Print this Article


මිතුරු වෙසින් සිටින සතුරන් හඳුනාගන්න

මිතුරු වෙසින් සිටින සතුරන් හඳුනාගන්න

බෞද්ධයාගේ ඒකායන අරමුණ නිවනයි. එය සීලයත්, කුසලයත් වැඩි දියුණු කිරීමක් මත යා යුතු ගමනක් වන හෙයින් යහපත් දිවි පැවැත්ම වඩා අත්‍යවශ්‍ය වේ.

ඛුද්දක නිකායේ ධම්මපදය තුළ ඇතුළත් 78 වැනි ගාථාවෙන් පොදු ජනයාට දෙන යහපත් සිතිවිලි සමුදායකි. එනම්, පාප මිත්‍රයන් ඇසුරු නොකරන්න. අධම මිතුරන් ඇසුරු නොකරන්න. කලණ මිතුරන්, උතුම් මිනිසුන් ආශ්‍රය කරන්න. යනුවෙන් එම ධම්මපද ගාථාව තුළින් පණිවිඩයක් දෙනු ලබයි.

“නභජේ පාපකේ මිත්තේ
න භජේ පුරිසාධමේ
භජේථ මිත්තේ කල්‍යාණේ
භජේථ පුරිසුත්තමේ..“

යහපත් සාරධර්ම ඇති පරිපූර්ණ පුද්ගලයකු බවට පත් වීමට නම් ජීවිත පැවැත්මේ සිට සෑම ක්‍රියාවලියක් ම යහපත් විය යුතු ය. එහිදී අප ආශ්‍රය කරන පුද්ගලයන්ගේ බලපෑම අපගේ චර්යා රටාවට බෙහෙවින් බලපායි.

වර්තමාන සමාජයේ බොහෝ පුද්ගලයින් නිවැරැදි මිත්‍රයන් ලෙස ගත නො නොහැකි වූව ද සමාජයේ කොන්වීමට භාජනය නොවන ලෙස ඔවුන් අතේ දුරින් තබා ගනිමින් කටයුතු කළ යුතු වේ. තමාගේ වචනය ඔවුන් පිළිගනු ලබන්නේ නම්, ඔවුන් සුමගට ගැනීමට ධර්මාවවාදයක් දීම වැදගත් කරුණක් ලෙස බුදුදහම තුළ පෙන්වා දී ඇත.

ලොව්තුරු බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍ර දේශනාවේ දී

“ අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා...............“

පාපකාරී, බාල පුද්ගලයන් ඇසුරු නො කිරීමටත්, පණ්ඩිතයන් නැතහොත් නුවණැති පුද්ගලයන් ඇසුරු කිරීමටත් දේශනා කරන අතර, එය මංගල කාරණාවක් බවට එම සූත්‍ර දේශනාව තුළ පෙන්වා දී ඇත.

බුදුරජාණන් වහන්සේ තවදුරටත් දේශනා කරනු ලබන්නේ තමාට සමාන නැත්නම් පාප මිත්‍රයන් හා ආශ්‍රය කරනවාට වඩා තනිව හැසිරීම උතුම් බවයි.

කුක්කුට ජාතකය තුළ දී පෙන්වා දෙනු ලබන්නේ මිත්‍ර ස්වභාවයෙන් සතුරන් ද අප ඇසුරෙහි සිටින බවයි. අප මහා බෝධිසත්වයන් වහන්සේ කුකුළු යෝනියේ ඉපදුණු සමයක උකුස්සකු කුකුල් රැලේ කුකුළන් පැහැරගෙන ගොස් කෑවේ ය.එම පුවතින් ද ඒ බව පැහැදිලි කරවයි.

මෙලොව පරලොව දෙලොව දිවිමඟේ යහපැවැත්ම සඳහා කලණ මිතුරු ඇසුර මහෝපකාරී වන අතර පවිටු මිතුරු ඇසුර දෙලොව ජීවිතයට ම වින කරන කටයුත්තක් වෙයි. එහෙයින් යහපත් මිතුරු ආශ්‍රය තුළින් තමන්ගේ දිවිය යහපත්ව සුපෝෂණය කර ගත යුතු ය. අප නිරතුරු ඕනෑම පින්කමක් සිදුකළ පසුව ප්‍රාර්ථනා ගාථාව හරහා පතනු ලබන්නේ ද එයම වන අතර ඒ තුළින් අපට පැහැදිලි වන්නේ යහපත් දිවියක පදනම වශයෙන් යහපත් මිතුරු ඇසුර මහෝපකාරී වන බවයි.

“ ඉමිනා පුඤ්ඤ කම්මේන
මාමේ බාල සමාගමෝ
සතං සමාගමෝ හෝතු
යාව නිබ්බාන පත්තියා.“

යනුවෙන් සෑම පින්කමක් අවසානයේ ප්‍රාර්ථනා කිරීමට හුරු පුරුදු වී සිටින්නේ මිත්‍ර සම්පත්තිය මිනිස් ජීවිත යහමගට බෙහෙවින්ම උපකාරී වන හෙයින් බව බෞද්ධ මූලාශ්‍ර ගත කරුණුවලින් මනාව පිළිඹිබු වේ.

ව්‍යග්ඝපජ්ජ සූත්‍ර දේශනාව තුළ පෙන්වා දෙන ආකාරයට “දහරෝවා වුද්දසීලි වුද්දෝවා වුද්ද්සීලී..“ යන ගාථා පාඨය තුළින් පැහැදිලි කරන්නේ තරුණ වුව ද ශික්ෂණයකින් හා දැහැමි ගති ගුණවලින් යුතු ආශ්‍රය වැදගත් වන බවත් වයස නොව දැනුම හැදියාව ලක්ෂණ සහිත මිතුරු ආශ්‍රය සමවයසේ හෝ වැඩිහිටියකු හෝ තමන්ට වඩා වයසින් බාල කෙනෙක් ද හෝ විය හැකි ය.

එහෙයින් යහපත් චර්යාවන් හා දැහැමි ස්වභාවයන්වලින් යුතු පුද්ගල ඇසුර ඔබිනා බව පෙන්වාදී ඇත.

මීට අමතරව පන්සිය පනස් ජාතක පොතෙහි එන මනෝජ ජාතකය නරක ඇසුර නිසා එක්තරා සිංහ පෝතකයකුට අත්වන ඉරණම පිළිබඳ මැනවින් පැහැදිලි කර ඇත.

ඒ අනුව බෞද්ධ මූලාශ්‍රගත කරුණුවලට අනුව සතුරු උවදුරුවලින් තොර දැහැමි දිවියකට මග පාදා ගැනීමට සෑම විටම අප ක්‍රියා කළ යුතු අතර, බුදු දහම පෙන්වා දෙන කරුණුවලට අනුකූලව අදැහැමි පවිටු මිතුරන් හඳුනාගෙන, යහපත් දැහැමි මිතුරු ඇසුර තුළින් අප දිවි පැවැත්ම සකස් කර ගත යුතු බව මනාව අවබෝධ කරගත යුතු වේ.