Print this Article


උසස් මිනිසාගේ සිත සවිමත් නොවීමේ අරුමය

උසස් මිනිසාගේ සිත සවිමත් නොවීමේ අරුමය

කුඩා දියපහර මහා ගංගාවක් බවට පත්වෙයි. පුංචි වේයා මහා තුඹසක් බඳියි. විස්මිත මහා මන්දිරයක ආරම්භය මංගල පස් පිඬැල්ලයි. දුර ඈත වන්දනා ගමනේ සාර්ථක නිෂ්ටාව ගමනාරම්භය නිසාවෙනි.

නොපසුබස්නා වීර්යයෙන් සිහිකල්පනාවෙන් ක්‍රියා කිරීමෙන් කෙනකුට මෙලොව දියුණුව සලසා ගැනීම උගහට නොවෙයි.

පලිබෝධකයෝ

සුරාව, සූදුව, පවිටු මිතුරු ඇසුර, අල්ලාප සල්ලාප, සම්පප්ප්‍රලාපය දියුණුවට පළිබෝධ ය.

මහ මඟ අගුපිළේ හුන් දුගියකුට ළඟින් ඇවිද ගිය රාජ පුරෝහිතතුමන්ගේ වදන තම දිවි මඟ සපුරා වෙනස් කොට දිළිඳු පැලේ සිටුමැඳුරක සිටු තනතුරකට මඟ පෑදුවේ ය. මී කුණකින් ඇරඹි දිවි ගමන සිටු මන්දිරයක සිටුවරයකු වන්නට දිළිඳු මිනිසාට උපකාරවත් වූයේ දෙදණින් වැටී නොඉඳ දෙපයින් නැඟීටීමේ ඕනෑකමයි. දණි පනි ගසා නැඟිටීමේ වුවමනාවයි. උට්ඨාන වීර්යයයි. මනා සිහිකල්පනාවයි. ධාර්මික හැසිරීමයි. නිවැරැදි ක්‍රියා පිළිවෙතයි.

අද බොහෝ ඇත්තෝ අප දිළිඳු යැයි තැවෙති. අපට අපේ මූලික වුවමනාවන් සපුරාගත නොහැකි යැයි වැළපෙති. දුශ්චරිතයෙන් බැහැරව බලවත් වීර්යයෙන් මනා සිහි ඇතිව, ජාති දූපුතුන් ගැන සිතා ධාර්මික දිවි පෙවෙතින් – අතමිට සරු හෙට දවස වෙනුවෙන් යමෙක් පේ වෙයි ද, ඇප කැපව ක්‍රියා කරයි ද, එවැනි තැනැත්තාගේ දිවි ගමන ඓශ්චර්යයෙන් බබළයි.

නැහැ බැහැ නොකියා හිරු නැඟුණු අරුණෝදයේ පටන් අඳුරු පැතිරෙන ගොම්මන දක්වා යමෙක් දහඩිය වගුරුවා වෙහෙස මහන්සියෙන් දියුණුව උදෙසා ව්‍යාවෘත වේ ද උත්සාහ සම්පන්න දියුණුූවේ අභිලාෂ ඇති ශූර වීර ධීර මනු දිවිය එබඳු ධෛර්ය සම්පන්න තැනැත්තාට පමණක් නොව ඔහුගේ පවුලට දරු පැටවුන්ට, නෑසියන්ට, පය ගැසූ දේශයට අභිමානය යස ඉසුර කැඳවයි.

පසුම්බියේ ඉතිරියයි කැදැල්ලේ සුවසෙතයි

සදාචාරය පසෙකලා සෞභාග්‍යය පැතීම වැලි මිරිකා තෙල් ප්‍රාර්ථනා කිරීමකි. උඳු වපුරා මුං බලාපොරොත්තු වීමකි.

දියුණුව, සංවර්ධනය යනු ආර්ථිකයේ දියුණුව පමණක් ම නොවෙයි. ආර්ථිකය හා බැඳි සියලු සමාජ සංස්කෘතික, අංශයන්හි වර්ධනය යි. දුරාචාරය , ආර්ථික දියුණුව ද සුනුවිසුණු කරයි.

දියුණුව පතන්නා පළමුව නිවස කළමනාකරණය කර ගත යුතු වෙයි. එක පවුලක දෛනික පරිභෝජනයට අවැසි මිරිස්, ඉඟුරු, රම්පෙ, කරපිංචා , කහ ගෙවත්තේ වැවෙත් නම් එබඳු පවුල් කිහිපයක මාසික අස්වැන්න කොතෙක් ද ?

මහ පොළොවේ සාරය, ගහකොළ ඇළ දොළේ ජීවය, හිරු සඳුගේ ශක්තිය කෙරෙහි විශ්වාසය නොතැබීම අමනෝඥකමකි.

තමාටත් අසන්නාටත් හිතදායක නොවන හිස් වදන් තෙපළන අමිල කාලය මෑ වැලකට, දඹල වැලකට, ගොටුකොළ, මුගුණුවැන්න පැළයකට මුසු කළහොත් පසුම්බියේ ඉතිරියට ද , දරු කැදැල්ලේ සුවසෙත ද ළඟාකර දෙනු නියත ය. බුදුන් වහන්සේගේ ඉගැන්වීම ධනය ඉපයීමට ය. හරිහම්බ කිරීමට ය. සම්මා ආජීවයට ය. නිවැරැදි දිවි පැවැත්මට ය. උත්සාහවත්ව ධනය ලබා, දරු පවුල් රැක ස්ව නෑසියනට හිතමිතුරනට සලකා යුතුකම් ඉටුකර කෙනකුට සැනසිය හැකි නම් හෙතෙම බුදුන් වහන්සේගේ මෙලොව දිවි සරසන පාඩම් උගත්තේ වෙයි.

කළමනාකරණය, ඉදිරි දැක්ම, පුරෝකථනය, සැලසුම්කිරීම අරපිරිමැස්ම යන සියලු නූතන ආර්ථික නිර්ණායකයන්හි සම්භවය බුදු දහම තුළ ය. බුදු දහමේ ආභාෂයෙන් එදා හෙළයෝ ලෞකික, පාර ලෞකික උභය විමුක්ති සාධනය ඉටු කර ගත්හ.

මෙලොව ආර්ථික සම්පත්තිය උදා කරගත්ත ද, ඉසුරුබර දිවියකට හිමිකම් කීව ද ධනය පරයන මනසකට උරුමකම් කීමට අපේ ඇත්තෝ භාග්‍යවන්ත වූහ. මෙබඳු ජනතාවක් විසූ, ලොවක් මවිත කළ ලක්මව ලොවට ම ආශ්චර්යයකි.

වළවේ දෙනුන් හට කිරි හැම දිනම එරේ
වන්නියෙ බැඳෙන මී වද පැණි බිමට පෙරේ
මුතුපර තිබේ සමුදුර රැළි අතර තුරේ
පොළොවේ මැණික් උපදිනවා රත්නපුරේ

(පී.බී. අල්විස් පෙරේරා සූරීන් )
මගේ රට

සුසිරිත් බෝ වේවා

මැණික් උපදින දේශයක මිනිස්සු කාසිපනම් අගහිඟකමින් මිරිකී කඳුළු සලත් ද? ලොව එතරම් අභාග්‍යයක් තවත් වේ ද? ලොවට ම ඉසුර ගෙනෙන්නට නිසඟ වාසනා ගුණ ලත් මගෙ ලක් මෑණි දරු කැළ නැති බැරි, අගහිඟකමින් පෙළේ නම්, එය මවිතය දනවන්නකි.

විස්මිත රටක මිනිසුන්ගේ ඉරණම විස්මයට කරුණකි. දුසිරිත් බෝ වී සුසිරිත් වියැකීම රටේ පරාභවයට හේතුවයි.

අනලස් වේයා, මීමැස්සා, කුහුඹුවාගේ විපුලදායී ආදර්ශයෙන් මනසින් උසස් මිනිසාගේ සිත සවිමත් නොවන්නේ මන්දැයි ගැටලුවකි.

කඨොර අව්රශ්මි පීඩා ඉවසා, ගතේ මඩ තවරා, හදේ දුක් දරා අපට බත සපයන ගොවියාගේ සේවා ගැන ද සිතා මී මැසි පවුලක් සේ ලක්වැසි ජනතාව තම තම කාර්යභාරයට උර දේ නම්, රටේ සෞභාග්‍යය ඉන් උදා වේ.

බුදු දහමින් ඉගැන්වූ මහරු ඉගැන්වීමි සමුදායෙන් දොරින් දොර රන් උල්පත් පාදා දේශයේ සමෘද්ධිය උදාකර ගනිමු.