ජීවිතය පුරා ගලන පුණ්‍ය ගංගාව
බුදුරජාණන් වහන්සේ පහළවීමට පෙරත් පින් කිරීම පිළිබඳ යම් යම් කතාබහ ලෝකයේ පැවතුණා.
බුද්ධ ශාසනයෙන් බැහැරව අන්‍ය ආගම් තුළත් පින කියන වචනයට සමාන වචන භාවිත කරමින්
යහපත් දේ ගැන කතා කරනවා. නමුත් බුද්ධ ශාසනයේ පමණයි පරිපූර්ණව පින ගැන කතා කරන්නේ.
එනිසා පින කියන්නේ මොකක් ද? පිනෙන් වෙන යහපත මොකක් ද? පින් කර ගන්නා ආකාර මොනවා ද?
කියා අපි හොඳීන් දැන අවබෝධයෙන් සිටින්නට ඕනෑ.
පින් කරන්න දුප්පත්කම බාධාවක් නොවෙයි
වර්තමානයේ මිනිසුන් තුළ තිබෙන මිථ්‍යා මතයක් තමා මුදල් තියෙන්නම ඕනේ පින් කරන්න
කියලා. එය වැරැදි මතයක්. එවිට කෙනකුට හිතෙන්න පුළුවන් මුදල් නැතිව පින් කරන්න බැරිද
කියා.
බුද්ධ ශාසනය තුළ පින් කරන්න මුදල් තිබෙන කෙනාටත් මුදල් නැති කෙනාටත්, පුළුවන්.
මුදල් තිබෙන පුද්ගලයාත් මුදල් නැති පුද්ගලයාත් නුවණ පාවිච්චි කළොත් ඉතා උසස්
ආකාරයෙන් පින් රැස්කර ගැනීමට අවස්ථාව තිබෙනවා.
යහපත කරන්න, පින් දහම් කරන්න මැලිකමක් දක්වන පිරිස කියන වචනයක් තමා අපට මුදල්
තිබුණා නම් අපි පින් කරනවා. නමුත් අපට එසේ වියදම් කරන්න මුදල් නැහැනේ කියා. කෙතරම්
මුදල් ලැබුණත් දන්දීමට කැමැත්ත ඇතැම් දෙනා තුළ නැහැ. පුංචි කාලයේ සිට පුරුද්දක්
තිබෙන අය හෝ, ධර්මය අසා තිබෙන අය හැරෙන්නට අනෙක් අය පින් රැස්කර ගැනීම ගැන කතාබහ
කරන්නේ හෝ ඒ පිළිබඳ කි‍්‍රයා කරන්නේ අඩුවෙන්.
පින් රැස්කරන හැටි
පින කියා කියු ගමන් බොහෝ අයට සිහිපත් වන්නේ දානය යි. එහෙත් පින කියන්නේ දානය පමණක්
නොවේ. දස පුණ්‍ය කි‍්‍රයා යනුවෙන් පින් රැස් කර ගන්නා ක්‍රම දහයක් දේශනාවේ
හමුවෙනවා. දන්දීම, සිල් රැකීම, භාවනාව, පින්දීම, පින් අනුමෝදන්වීම, අන්අයට උපස්ථාන
කිරීම, අන් අයට ගෞරව කිරීම, සම්මා දිට්ඨිය පිරිසුදු කර ගැනීම ආදී පින් රැස්කර ගන්නා
ක්‍රම යි.
එසේ ක්‍රම තිබෙද්දී අපි දානය පමණක් ඉස්මතු කර ගත යුතු නැහැ. දානය මෙන්ම තවත් පින්
රැස් කර ගත හැකි ක්‍රම තිබෙනවා කියන දැනුම අප තුළ තිබෙන්න ඕනේ.
ඒ වගේම පින් කරන්න මුල්වන කරුණු තුනක් තිබෙනවා. ඒ දන් දීම, සිල් රැකීම, භාවනාව යි.
දානයක් දෙනවිට ඇතැම් කෙනකුට හිතෙන්න පුළුවන් දානයට මුදල් වියදම් වෙනවානේ කියලා.
එහෙත් සිල් රැකීම, භාවනා කිරීම, පින් දීම, පින් අනුමෝදන් වීම, අන්අයට උපස්ථාන කිරීම
ආදියට මුදල් වියදම් වන්නේ නැහැ.
කි‍්‍රයාවකින් තොරව රැස්වෙන පින්
යම් කි‍්‍රයාවක් නො කර පින් කරගත හැකි ක්‍රමයකුත් බුදු සසුනේ තිබෙනවා. ඒ සතුන් නො
මරා සිටීම. එතැන දානයකුත් දෙනවා. මොකක්ද දෙන දානය. සතුනට අභය දානය දීමයි. ලෝකයට භය
නැතිබව දන් දෙනවා.
අපට අභය දානය කිව්වාම මතක් වෙන්නේ මරන්න ඉන්න සතෙක් නිදහස් කිරීම පමණ යි. එයත් අභය
දානයක් තමයි. එහෙත් ඒක විතරක් නොවේ අභය දානය. සතුන් නො මරා සිටීමත් දානයක්. එයට
කිසිම මුදලක්, කිසිම මහන්සියක් නැහැ. එයට අවශ්‍ය සිහිය, නුවණ, වීර්ය යි.
සතුන් මැරීමෙන් වැළකී සිටින පුද්ගලයාට පුණ්‍ය ගංගාවක් ජීවිතයට ගලාගෙන එනවා. ඒ වගේම
පන්සිල් ආරක්ෂා කරන පුද්ගලයාගේ ජීවිතයට පුණ්‍ය ගංගාවල් පහක් ගලනවා. පින කියන්නේ
සැපයට කියන නමක්. ඒ නිසාම භාග්‍යවතුන් වහන්සේ වදාළා මහණෙනි, පිනට බය වෙන්න එපා. පින
කියන්නේ සැපයට කියන වචනයක් කියලා.
බුද්ධ කාලයේ වගේම අදත් තිබෙන මතයක් තමා පින් කළවිට සසර දිගු වෙනවා කියා.
එහෙත් බුදුරජාණන් වහන්සේ වදාළේ සසර දිගු වන්නේ පින් කිරීමෙන් ම නොවේ. අවිද්‍යාව හා
තණ්හාව තුළින් කියා. පින් කිරීමේ දී දානයක් දෙනවා නම් එහිදී අත්හැරීම නමැති ගුණය
පුරුදු වෙනවා. එය සසර දුකෙන් මිදෙන්න උපකාරි වෙනවා.
දන් දුන්නත්, නො දුන්නත් අවිද්‍යාව දුරු නො කරන තාක් සසරේ සැරි සරනවා.
නරක අත්හරින්න හෙඳ අල්ලාගන්න
දානය කියන්නේ හොඳ දෙයක්. දන් නො දීම කියන්නේ නරක දෙයක්. සිල්වත් බව කියන්නේ හොඳ
දෙයක්. දුස්සීල කියන්නේ නරක දෙයක්. එනිසා නරක දේ අතහැරලා හොඳ කිරීම බුදුරජාණන්
වහන්සේ වර්ණනා කළ දෙයක්. අපිට කෙලෙස් දුරු කරනතුරු සසරේ යන්න වෙනවා. ඒ ජීවිතය තුළ
සැපවත්ව ඉන්න පුළුවන් පින තුළින්. එනිසා අපි බුද්ධ දේශනා තුළින් හොඳීන් තේරුම් ගන්න
ඕනෑ පින කියන්නේ සැපයට කියන නමක් කියලා. පින කියන්නේ සැප වඩන දෙයක්. ඒ වගේම පින
දානමය වශයෙන් පමණක් නොවේ. තවත් බොහෝ ක්‍රම තුළින් රැස්කර ගන්නට පුළුවන්.
පින් ගංගාවක්
බුදුරජාණන් වහන්සේ වදාළා උන්වහන්සේගේ ගුණ දැනගෙන සරණ යෑමෙනුත්, ධර්මය සඟ ගුණ දැනගෙන
සරණ යෑමෙනුත් ජීවිතයට පින් ගංගාවක් ගලනවා කියා.
කෙනක් තුනුරුවන් ගැන මුලින් වැඩි පැහැදීමක් නො තිබී පසු කාලයේ කල්‍යාණ මිත්‍ර
ඇසුරෙන් තිසරණය ගැන පැහැදීමක් උපදවා ගත් අය ඒ තිසරණය ගැන පැහැදීම ඇති වූ දවසේ සිට
මොනතරම් පින් රැස්කර ගන්නව ද?
අප හිතන රටාව, කතා කරන වචනය, කි‍්‍රයා කරන ආකාරය පින් වැඩෙන ආකාරයට අපට කරන්න
පුළුවන්. බුදුරජාණන් වහන්සේ සරණ ගිය පුද්ගලයාගේ සිත රාගයෙන් ද්වේෂයෙන්, මෝහයෙන් යට
වෙන්නේ නැහැ. ඒ වෙලාවට බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති ආදි භාවනා තුළ සිත
සෘජු වෙනවා. අකුසල් පැත්තට යන්නේ නැහැ. එහෙම නම් සිත තුළ රාග, ද්වේශ, මෝහය ආදි
අකුසල් නොමැති අවස්ථාවක යහපත් සිතිවිලි තුනුරුවන් ගැන කි‍්‍රයාත්මක වෙනවා. එවිට
නිරාමිස පී‍්‍රතිය තුළින් ඒකාන්ත පිනක් රැස් වෙනවා.
එනිසා පින් රැස්කර ගන්න නම් මුදල් ඕනේ කියන මිථ්‍යා මතය අප බැහැර කළ යුතුයි. කෙනෙක්
කලින් පොහොසත් වෙන්න පුළුවන්. විවිධ හේතු නිසා පසුව දුගී වෙන්නත් පුළුවන්. තිබෙන
කාලයේ දන් දී පසුව ඒ දානය නො දී සිටියොත් එය ඔහුගේ ජීවිතයට පාඩුවක්.
අනේපිඬු සිටුතුමා බුදුරජාණන් වහන්සේගේ අග්‍රදායකයා. ඔහු බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ
මහා සංඝ රත්නයට දිනපතා දන් දුන් කෙනෙක්. එහෙත් ඔහු ණයට දුන් මුදල් නොදී සිටීමෙන් සහ
සඟවා තිබු ධනය ස්වභාවික විපතින් විනාශ වී යාම නිසා දුප්පත් වුණා. එහෙත් ඔහු දන් වැට
නතර කළේ නැහැ. එයට හේතුව බුදුරජාණන් වහන්සේ දානය ගැන වදාළ විස්තරය අනේපිඬු සිටුතුමා
දැනගෙන සිටියා. දානයේ පින රැස්වෙන්නේ එහි දීම තුළින් ම නොවේ. පින රැස්වෙන්නේ සකසා
දුන්නොත්, ගෞරවයෙන් දුන්නොත්, ඉවත නො දමන දෙයක් දුන්නොත් සහ සිත පහදවාගෙන දුන්නොත්
පමණ යි.
එනිසා දන් දෙන්නට කලින් හා දීමට පසු සිත පහදවා ගැනීම තුළින් අග්‍ර පින් රැස්වෙනවා.
ටිකක් ඇති කාලයේත්
දන් දෙන්න
බුදුරජාණන් වහන්සේ වදාළේ ගොඩක් තිබෙන විටත්, ටිකක් තිබෙන විටත් දන් දෙන්න කියා.
දිනක් එක් දෙවියෙක් කියනවා දුප්පත් කෙනෙක් දුප්පත්ව දෙන දානය පොහොසත් කෙනෙක් දෙන
දානයට වඩා දහස් ගුණයකින් වටින බව. එය බුදුරජාණන් වහන්සේ අනුමත කළා. එයට හේතුව
කෝටිපතියකුට ලක්ෂයක් දෙනවා කියන එක සුළු කරුණක්. නමුත් කුලියක් කර සුළු මුදලක් උපයන
මනුස්සයෙක් තමන් උපයන ඒ මුදලින් කොටසක් දානයට දුන්නොත් ඔහු අර කෝටිපතියාට දෙන දානයට
වඩා මහා දානයක් දුන් කෙනෙක් වෙනවා.
ඒ නිසා සිල් රැකීමෙන් පුණ්‍ය ගංගාවක් ගලනවා. තෙරුවන් සරණ යාමෙන්, ධර්මය ශ්‍රවණය
කිරීමෙන්, සෑයට, බෝධියකට වන්දනා කිරීමෙන් ජීවිතයකට පිනක් රැස් වෙනවා.
එනිසා පින් කරන්න සල්ලි ඕනේ කියන මිථ්‍යා කතාව අපි දුරින්ම දුරු කර නුවණ මෙහෙයවා
කටයුතු කළොත් ඕනෑම අවස්ථාවක පින් රැස්කර ගන්නට පුළුවන්.
- නයනා නිල්මිණී |