Print this Article


සුන්දර මාවෙල ගම් පියසේ අභිමානවත් වෙහෙර බිම පින්බර සම්බෝධිගිරි විහාරය

සුන්දර මාවෙල ගම් පියසේ අභිමානවත් වෙහෙර බිම පින්බර සම්බෝධිගිරි විහාරය

රත්නපුර බළංගොඩ මාර්ගයේ ඇල්ලේපොල හන්දියෙන් හැරී ගවරන්තැන්න වැලිගෙපොල මාර්ගයේ ගිරිහෙල් පීරාගෙන කිලෝමීටර් දහයක් පමණ ගිය විට මාවෙල ගම හමුවේ.

ඉපැරැණි ගම්මානයක් වූ මාවෙල ගම වඩාත් ප්‍රචළිතව ඇත්තේ එහි ඇති ඉපැරැණි මහා බෝධීන් වහන්සේ නිසා ය. එහි ඉතිහාසය ක්‍රිස්තු පූර්ව දෙවන තුන්වන සියවස් පමණට ඇදී යන්නේ මෙයට ආසන්නයේ පැවැති සඳගිරි නුවරත් එහි රෝපණය වූ දෙතිස්ඵල බෝධීන් වහන්සේ සමඟ ඉපැරැණි මාවෙල බෝධි වෘක්ෂය අතර ඇති සබඳතාවය ද නිසා ය.

මාවෙල ගමට යාබද ගිරි ශිඛර අතරේ ඇති ඉපැරැණි ගල්ලෙන් බොහොමයක අතීත ජනාවාස පැවැති බව ද හඳුනාගෙන ඇත. කලෙකට ඉහතදී මෙම බෝ සමිඳුන් සෙවණෙහි භාවනානුයෝගීව වැඩ සිටි තාපසයන් ගැන ද පැරැන්නෝ කියති.

මෑත කාලයේ දී මෙම උතුම් පින්බිම දැක හැඳින විහාරස්ථානයක් බවට පත් කිරීමට මුල පිරුවේ 1970 වසරේ දී පමණ ය. ඒ රත්නපුර වරකාතොට පාරේ ශ්‍රී බෝධිරාජාරාම විහාරාධිපතිව වැඩ සිටි බටුගෙදර සුධම්ම හිමිපාණන්ගේ මඟ පෙන්වීමෙනි.

ඒ ඉපැරැණි බෝ සමිඳුන් සෙවණේ වස් සමාදන් වීමෙනි. මාවෙල ප්‍රදේශයේ සත් ගුණවත් බෞද්ධ ව්‍යාපාරික මහතකු වූ එම්.එම්. අරණෝලිස් මහතා සිදු කළ භූමි පරිත්‍යාගයකින් බෝ සමිඳුන්ට යාබදව කුඩා කුටියක් ඉදි කිරීමෙන් සම්බෝධිගිරි විහාරයට මුල පිරුණි.

මාවෙල ගමට ආසන්නව ආගමික වතාවත් සඳහා ආසන්නයේ වෙනත් විහාරස්ථානයන් ද නො තිබුණ නිසා සම්බෝධිගිරි විහාරයේ සංවර්ධන කටයුතු ඉක්මන් විණි.

විහාරාධිපති බළංගොඩ
සුමේධාලංකාර හිමි

 

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ රත්නපුර දිසාපාලක
මාවෙල සිරිසුමන නාහිමි

විහාරාධිපති විශ්‍රාමලත් විදුහල්පති බළංගොඩ සුමේධාලංකාර හිමියන්ගේ මූලිකත්වයෙන් සිදු වූ විහාර සංවර්ධන කටයුතු සඳහා මඟ විවරවීම සහ අවශ්‍ය අනුශාසනා සිදු වූයේ මාවෙල සිරි සුමන නාහිමියන් වෙතිනි.

විහාරස්ථානයේ සංවර්ධන කටයුතු නිමාවන විට දරුවන්ගේ ධර්ම ඥානය ඇති කරවීම සඳහා ආරම්භ වූ දහම් පාසල ද දවසින් දවස උසස් ප්‍රතිඵල පෙන්වමින් සිය ගණනක් දරුවෝ යහමඟට යොමු කරමින් සිටී. ධර්මාචාර්ය විභාගයෙන් පවා සමත් ව විශිෂ්ටයන් වූ දරුවෝ ද සිටිති.

සැදැහැති දායක පින්වතුන්ගේ සහ දානපතියන්ගේ ධන පරිත්‍යාගයෙන් මාවෙල සිරි සම්බෝධිගිරි විහාර බිමෙහි ඉදිවුණ මව් පිය ගුණ මහ සෑය මාවෙල කඳු මුඳුනේ සිට සමනොළ කඳු පෙළ දෙසට නිරාවරණය වන්නේ මහවලතැන්න කිරිමැටිතැන්න පසුකර හමනා සිසිලැල් පවන ද සමඟින් ය.

මනරම් වූ වටපිටාවක ඉදිවුණ මෙම මහා සෑ රදුන්ගේ වැඩ නිමාකොට කොත් පැළඳවීම සහ නිරාවරණ පූජාව ද සිදුවූයේ මැදින් මස ආරම්භයේ දී ය. ඈත සිට බලන්නකුට සෑරදුන් වැජඹෙන තේජාන්විත බවටත් වැඩියෙන් බුදු සිරිත දැක සිත් පහන් කර ගන්නට අවස්ථාව සැලසෙන්නේ මහා සෑ රදුන් වටා සහ එහි තුළ ගර්භයේ බිත්තිවල ද මූර්ති ලෙස මෙන් ම චිත්‍ර ලෙසින් ද පෙන්වා ඇති බුදු සිරිතේ විවිධ අවස්ථා දකින විට ය.

මෙම සෑයට මව් පිය ගුණ මහා සෑය යන නම ලැබී ඇත්තේ ද එහි තුළ ඇති චිත්‍ර සහ මූර්ති බොහොමයක් ම මව් පිය ගුණයට මුල් තැන දෙන ඒවා නිසා ය. මව් පිය ගුණ සුවඳ සිතට දැනෙනා ලෙසින් ඒවා මූර්තිමත් වී ඇත.

තමන් කුමන සමාජ ස්ථරයක සිටිය ද තමන්ගේ ශක්ති පමණින් මව්පිය උපස්ථානයන් කළ යුතු ය යන උදාර පණිවිඩය සමාජගත කරන්නට ගත් උත්සාහයක් ලෙස සම්බෝධිගිරි විහාරයේ මව් පිය ගුණ සෑය නිර්මාණය කළ බව විහාරාධිපති හිමියෝ පවසති.

එනිසාම ඒතුළ බෝසතාණන් වහන්සේ තම දිවි පරදුවට තබා මව්පිය උපස්ථානයේ යෙදුණු අයුරු පෙන්වන ජාතක කතා ද චිත්‍ර හා මූර්ති මඟින් පණගන්වා ඇත. අවසනට දක්වා ඇත්තේ මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මය දේශනා කිරීමේ පුවත යි.