කාලය ගෙවන මව්වරුන් අදටත් අප අතර කො තරම් සිටිනවා ද? තමන්ට සිදු වූ අසාධාරණය සිත සිතා නිදි වරණවා. මේ තෙරණිය තමාට සිදු වූ අසාධාරණය සිතා නො වෙයි නිදි වරන්නේ? අසාධාරණකම් තිබෙන ‍මේ සංසාරයෙන් මිදෙන ආකාරය සිත සිතා නිදි වරණවා. ඒ තෙරණිය කෙතරම් නම් දියුණු ද?

එක් දිනක් දවල් කාලයේ බොහෝ සේ වෙහෙසිලා රාත්‍රියේ සක්මන් කරන්නට ආවා. එදින ඇගේ පින මෝරා තිබුණා. අපේ භාග්‍යවතුන් වහන්සේ එදා මහාකරුණා සමාපත්ති ඥානයට සම වැදිලා ලෝකය දෙස බැලුවා. උන්වහන්සේ පින මෝරා තිබෙන මේ තෙරණිය දුටුවා. මේ බියකරු සසරින් මිදෙන්නට ගන්නා වීර්යය දුටුවා. බුදුරජාණන් වහන්සේ එතැනට ආලෝකයක් එවා ඊට පසුව ගාථාවක් වදාළා.

“කෙනෙක් ධර්මයේ හැසිරෙන්නේ නැතිව අවුරුදු සියයක් ජීවත් වුණත් වැඩක් නැහැ. ධර්මයේ හැසිරිලා එක් දිනක් ජීවත් වීමයි වටින්නේ” යැයි වදාළා. එක දහම් පදයයි වදාළේ මේ තෙරණිය නිකෙලෙස් වුණා. දැන් ඒ තෙරණින් වහන්සේ අපි වගේ සංසාරෙයේ නැහැ. ඇය ගෞතම බුද්ධ ශාසනයේ වීර්ය අධික භික්ෂුණීන් වහන්සේ ලෙස අගතනතුරු ලැබුවා‍. දුක්ඛිත සංසාරයෙන් එතෙර වී ගියා.