Print this Article


බිම වැටී තිබුණු දෙයක් අහුලා ගැනීම සොරකමක් ද?

බිම වැටී තිබුණු දෙයක් අහුලා ගැනීම සොරකමක් ද?

එක් කාලයක ලංකාව පාලනය කළා භාතිය කියලා රජ කෙනෙක්. බොහෝම ශ්‍රද්ධා සම්පන්නයි. දැහැමින් රාජ්‍ය පාලනය කළා. රජතුමාගේ සිරිතක් තිබුණා ඉඩක් ලැබුණු ගමන් මහා සෑය වන්දනා කරන්න යන්න. දිනක් අමාත්‍යවරුන් හා ආරක්ෂක සෙබළු සමඟ පිටත් වුණා.

මෙදිනම දකුණු දිශාවෙන් පිටත් වුණ මහ තෙරනමක් ද මහාසෑය වන්දනා කරගන්න වැඩම කරලා තිබුණා. මහාසෑයට පූජා කරන්න රියන් හතක් පමණ කසාවතක් ද කරලාගෙන තමයි උන්වහන්සේ වැඩම කළේ.

සවස් කාලය නිසා වන්දනාකරුවන්ගේ ප්‍රමාණය වැඩියි. උඩමළුවේ ගමන් කරන්න බැරිතරම් සෙනඟ පිරිලා. තෙරුන් වහන්සේටත් වන්දනා කරගන්න යන්න අවශ්‍යයි. කොහොම හරි සෙනඟ අතරින් ම උන්වහන්සේත් හෙමින් හෙමින් සෑය සමීපයට වැඩම කරන්න පටන් ගත්තා. මේ මොහොතේ භාතිය රජුගේ ආරක්ෂකයින් ඇවිත් රජතුමාට අවශ්‍ය ඉඩ සකසන්න වුණා. වන්දනා කරුවෝ කලබලයෙන් එහෙ මෙහෙ යන්නත්, තෙරපෙන්නත් වුණා. අධික තදබදය නිසා තෙරුන් වහන්සේගේ කරේ තිබුණු රියන් හතක් පමණ වූ සිවුරු රෙද්ද තමන්ටත් නොදැනීම බිමට වැටිලා. සෙනග අතරින් හෙමින් හෙමින් දාගැබ සමීපයට වැඩම කරලා ගෙන තිබුණු සිවුරු පිරිකර දාගැබට පූජා කරන්න බලන කොට එය කරේ නැති බව දැක්කා.

‘රජතුමා ආව නිසා මිනිස්සු කලබල වුණා. සෙනඟ අතරේ ආයෙත් ඇවිද ගිහින් ඒක හොයා ගන්න එක එතරම් පහසු නෑ. ඒ විතරක් නොවෙයි. මිනිසුන්ගේ පාවලට පෑගිලා හොඳටෝම දැන් අපිරිසුදු වෙලා ඇති. ඒ වගේ අපිරිසුදු පිරිකරක් මහා සෑයට පූජා කරන එක සුදුසුත් නෑ’යි ගෙනා කසාවත පිළිබඳ බලාපොරොත්තුව අත්හැර දමලා හිතේ සතුටින් දාගැබ වන්දනා කරගෙන විහාරය බලා වැඩම කළා. සෙනඟ හෙමින් හෙමින් අඩුවී ගෙන යන අතරේ තවත් එක් භික්ෂුවක් මහාසෑය වන්දනා කරන්න වැඩම කළා. උන්වහන්සේ දැක්කා සිවුරු පිරිකරක් බිම වැටී අපිරිසුදු වී තියන ආකාරය. අයිතිකාරයෙක් නැති නිසා මේක පිරිසුදු කර භාවිත කරන්න ඕන’යි ඒක අහුල ගත්තා. එය කරලාගෙන ටික දුරක් යන කොට උන්වහන්සේට මකත් වුණා. හිමි නැති යමක් බිම වැටී තිබුණත් එය අර ගැනීම උපසම්පදා භික්ෂුවකට තහනම් බව. අලුත උපසම්පදා වුණ තෙරුන් වහන්සේට එය නිතර නිතර මකත් වෙන්න පටන් ගත්තා. මම වැරැද්දක් කළා. මම සොරකමක් කළා. අදත්තාදාන පාරාජිකාවට මම හසුවුණා. පැවිදි ජීවිතය නැති වුණා. තවත් භික්ෂු ශාසනයේ රැදෙන්න ඉඩක් ඇත්තේ නෑ. ඒ නිසා අදම සිවුරු හැරදමා ශාසනයෙන් ඉවත් වෙනවා, තවත් පව් කර ගන්න බෑ’යි තීරණය කර ගත්තා.

කල්පනා කර කර සෑය වන්දනා කරන තෙරුන් වහන්සේට මකත් වුණා. ගිහිවෙන්න පෙර විනයධර මහ තෙරුන් වහන්සේ නමක් හමුවී මේ ගැන සාකච්ඡා කළොත් හොඳයි කියලා. මහා විහාරයේ වැඩ සිටියා ති‍්‍රපිටකධාරී හා විනයාචාර්ය භික්ෂූන් අතර ප්‍රධාන භික්ෂුවක්. උන්වහන්සේ ප්‍රසිද්ධ වෙලා හිටියේ චූලසුමන නමින්. චීවර රෙදිකඩ අහුලා ගත් තෙරුන් වහන්සේ සවස් යාමයේ ම මහා විහාරයට වැඩම කරලා සෙසු විහාරවාසී තෙරුන් වහන්සේ නමක් අමතලා ‘පින්වත් ස්ථවිරයන් වහන්ස, චූලසුමන මහතෙරුන් වහන්සේ වැඩ සිටිනවාද? මට උන්වහන්සේ හමුවන්නට අවශ්‍යයි’ කියලා තමන් වහන්සේ වැඩම කළ කාරණය මතක් කළා. එතැන වැඩ සිටි තෙරුන් වහන්සේ නමක් ‘වැඩ සිටිනවා’යි

ප්‍රතිඋත්තර දෙමින් පණිවිඩය චූලසුමන තෙරුන් වහන්සේට ලබා දුන්නා. මද වේලාවකින් එහි වැඩම කළ තෙරුන් වහන්සේට තමන්ගේ සිතෙහි තියෙන සැකය ගැන පැවසුවා. තමන් වහන්සේ එය අහුලා ගත්ත ආකාරය ආදී සියලු ම තොරතුරුත් කියා සිටියා.

‘සිදුවුණු දේ මට හොඳට පැහැදිලි දැන්. ඔබ වහන්සේගේ උපසම්පදාව රැක ගන්න අවස්ථාව ඉතිරිවෙලා තියනවා. ඒක කරන්න නම් මේ කසාවත හිමි භික්ෂුව කැඳවාගෙන එන්න ඕන’යි දන්වා සිටියා.

‘ස්වාමිනී, මම දන්නේ නෑ කවර භික්ෂුවකගේ දැයි කියලා. ඉතින් මම කොහොම ද එම භික්ෂුව හොයා ගන්නේ. මම එක් වතාවක්වත් දැක්කා නම් කැඳවාගෙන එන්න තිබුණා’යි උත්තර දුන්නා.

‘ගිහින් සෑ මළුවේ බලන්න. එහි සිටින පිරිස් වෙතින් විමසා බලා හොයාගෙන එන්න’යි පිටත් කළා. එම භික්ෂුව සෑමළුවට වැඩම කර පැය ගණන් බලා සිටියා නැවතත් සෑමළුවට වැඩම කරාවි යැයි කියලා. මහාසෑය වන්දනා කරන්න වැඩම කරන හැම භික්ෂුවකගෙන් ම හිමිකාරිත්වය විමසා සිටියා. එක් අයෙක්වත් හමුවුණේ නෑ ඒ ගැන තොරතුරක් දන්න කෙනෙක්වත්. දැන් හොඳටම වෙහෙසයි. බොහෝ වේලාවක් එතැන සිටින භික්ෂූන්ගෙන් හා සැදැහැති ජනයාගෙන් විමසා සිටියා. කොයි පැත්තෙන් ද භික්ෂූන් වහන්සේලා වැඩිපුරම වැඩම කරන්නේ කියලා. දැන ගන්න ලැබුණා දකුණු දිශාවෙන් වැඩම කරන තෙරවරු ගණන වැඩි බව. කොහොම හරි කසාවත හිමි භික්ෂුව හොයා ගන්න ඕන’යි හිතලා දකුණු දිශාවේ පිහිටි හැම විහාරයකට ම රියන් හතක් පමණ කසාවතත් අරගෙන වැඩම කළා. විහාරස්ථාන ගණනාවකට ම වැඩම කළත් තොරතුරක් දැනගන්න ලැබුණේ නෑ. එහෙම වුණත් සසරට තියෙන බය නිසාත්, උපසම්පදාවට ඇති ගෞරවය නිසාත්, භික්ෂු ශාසනයට ඇති කැමැත්ත නිසාත් උත්සාහය අත්හැරියේ ම නෑ. තවදුරටත් දකුණු දිශාවේ තිබෙන විහාරවලට වැඩම කරන්න පටන් ගත්තා. අවසාන විහාරස්ථානයේ දී කසාවත හිමි භික්ෂුව සොයා ගන්න පුළුවන්කම ලැබුණා. තෙරුන් වහන්සේගේ හිත සොම්නසින් පිරී ගියා. තමන් වහන්සේ වැඩම කළ කාරණය මතක් කළා. මහා විහාරයේ චූලසුමන තෙරුන් වහන්සේ හමුවීමට යා යුතු බවත් සිහිපත් කළා.

දෙදෙනා වහන්සේ ම මහා විහාරයට වැඩම කරලා මහතෙරුන් වහන්සේට වන්දනා කළා. කසාවත හිමි භික්ෂුවගෙන් චූලසුමන තෙරුන් වහන්සේ ප්‍රශ්න කරලා අයිතිය තහවුරු කර ගත්තා. ඒ අවස්ථාවේ කරුණු හොඳින් අවබෝධ කර ගැනීමේ බුද්ධියකින් හෙබි කසාවත හිමි භික්ෂුව මහ තෙරුන් වහන්සේ අමතලා ‘ස්වාමිනි චූලසුමන මහ තෙරුන් වහන්ස, මම මේ වස්ත්‍ර හිතින් අත් හළ එකක්. මෙහි අයිතියක් මම අපේක්ෂා කරන්නේ නෑ’යි කියා සිටියා.

සිදුවුණු දේ හොඳින් අවබෝධ කරගත් මහ තෙරුන් වහන්සේ කසාවත අහුලා ගත් උපසම්පදා භික්ෂුව අමතලා ‘ඇවැත්නි, ඔබ වහන්සේ මේ කසාවත පිරිසුදු සිතින් ගත්තේ නම් ඔබට අදත්තාදාන පාරාජිපත්තිය සිදු වන්නේ නෑ. එහෙම වුනත් සොර සිතක් මෙයට හේතුවෙලා තියනවා. ඒ නිසා දුක්කටාපත්තියක් කර තිබෙනවා. දෙදෙනා වහන්සේ ඇවැත් දෙසාගෙන ඇවැත් නැත්තෙක් වෙන්න’යි උපදෙස් ලබා දුන්නා.

ඇවැත් දේශනා කර ගත් පසු කසාවත හිමි භිකෂුව ආමන්ත්‍රණය කර ‘ඇවැත්නි, ඔබ වහන්සේ සතු මේ කසාවත අරගන්න. හිතින් අතහැර දැමුවේ නම් මේ භික්ෂුවට දෙන්න. නැත්නම් ඔබම ගෙන යන්න’යි දන්වා සිටියා. එකල්හි මහත් සේ චිත්ත සන්තෝෂයට පත් කසාවත හිමි භික්ෂුව මහතෙරුන් වහන්සේට නමස්කාර කර ‘ස්වාමිනි, මම හිතින් අත්හළ දෙයක් නැවතත් අරගන්නේ නෑ. මේ කසාවත අයිති මෙය අහුලා ගත් මේ භික්ෂුවටමයි.’ පවසමින් එය අනෙක් භික්ෂුවට පූජා කළා. උන්වහන්සේ තමන්ගේ උපසම්පදා ශීලය ආරක්ෂා වුණ බව සිතමින් අමෘතය ලැබූවකු මෙන් බලවත් සේ සන්තෝෂයට පත් වුණා’යි කතා පුවතක් සමන්ත පාසාදිකාවේ ද්විතීය පාරාජිකාවේ සඳහන් වෙනවා.

නොදැනුවත්ව වැරැද්දක් කළා වුවත් එය වැරැද්දක් බව වටහා ගත් සැනින් එය නිවැරැදි කර ගන්න කටයුතු කළ ආකාරය මේ කතා පුවතින් පෙන්වා දෙනවා. කළ වැරැද්ද සඟවාගෙන සිටීම මෙලොවත් පරලොවත් දුකට පත්වීමට හේතු වෙනවා. වැරැද්දක් බව අවබෝධ කරගෙනත් එය නිවැරැදි කර ගන්න බොහො සේ වෙහෙසෙන්න වුණා. වැරැද්ද සඟවා ගත්තා නම් තවත් දුකට පත් වෙන්න වෙනවා.

ගිහි හෝ පැවිදි හෝ වේවා කළ වැරැද්ද වරදක් ලෙස දුටු වහාම නිවැරැදි කර ගැනීම උතුම් ගුණයක්. එය යහපත් පවුල් පරිසරයක්, යහපත් ආයතනයක් සහ යහපත් මානව සමාජයක් බිහි කිරීමට හේතු වෙන දෙයක්.