පාණදුර වලාන ශ්‍රී විජය සෞගත විද්‍යාලය මහ පිරිවෙන
සියවසක අභිමානය සනිටුහන් කළ වගයි
රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති
ප්‍රවීණාචාර්ය
අයගම සුසීල හිමි
පාණදුර වලාන ශ්‍රී විජය සෞගත විද්‍යාලය මහ පිරිවෙන ආරම්භ කර මෙම 08 දිනට වසර සියයක්
සැපිරේ.
පානදුරේ විජිතනන්ද හිමි |
19 වැනි සියවසේ මුල් භාගය වන විට අතිශයින් ම පරිහානිකර තත්ත්වයක පැවති ගිහි බෞද්ධ
අධ්‍යාපනය සහ ආරාමික භික්ෂු අධ්‍යාපනය නඟා සිටුවීමට දරන ලද උත්කෘෂ්ට ප්‍රයත්නයක
ප්‍රතිඵලයක් ලෙස වලාන ශ්‍රී විජය සෞගත විද්‍යාලය හඳුන්වාදිය හැකි ය.
ආදි කාර්තෘ වලානේ ශ්‍රී විජයානන්ද අධිකරණ නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින්
1923 මාර්තු 08 දින වලාන සරණපාලාරාම මහා විහාරය කේන්ද්‍ර කොට ගෙන ශ්‍රී විජය සෞගත
විද්‍යාලය නමින් මෙම ආයතනය ආරම්භ කරන ලදී.
එවකට පාණදුර ප්‍රදේශයේ වැඩ සිටි යතිවරුන් අතර බහුශ්‍රැත පඬිවරයකු වූ උන්වහන්සේ භාෂා
ශාස්ත්‍ර මෙන් ම ත්‍රිපිටක ධර්මය පිළිබඳව ද ප්‍රාමාණික දැනුමකින් හෙබිව විශාල ගිහි
පැවිදි ශිෂ්‍ය පිරිසකට උන්වහන්සේ සතු එම දැනුම් සම්භාරය නිස්සරණාධ්‍යාශයෙන්
ඉගැන්වීම් කළහ.
නව සීමාමාලකය |
සිල් ගුණ සපිරි කරුණා ගුණෝපේත මහ තෙර නමක ලෙස ස්ථිර අධිෂ්ඨානයෙන් ක්‍රියා කළ
විජයනන්ද නා හිමියන්ගේ බුද්ධි ප්‍රභාව පැතිර යාමෙන් ශ්‍රී විජය සෞගත විද්‍යාලය කරා
දිවයිනේ විවිධ පළාත්වලින් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ විශාල පිරිසක් පැමිණෙන්නට වූහ. මේ
හේතුවෙන් ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය පිණිස වෙන් වූ ආයතනයක් ගොඩනැංවීමේ අවශ්‍යතාව පැන
නැඟුණි.
අඩු පහසුකම් හා විවිධ දුෂ්කරතා මධ්‍යයේ ක්‍රියාත්මක වූ ශ්‍රී විජය සෞගත පිරිවෙන
අනාගත ශාසනික මෙහෙවරට තෝතැන්නක් වන බව දුර දක්නා නුවණින් දුටු එවකට වලාන ෆාම්
ග්‍රෝව්හි පදිංචිව සිටි සී.පී. ද ෆොන්සේකා දොස්තර මැතිනිය විසින් වෙනම භූමි භාගයක්
නා හිමියන් වෙත පූජා කරන ලදී. එම භූමි භාගයේ අලංකාර ගොඩනැඟිල්ලක් සාදවා පිරිවෙන්
ආයතනය එහි ස්ථානගත කිරීමට දායකත්වය ලබා දී ඇත්තේ ප්‍රසිද්ධ වෙළඳ ව්‍යාපාරික ඇම්.සී.
ප්‍රනාන්දු මැතිතුමා විසිනි.
1957 වර්ෂයේ දී විජයනන්ද නා හිමියන් අපවත් වීමෙන් අනතුරුව විජය සෞගත විද්‍යාලයේ
ආධිපත්‍යයට පත් වූ මාදුපිටියේ ශ්‍රී මේධානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලක්දිව
ගිහි පැවිදි කා අතරත් ප්‍රකටව වැඩ සිටි චිර ප්‍රසිද්ධ ධර්ම දේශකයාණන් වහන්සේ නමකි.
දුගී පැලේ සිට රජ මැදුර දක්වා බණ කියූ උන්වහන්සේ හැට, හැත්තෑව දසකවල වඩාත්
ප්‍රසිද්ධ ගුවන්විදුලි ධර්ම දේශකයාණන් වහන්සේ වූහ. ව්‍යක්ත, විශාරද හා බහුශ්‍රැත
පඬිවරයකු වූ උන්වහන්සේ සිංහල, පාලි, සංස්කෘත හා ඉංගී‍්‍රසි භාෂාවන් පිළිබඳ මෙන් ම
ත්‍රිපිටක ධර්මය පිළිබඳ ද හසල දැනුමකින් හෙබි යතිවරයකු වූහ. දේශනයෙන් මෙන්ම
ලේඛනයෙන් ද දක්ෂතා දැක්වූ උන්වහන්සේ විවිධ දහම් පොත පත හා ශාස්ත්‍රීය ලිපි ලේඛන
ලියා පළකරමින් පුළුල් ධර්ම ශාස්ත්‍රීය මෙහෙවරක නිරත වූහ.
ශ්‍රී විජය සෞගත විද්‍යාලය රටට හඳුන්වාදුන් යතිවරයාණන් වහන්සේ ලෙස මාදුපිටියේ නා
හිමියන් හැඳින්විය හැකි ය. මේධානන්ද නාහිමියන් වැඩ සිටි යුගයේ උන්වහන්සේගේ
අන්තේවාසික ගිහි පැවිදි විශාල පිරිසක් ලංකාවේ විවිධ පළාත්වල අදට ද සේවයේ යෙදී
සිටිති. ශ්‍රී විජය සෞගත විද්‍යාලයේ ධර්ම ශාස්ත්‍රීය මෙහෙවර වසර 32 පමණ කාලයක්
සජීවිකරණයට ලක් කළ උන්වහන්සේ 1989 දී අපවත් වී වදාළහ.
ඉහළ මහලේ ස්තූපය සහිත නව සිව්මහල් ගොඩනැඟිල්ල |
ශ්‍රී විජය සෞගත විද්‍යාලය මහ පිරිවෙන බස්නාහිර පළාතේ පිරිවෙන් අධ්‍යාපන ආයතන අතර
කීර්තිමත් ආයතනයක් ලෙස විශාල දියුණුවක් කරා මෙහෙයවීමේ ගෞරවයට උරුමකම් කියන වත්මන්
දියුණුවේ නියමුවාණන් පාණදුරේ විජිතනන්ද නාහිමියන් ය. තරුණ අවදියේ දී ම මෙම ආයතනයේ
ආධිපත්‍යයට පත් වූ උන්වහන්සේ සිය ආචාර්ය ප්‍රාචාර්යයන් වහන්සේ විසින් පවත්වා ගෙන එන
ලද ආගමික, සාමාජික හා අධ්‍යාපනික මෙහෙවර සක්‍රියව ඉදිරියට පවත්වා ගෙන යාමට දරනු ලබන
වෙහෙස අනල්ප ය.
සියයකට අධික ශිෂ්‍ය පිරිසක් සහ දොළොස් දෙනකුගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලය අපේක්ෂිත
අරමුණු වෙනුවෙන් මෙහෙයවන උන්වහන්සේ විජය සෞගත විද්‍යාලයේ චිර පැවැත්ම උදෙසා දෙමහල්
නේවාසිකාගාර, පිරිවෙන් ශාලා, පරිගණක ඒකකය, පුස්තකාලය සහ පිරිවෙන් කාර්යාලය මෙන් ම
දාන ශාලාව වැනි භෞතික පහසුකම් රාශියක් මෙන්ම අංග සම්පූර්ණ විහාරස්ථානයකට අවශ්‍ය
චෛත්‍යරාජයාණන් වහන්සේ, අටවිසි බුද්ධ මන්දිර, බෝධි ප්‍රාකාරය, ප්‍රවේශ වාහල්කඩ,
ධාතු මන්දිරය සහ සිවු මහල් පිරිවෙන, දහම් පාසල් ගොඩනැඟිල්ලක් ද ඉදිකොට තිබේ. ශත
සංවත්සරෝත්සවය නිමිත්තෙන් විවෘත කිරීමට අපේක්ෂිත සීමා මාලකය ද තවත් සුවිශේෂී ආරාමික
අවශ්‍යතාවක් ඉටු කිරීමකි.
වාර්ෂිකව සැලකිය යුතු ශිෂ්‍ය පිරිසක් විශ්ව විද්‍යාල උසස් අධ්‍යාපනය සඳහා යොමු
කිරීමට සමත් වන විජය සෞගත විද්‍යාල පිරිවෙන්, ප්‍රාචීන අධ්‍යාපනය සඳහා ද පහසුකම්
සපයයි. වත්මන් පරිවෙණාධිපති ශාස්ත්‍රපති පින්වත්තේ අනුරුද්ධ නායක ස්වාමීන්ද්‍රයන්
වහන්සේ ඇතුළු ආචාර්ය මණ්ඩලය සිදු කරනු ලබන මෙහෙවර ද ප්‍රශංසනීය ය.
සියවස් සමරුව නිමිත්තෙන් විශේෂ පින්කම් මාලාවක් සහ උත්සවයක් පැවැත්වීමට කටයුතු
සූදානම් කර තිබේ. සියවස් සමරු ධර්ම ශාස්ත්‍රීය සංග්‍රහය එළිදැක්වීම, සීමා මන්දිරය
සහ සිවුමහල් පිරිවෙන, දහම් පාසල් ගොඩනැඟිල්ල විවෘත කිරීම, සර්ව රාත්‍රික පිරිත්
දේශනය සහ ශතාධික මහා සංඝරත්නය උදෙසා සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමට ද කටයුතු සම්පාදනය
කර තිබේ.
|