Print this Article


ඉවසන හැටි ඉගෙන ගන්න රාහුල පොඩි හාමුදුරුවන්ගේ චරිතය කියවන්න

ඉවසන හැටි ඉගෙන ගන්න රාහුල පොඩි හාමුදුරුවන්ගේ චරිතය කියවන්න

අරුණලු නැඟෙන්නට පළමුව අවදි වූ රාහුල පොඩි හාමුදුරුවෝ බුදුපියාණන්ට හා සැරියුත් හාමුදුරුවන්ට මුව දෙවීමට පැන් පෙරා තැබූහ. අනතුරුව මළුපෙත්මං ඇමඳ මුසුන් හලේ ඉදල තබා මුව දොවන්නට පොකුණ අසලට ගියහ.

උන්වහන්සේ කෝපයට පත් කරන්නට සිතූ සද්ධිවිහාරික කුඩා සාමණේර හිමිනමක් නැවත ඒ ඉදල රැගෙන මළුව මැද දමා

“මෙන්න, රාහුල මළුව ඇමදලා ඉදල මුසුන්හලේ තියලා නෑ” යි

කියමින් කෑ ගැසුවේ ය. එවිට අවට සිටි අනෙක් සාමණේර හිමිවරුන්ගේ සිනා හඬ පැතිරුණි. රාහුල පොඩි හාමුදුරුවෝ සිනාවක් පා යළිත් ඉදල රැගෙන මුසුන්හල වෙතට ගියහ.

මේ අතර තවත් සාමණේර නමක් මළුවේ තැනින් තැනට කොළරොඩු ගෙනවුත් දමා “රාහුල හරියට මළුව අතුගාලා නෑ” කියා හඬ නැඟුවේ ය. උන්වහන්සේ යළිත් මිදුල ඇමදියහ. සද්ධිවිහාරික සාමණේරවරුන් අමනාපයකට නොව විනෝදයට කරන මෙබඳු විහිලුවලින් පොඩි හාමුදුරුවෝ කිසිදාක කෝප නොවූහ.

සැරියුත් හාමුදුරුවන්ගේ පවුලේ සියල්ලන් ම පැවිදිව රහත් බව ලබා සිටියත්, මෑණියෝ තුණුරුවන් කෙරෙහි සැදැහැ නැති තැනැත්තියකි. අසූ කෝටියක් පමණ වූ පාරම්පරික ධනයක් හිමිව සිටි ඕ, දරුවන් පැවිදි වූ නිසා තමාගෙන් පසු ඒ සියලු ධනය විනාශ වේ යැයි සිතුවා ය. එබැවින් ඇගේ සිතේ භික්ෂූන් කෙරෙහි තදබල අමනාපයක් විය.

මෑණියන් තෙරුවන් කෙරෙහි පහදවා ඇයට නිවන් සුවය ලබා දීමට සැරියුත් හාමුදුරුවන් දැරුවේ බලවත් වෙහෙසකි. සැදැහැ සිතක් නැතත් ඇයගේ නිවෙසට පිඬු පිණිස වඩින්නට උන්වහන්සේ සිතුවේ එබැවිනි. එහි යාමට එන ලෙස උන්වහන්සේ රාහුල පොඩි හාමුදුරුවන්ට කීහ.

සැරියුත් හාමුදුරුවන්ගේ මෑණියන්ගේ සිත තුළ දරු සෙනෙහසේ අඩුවක් නැත. එම නිසා පුතු දුටු කෙණෙහි ම ගෙයින් එළියට ආ ඇය පිණ්ඩපාතය බෙදන්නට වූවා ය. ඇගේ බලවත් අමනාපය පුතා පැවිදිවීම ගැන ය.

“ගෙදර මෙච්චර කන්නට බොන්නට දේවල් තියෙද්දී ඒ ඔක්කොම දමලා ගිහින් මටත් නින්දා කර කර ඉඳුල් කකා ඇවිදිනවා. අදවත් ඉතින් බඩ පිරෙන්න කන එකයි ඇත්තේ. මේ මගේ අතින් ම හැදූ කෑම. බොහොම රසයි.”

කියමින් ඕ තම පුතුගේ පාත්තරය පිරෙන්නට දානය බෙදුවා ය. සෙසු පැවිද්දන්ට දානය පිළිගන්වන විට ඇයගේ සිතේ තිබූ අමනාපය වැඩි විය.

“නුඹලා තමයි මගේ දරුවන්ටත් සිඟා කන්න පුරුදු කළේ. මගේ දරුවන් මහණ කරලා මගේ මුළු වස්තුව ම විනාශ වෙන්න කටයුතු යෙදුවා,” යැයි ඇය බැන්නා ය.

වැඩිහිටි පිළිවෙළින් වඩින සඟ පිරිස අතර ඊළඟට හිටියේ රාහුල පොඩි හාමුදුරුවන් ය. ඇය උන්වහන්සේ දුටු කෙණෙහි ම හඳුනා ගති.

“රජ මාළිගාවේ අර තරම් කෑම බීම තියෙද්දී ඒවා ඔක්කොම දමලා ඇවිත් දැන් ඉතින් අගුපිල්වලට ගිහින් කන්න හොයනවා. මේ පූරුවේ කරපු පව් තමා. පේනව ද හිඟා කන වළං කබළේ ලස්සන? මං දන්නවා පුංචිවට හිටියට නුඹ තමයි මගේ පුතා රවට්ටලා වැඩ ගන්නේ. මේ කෑමත් රජ මාළිගාවේ කෑමට දෙවෙනි නෑ. කාලා බඩ පුරවා ගන්නවා.”

රාහුල පොඩි හාමුදුරුවෝ ඇයගේ වදන් නෑසුනා සේ නිහඬව සිට දානය පාත්තරයත් රැගෙන ආරාමය වෙත පැමිණියහ. උන්වහන්සේ දානය වැළඳීමට පෙර සුපුරුදු පරිදි පිණ්ඩපාතයෙන් කොටසක් ගෙන ගොස් බුදුපියාණන්ට පිළිගැන්වූහ.

“රාහුල, අද කොහාට ද පිණ්ඩපාතේ ගියේ?”

“පියාණනි, මගේ මිත්තනිය දිහාවට යි ගියේ. මගේ ගුරු පියාණන්ගේ අම්මගේ ගෙදරට.”

“ඇය භික්ෂූන්ට බොහොම අකැමැති යි නේ. මහා බ්‍රහ්මයාට නේ වැඳුම් පිදුම් කරන්නේ. ඉතින් ඇය දානය කැමැත්තෙන් පිළිගැන්නුව ද?”

“නෑ, පිණ්ඩපාතේ වැඩිය හාමුදුරුවරුන්ට බැණ බැණ තමයි උන්දැ දානේ බෙදුවේ.”

“රාහුලටත් බැන්න ද?”

“එහෙමයි. මටත් උන්දෑ නොයෙක් ඇනුම් පද කීවා.”

“ඉතින් රාහුලගේ සිතේ ඒ වෙලාවේ තරහක් ඇති වුණා ද? බැණ බැණ දෙන කෑම මට මොකට ද කියලා දානේ විසි කරලා එන්න හිතුනේ නැද්ද?”

“නෑ. පියාණෙනි, මම එහෙම හිතුවේ නෑ. මට උන්දැ ගැන තරහක් ඇතිවුණෙත් නෑ. මගේ ඇඟේ වදිනවා යැ. උන්දැට ඕනෑ දෙයක් කියාපුවාවේ කියලා කරබාගෙන හිටියා. මට පිණ්ඩපාතේ බෙදුවට පස්සේ පාත්තරෙත් අරගෙන මම ආපහු ආවා.”

“ඔබේ ඉවසීම ඉතා හොඳයි. රාහුල, කිසිම දෙයකින් කෝපයට පත් නොවන, ඉවසීම හුරු කළ තැනැත්තා බොහොම උසස් කෙනෙක්.”

අරුණ නැඟෙන්නට පළමුව වතාවත් නිම වූ රාහුල පොඩි හාමුදුරුවෝ මළුවේ සේපාලිකා මල් ගස යටට ගොස් සුදුවැලි දෝතක් රැගෙන උඩ විසි කරන්නට වූහ. ගන්ධකුටියේ කවුළුව විවර කර මළුව දෙස බැලූ බුදුපියාණන්ට දෝතෙන් වැලි උඩ දමමින් සෙල්ලම් කරන පුතු දක්නට ලැබුණි.

පුතා බොහොම ලස්සන යි. රාජ සුකුමාල යි. ඔහුට තිබෙන්නේ රජකුට ගැළපෙන තේජවන්ත පෙනුමක්. තමන් ශාක්‍ය රජ පවුලේ කෙනකු නිසා ඇතැම්විට ඔහු රූපය, ජාතිය හා කුලය ගැන සිතා අහංකාරකමක්, මාන්නයක් හිතේ ඇතිකර ගන්නට පුළුවනි. එහෙම වුවොත්, ඔහුගේ ජීවිතයට එය ඉතා නරකයි. ජීවිතයේ දියුණුවට බාධාවක්. පුතු දෙස බලමින් මෙසේ සිතූ බුදු හාමුදුරුවෝ “රාහුල, මෙහෙ එන්නැ”යි පොඩි හාමුදුරුවන්ට කතා කළහ.

“එනවා. පියාණනි.” කියමින් උන්වහන්සේ වහා බුදුකුටියට පැමිණියහ.

“රාහුල වැලි උඩ දමමින් මළුවේ සෙල්ලම් කරනවා වගේ මම දුටුවා.”

“එහෙමයි. ඒ උඩ දැමුව වැලි කැට ගණනට මට මගේ පියාණන්ගෙනු යි, ගුරු පියාණන්ගෙනු යි අද අවවාද ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කළා.”

දෙමවුපියන් හා ගුරුවරුන් සමඟ එකට ජීවත්වීම, ඔවුන්ගෙන් නිතර ම අවවාද හා දඬුවම් ලැබීම, නිතර දෙවේලේ ඔවුන් දකින්නට ලැබීම වැනි හේතු නිසා තම ගුරුවරුන්ගේ හා මවුපියන්ගේ අගය කුඩා දරුවන්ට නොදැනෙන්නට පුළුවන්. ඔවුන් කෙරෙහි දැක්විය යුතු ආදරය හා ගෞරවය දරුවන් කෙරෙන් ඈත්වන්නට පුළුවන්. නිවෙසක හිටියත්, අරමක හිටියත් කුඩා දරුවන් තුළ මේ තත්ත්වය ඇති වෙනවා. මගේ පුතාට වුවත් සමහරවිට මෙය බලපෑ හැකි යි. ඒ නිසා ඔහුගේ ගුරු ගෞරවය පිළිබඳ විමසිය යුතු යැයි බුදුහාමුදුරුවෝ සිතූහ.

“රාහුල, ඔබේ ගුරුවර සැරියුත් නුවණින් අගතැන්පත් වූ කෙනෙක්. මෝහය නමැති අඳුරේ ගිලී ඉන්න මිනිසුන්ට එයින් එළියට එන්නට නුවණ නමැති එළිය දෙන පහන දරා සිටින උතුමෙක්. ඔබ නිතර දෙවේලේ එතුමා දකිනවා. අවවාද උපදෙස් ලබනවා. ඔබ ඔබේ ගුරුතුමාට අගෞරවයක් වන විදියට හැසිරෙනව ද? නැතිනම් කිසිම අඩුපාඩුවක් සිදුනොවන ආකාරයට එතුමාට ගරු බුහුමන්, ඇප උපස්ථාන කරනව ද?”

“පියාණනි, ලෝකේ මිනිසුන්ට අඳුරෙන් මිඳී එළියට එන්නට නුවණ නමැති එළිය දෙන පහන අල්ලා සිටින මගේ ගුරු පියාණන් කෙරෙහි මා දක්වන ගෞරවයේ කිසිම අඩුවක් නෑ. නිතරම මම උන්වහන්සේට උපස්ථාන කරනවා. ගරුබුහුමන් දක්වනවා” යැයි රාහුල පොඩි හාමුදුරුවන්ගෙන් පිළිතුරු ලැබුණි. තමන් වහන්සේ කෙරෙහි පුතු තුළ පවතින පීතෘ ස්නේහය හා ගෞරවය පිළිබඳ දන්නා බැවින් බුදුහාමුදුරුවන් ඒ ගැන කිසිවක් ඇසුවේ නැත.

“පුතා රාහුල, ඔබ සියලු රජ සැප අත්හැර දමා මා පසුපස ඇවිදින් පැවිදි වුණේ ශ්‍රද්ධාවෙනු යි. ඒ නිසා ඔබ සසර දුක් කෙළවර කර ගන්නට උත්සාහ කරන්න ඕනෑ. ඔබේ දියුණුව සැලසෙන්නට නම්, කල්‍යාණ මිත්‍රයන් ම ආශ්‍රයට තෝරාගත යුතු යි.

“සෙනසුන්වල, මඟ තොටේ කණ්ඩායම් වශයෙන් රැස් වෙලා වැඩකට නැති හිස් බස් දොඩවමින් නිකරුණේ කාලය ගත කරන අයගේ ඇසුරට ඔබ යන්න එපා.”

“රාහුල, සිව්පසය කෙරෙහි ගිජුවීම හොඳ නෑ. ආහාරපාන වළඳන කොට ප්‍රමාණයකට වළඳන්න. ඔබ පුංචි දරුවකු නිසා දායකයන් ඔබට ආදරේට වැඩිපුර ආහාර පිළිගන්නාවි. නමුත් ඔබට සෑහෙන තරම විතරක් පිළිගන්න. ආහාර ටිකක් ලැබුණ විට ඒවා මදියි කියා හිතලා දුක් වෙන්නත් එපා. ලද පමණින් සැනසෙන්න.”

මේ උපදෙස් ලැබුණ කෙණෙහි ම “පියාණනි, සිව්පසය පිළිබඳ සංවරය ඇතිකර ගන්නට මම අද සිට උත්සාහ කරනවා.”යැයි රාහුල පොඩි හාමුදුරුවන් පැවසුවේ දැඩි අධිෂ්ඨානයකිනි.

“ඔබට අවශ්‍ය ප්‍රමාණයට වඩා සිවුරු ගොඩ ගසා ගන්නට හොඳ නෑ. රාහුල, සරල, සැහැල්ලු ජීවිතය තමයි ඉතා උතුම්. ඔබ හුරුවන්න ඕනෑ එවැනි ජීවිතයකට යි.”

“ඔබේ ඔය ලස්සන මුදු මොළොක් වූ රූපය ලෙඩදුක් පීඩාවලට ගොදුරු වෙනවා. වයස්ගත වන විට හම රැලි වැටී රූපය ජරාවට පත්වෙනවා. එය වෙනස් වෙනවා. ඒ නිසා ඒ ගැන ආශාවක් හිතේ ඇතිකර ගත්තොත් සිදුවෙන්නේ ලෙඩදුක් හැදෙන විට, රූපයේ ලස්සන නැතිවෙලා ජරාව ඉස්මතු වන විට, හිතේ බලවත් දුක් වේදනාවක් හටගැනීම යි. ඒ නිසා ඔබේ රූපය පිළිබඳ ආශාවක් හිතන්න එපා. රාහුල,” යනුවෙන් බුදුපියාණෝ තවදුරටත් පුතුට උපදෙස් දුන්හ.

මගේ පුතා දැන් තුදුස්වියට එළඹිලා ඉන්නේ. නෙත් පිනවන මනහර රූප, කන් පිනවන මිහිරි නාද කෙරේ සිත ඇලෙන, බැඳෙන වයසේ දැන් ඔහු පසුවන්නේ. තම හැඟීම් පාලනය කර නොගෙන පසිඳුරන් හා ගැටෙන අරමුණු පසුපස්සේ ලුහුබැඳ යන්නට ඔහු හුරුපුරුදු වූවොත්, පහන් සිළුවට ආශාවේ ඒ වෙතට ඇදී ගොස් වැනසෙන පළඟැටියකු වාගේ ඔහුත් වැනසෙන්නට පුළුවන්. ඒ නිසා ඉන්ද්‍රිය සංවර කර ගන්නා හැටි පුතාට කියා දිය යුතු යි. තරමක් ගැඹුරු ධර්මය තේරුම් ගන්නට ඔහු දැන් සමර්ථ යැයි බුදුහාමුදුරුවෝ සිතූහ.

“ රාහුල, ඔබේ රූපය ගැන පමණක් නොවෙයි ඇස්, කන්, නාසය ආදී පසිඳුරන්ට අරමුණු වන හැම දෙයක් ගැනම ආශාව නැති කර ගන්න. ඒ හැම දෙයක් ම වෙනස් වෙනවා. විනාශ වෙනවා. ආශා කරන දේවල් වෙනස් වීම හිතට දුකක්.”

“රාහුල, ඔබේ සිතට අරමුණු පසුපස යන්නට ඉඩ නොදී එක්තැන් කර ගන්න. සිත එකඟ කර ගත් විට අනිමිත්ත භාවනාව වඩන්නට පුළුවන්. විදර්ශනා භාවනාව කියන්නේත් අනිමිත්ත භාවනාවට ම යි. සිතේ තිබෙන මාන්නය දුරුකර ගන්නට එය උදව් වෙනවා. මේ ලෝකයේ හැම දෙයක් ම අනිත්‍ය යි. දුක් සහිතයි. මම ය, මගේ ය, මගේ ආත්මය කියලා සැලකිය හැකි කිසිම දෙයක් ඒවා තුළ නෑ. හැම දෙයක් ම ඉඳුරන් රවටන මායාවන් පමණ යි. ඒ පිළිබඳ නොදන්නාකම හෙවත් අවිද්‍යාවත්, අරමුණු කෙරෙහි ආශාවෙන් ඒවා සමඟ බැඳීම හෙවත් තණ්හාවත් නිසා මිනිස්සු සංසාරයේ යළි යළිත් ඉපදෙමින් මැරෙමින් අපමණ දුක් විඳිනවා. ඔබට වුවත් එයට මුහුණ දෙන්නට සිදුවෙනවා. ඒ නිසා රාහුල, ඔබේ හිතේ තිබෙන අවිද්‍යාවත්, තණ්හාවත් නැති කර ගෙන මේ බවයේ දී ම සියලු දුක්වලින් නිදහස් ව රහත් බව ලබා ගන්නට වෑයම් කරන්න.”

බුදුපියාණන් වැදගත් කරුණු රැසක් කියාදීම ගැන රාහුල පොඩි හාමුදුරුවන්ට ඇති වූයේ ලොකු සතුටකි.

“පියාණනි, ඔබ දුන් උපදෙස් සියල්ල ම මම ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. මට හැකි විදියට ඒ සියල්ල ම පිළිපදිනවා” යැයි කියමින් රාහුල පොඩි හාමුදුරුවෝ බුදුපියාණන්ට නමස්කාර කළහ.

“රාහුල, ඔබ අවවාද ගරුක කීකරු කෙනෙක්. ඔබ පැවිදි වූ දවසේ සිට ම වැඩිහිටියන්ගේ අවවාද, අනුශාසනා ඉතා ගෞරවයෙන් පිළිගෙන ඒ අනුව හැසිරෙනවා. ඒ නිසා මේ සසුනේ සියලු භික්ෂූන් අතරින් කීකරුබවින් අග තැන්පත් කෙනා හැටියට ඔබ පත් කිරීමට මම තීරණය කළා.”

“පියාණනි, මට කිසිම තනතුරක් වුවමනා නෑ.” යනුවෙන් එකෙණෙහි ම රාහුල පොඩි හාමුදුරුවන් පැවසුවේ ඉතා නිහතමානි ලෙස ය.