Print this Article


ඉවසීම පුරුදු කළා නම් මෙහෙම වෙන්නේ නැහැ

ඉවසීම පුරුදු කළා නම් මෙහෙම වෙන්නේ නැහැ

“ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය - මහමෙර උසුලනා මිහිකතටත් වැඩි ය.” යන්න අප කාටත් හුරු පුරුදු කවි දෙපදයකි.

එදා අපේ පැරැන්නෝ කවියෙන්, ගීතයෙන්, කතාන්දරවලින්, බණදහමින්, පාසලෙන්, දහම් පාසලෙන් මෙන් ම නිවෙසින් ඉවසීම ගැන කියා දුන්හ. ඉවසීම හුරු පුරුදු කළහ.

බුදුරජාණන් වහන්සේ දවස විසූ සුනාපරන්තවාසී පුණ්ණ තෙරුන් වහන්සේගේ කතා පුවත ඔබ අසා ඇති. තමාට බැන්නොත් ගැහුවේ නෑ කියා ඉවසනවා. අතින් පයින් ගැහුවොත් කැට කැබිලිතිවලින් ගැහුවේ නැහැ කියා ඉවසනවා. කැට කැබිලිතිවලින් ගැහුවොත් දඬුමුගුරුවලින් ගැසුවේ නැතැයි කියා ඉවසනවා. දඬුමුගුරුවලින් ගැසුවොත් අවිආයුධවලින් ගැසුවේ නැතැයි ඉවසනවා. අවිආයුධවලින් ගැසුවොත් මැරුවේ නැතැයි කියා ඉවසනවා. මැරීමට සැරසුණොත් බොහෝ අය සියදිවි හානි කරගන්න උත්සාහ කරනවා. මට මරණයට පත්වීමට අවස්ථාවක් ලැබුණේ යැයි කියා ඉවසනවා. යනාදි වශයෙන් ඉවසන්න උත්සාහ කරන ආකාරය මනාව දක්වා ඇත.

ධම්මපදයේ දී බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ යම් කිසිවෙක් තමාගේ වරදක් දැක පෙන්වා දෙන්නේ නම් ඒ තැනැත්තා නිධානයක් පෙන්වා දෙනවා මෙන් සිතන ලෙසයි. නින්දා කොට හෝ වරද පෙන්වා දුන්නත් එවැනි අය ඇසුරු කරන ලෙසත්, එයින් තමාට යහපතක් මිස අයහපතක් නොවන බව පෙන්වා දුන් සේක.

මෙම බණ පදය මෙසේ ලීවීමට සිත් වූයේ පසුගිය දා අපරටේ සිදු වූ ශෝචනීය සිදුවීමක් නිසයි.

පාසල් ගුරුවරයකු පාරේ යන තම සිසුන් තිදෙනකු දැක අවවාදයක් කළේ ය. ඒ හිසේ දමාගෙන යා යුතු හිස්වැසුම් අතේ දමාගෙන යතුරුපැදියකින් ගමන් කරන දැරුවන්ට එසේ නොයන ලෙසයි. එම අවවාදය පිළිගැනීමට තරම් කීකරු නොවූ සිසුන් තිදෙනා ඉන් කිපී ගුරුවරයාට පහර දීමෙන් ගුරුවරයා මිය ගියේ ය. දරුවෝ තිදෙනා වසර 30කට සිර ගතවූහ. ඒ වයස අවුරුදු 15, 16 වසසේ දරුවන් ය.

අපට කීමට ඇත්තේ මව්පියන්, ගුරුවරුන් දරුවන්ට ඉවසීම පුරුදු කළේ නම් මෙසේ නොවන්න තිබුණා යන්නයි.