Print this Article


එකිනෙකාට ගරු කරන හැටි ගෙදරින් කියා දෙන්න

එකිනෙකාට ගරු කරන හැටි ගෙදරින් කියා දෙන්න

සෑම නිවසකම අම්මා හිමවත් පව්ව වගේ යි. ඒ හිමවත් පව්ව වටේ සිටින දරුවෝ, සැමියා, මව්පියෝ, නෑදෑයෝ සියලුදෙනා ම ඒ ශක්තියෙන් තමයි යහපතට යොමු වන්නේ. අද බොහෝ නිවසේවල අම්මා පුරුදුවෙලා සිටිනවා දරුවන්ට නිවසේ බුදු පහන තියන්න කියන්න. බුදුරජාණන් වහන්සේට අම්මා පහන තිබ්බොත් ඒ පින අම්මාට යි. දරුවන් පහන තිබ්බොත් ඒ පින දරුවන්ට යි. අම්මා සවසට නිවසේ වැඩ අවසන් කොට මල් ටිකක් කඩාගෙන, පැන් එකක් පෙරාගෙන, පහනක් පත්තුකරලා පැය භාගයක් හෝ තෙරුවන් වන්දනා කරන්න පුරුදු වෙනවා නම් අම්මා පිටුපස යන දරුවන් එයට පුරුදු වෙනවා. ඒ සඳහා වෙලාව නැහැ කියන්න බැහැ.

අද බොහෝ අම්මලා රූපවාහිනිය ළඟ නැවතිලා. දරුවෝ පරිඝනකය ඉදිරියේ නැවතිලා. ඒ ඒ අය ඒ ඒ ලෝකවල හිර වෙලා. ‍ ඒ වෙලාව අරගෙන මගේ දරුවන්ටත් යහපතක් වෙන්න මම හරියට මේ දේ කරන්න ඕ‍න කියා සිතා සිතට හයිය අරගෙන විකාර දර්ශන බලන එක නවත්වලා තෙරුවන් ගුණ සිහි කරලා පිරිත් ටිකක් කියලා දිනපතා බුද්ධ වන්දනාව කරන්න පුරුදු වුණා නම් ඒ නිවස කෙ තරම් සාමකාමී ද?

රූපවාහිනියේ නාට්‍ය බැලීම ඔබ පුරුද්දක් කරගෙන සිටිනවා නම් එයින් අත මිදෙන්න. මේ රූපවාහිනිය මගේ කාලය කො තරම් ගන්නවාද කියා සිහි කරන්න. ළමයින්ගේ කටයුතු අඩාල වෙලා නේද කියා සිහි කරන්න. නිදිමත එනතුරු රූපවාහිනිය නරඹලා නිදිමත ආ විට ගොස් නිදා ගන්නවා. එය මඟහැර ගැනීමට ඇයට දක්ෂතාවයක් මෙන්ම ප්‍රඥාවත් අවශය ම යි. එය නිස්සාර දෙයක් කියා සිහි කරන්න. නාට්‍ය කියන්නේ කාගේ හෝ සිතක උපන් සිතිවිල්ලක් පමණ යි. අපි ඒ දෙස බලාගෙන එතැන රණ්ඩු වෙනකොට අපිත් රණ්ඩු වෙනවා. ඒ අය අඬද්දි අපිත් අඬනවා. ඒ අය සිනා වෙද්දී අපිත් සිනහා වෙනවා. නළු නිළියෝ මුදල් උපායගෙන යනවා. අපි අපේ කාලය වනසා ගන්නවා. ඊට පස්සේ හෙට වෙනතුරු කල්පනා කරන්නේ මොකක් වෙයිද දන්නේ නැහැ. හෙට කොටසේ මෙහෙම තිබුණොත් හොඳයි කියලා චිත්තරූප මවාගෙන කල්පනා කරමින් තමන් ගේ කාලය අපතේ අරිනවා. සිතින් තර්ක විතර්ක කරමින් සිටිනවා. තමන්ගේ ප්‍රශ්න මදිවට අනුන්ගේ ප්‍රශ්නත් තමන්ගේ කර ගන්නවා.

එසේ නො කොට එහි ඇති නිස්සාර බව දකින්න. සිත ඒවාට යට වෙන්න නො දී සරු දේ නිසරු දේ හඳුනා ගන්න. බොහෝ දෙනාට නිසරු දේ සරු දේ ලෙස පෙනෙනවා. නිසරු දෙයට ආශා කරනවා. එහෙම වුණොත් තමන් නිකම්ම ප්‍රමාදයට පත් වෙනවා. සරු දේ නිසරු දේ හඳුනාගෙන නිසරු දේ ‍ බැහැර කරන්නට හිතට හයිය තිබෙනවා නම්, නුවණින් කල්පනා කරන්න. ප්‍රඥාව තිබෙනවා නම්, නිසරු දෙයින් ඈත් වෙන්න ශක්තිය තිබෙනවා නම් ඇයට ධර්මයේ හැසිරෙන්න හොඳ විවේකයක් ලැබෙනවා.

එනිසා අම්මා තාත්තාට ගරු කරනවා නම්, දරුවෝ තාත්තාට එකට එක කියන්නේ නැහැ. අම්මා තාත්තාගේ වැරැදි ප්‍රසිද්ධියේ කියා කෑ ගසන්නේ නැත්නම් දරුවෝ තාත්තාට ඇඟිල්ල දිගු කරන්නේ නැහැ. දරුවෝ තාත්තාට අම්මාට කෑ ගසන්නේ ළමයි ඉදිරියේ අම්මා තාත්තා එකිනෙකාට චෝදනා කරන නිසයි. මවුපියන් අතරේ යම් අමනාපයක් ඇතිවුණොත් එය දරුවන්ට නෑසෙන අයුරින් බේරා ගැනීමට මවුපියන් දක්ෂ විය යුතුයි. ළමයෙක් තාත්තාට මොනවා හරි කිවුවොත් පුතේ ඒ ඔයාගේ තාත්තා. එහෙම කියන්න එපා කියලා අවවාද කරන්න පුළුවන්නම්, දරුවෝ අම්මාට සැර වෙද්දී එහෙම කතාකරන්න එපා මේ ඔයාගේ අම්මානේ කියලා තාත්තාට කියන්න පුළුවන් නම් එතැන ගොඩනැගෙන්නේ සමඟියක්.