Print this Article


ත්‍රිපිටකය ඉගෙනගත් පමණින් මහණකම සම්පූර්ණ වෙන්නේ නෑ

ත්‍රිපිටකය ඉගෙනගත් පමණින් මහණකම සම්පූර්ණ වෙන්නේ නෑ

මේ කතා පුවත සිදු වෙලා තියෙන්නේ සද්ධාතිස්ස මහරජතුමාගේ රාජ්‍ය සමයේ. මේ කාලයේ අනුරාධපුරයේ ජීවත් වෙලා තියනවා අමාත්‍ය කුලවලට අයත් බොහෝ පිරිසක්.

එක් අමාත්‍ය පවුලකට උපදිනවා රූපයෙන්, නුවණින් පොහොසත් පුතෙක්. ඔවුන් ජීවත් වුණු ගම අයත් වෙලා තියෙන්නේ දක්ඛිණගිරි විහාරය පිහිටි ප්‍රදේශයට යි.

පුතාගේ මවත්, පියාත් බුදුන් වහන්සේටත්, ධර්මයටත්, සංඝයාටත් ගෞරව දක්වන ශ්‍රද්ධා සම්පන්නව ජීවත් වන දෙන්නෙක්. ඔවුන්ගේ පුරුද්දක් තිබුණා දිනපතා විහාරයට ගොඩවෙලා ධර්මය අහන්න.

පුංචි පුතාත් ටිකෙන් ටික ලොකු වුණා. බුදු බණ පද එකින් එක ඉගෙන ගත්තා. දැනුම් තේරුම් වයසට පත් වුණ ගමන් දෙමාපියන් අමතලා

“මෑණියනි, පියාණෙනි, මට පැවිදි වෙන්න අවසර දෙන්න; මට බුදු බණ ඉගෙන ගන්න ඕනෑ"යි පවසා සිටිනවා. මව්පිය දෙදෙනාත් විහාරයට ගිහින් මහතෙරුන් වහන්සේලාට නමස්කාර කරලා දරුවාගේ කැමැත්ත දන්වා සිටියා.

පුංචි වයසක සිටියත් හොඳ බුද්ධියක් පිහිටි නිසා වහා ධර්මය අවබෝධ කර ගනීවි”යි තෙරුන් වහන්සේ කල්පනා කරලා සුබ මොහොතක් බලා කාලබුද්ධරක්ඛිත නමින් පැවිදි බිමටත් පත් කළා.

බුදු දහම ග්‍රන්ථ ධුරය හා විදර්ශනා ධුරය යනුවෙන් ධුර දෙකකින් යුක්තයි. තරුණ වයසක දී පැවිදි බිමට පත් වුවහොත් ග්‍රන්ථ ධුරය පුරන්න ඕනෑ. මෙහි දී සිදු වන්නේ ත්‍රිපිටකය හොඳින් ප්‍රගුණ කිරීමයි. පුංචි සාමණේරයන් වහන්සේටත් ත්‍රිපිටක දැනුම ලබා දීමට උපාධ්‍යායන් වහන්සේ තීරණය කළා. සෑගිරියේ වැඩ සිටි ප්‍රවීණ තෙරුන් වහන්සේ වෙත යොමු කළා ඉගෙනීම් කටයුතුවලට. වසර කිසිපයක් ගතවන්නටත් පෙර ත්‍රිපිටකය ම හොඳින් ඉගෙන ගත්තා. ඕනෑම ධර්ම කරුණක් පැහැදිලි කරදීමට කාලබුද්ධ රක්ඛිත හිමියන්ට දැන් හැකියාව තිබෙනවා.

විහාරයේ සිටි සෙසු භික්ෂූන් වහන්සේත්, දායක පිරිසත් පුදුමයට පත් වුණා. දවසක් තමන් ත්‍රිපිටකය ඉගෙන ගෙන අවසන් බව කියන්න ලොකු හාමුදුරුවන් වහන්සේ හමුවන්න පැවිදි වූ විහාරයට වැඩම කළා. ගුරු හිමියන්ගේ පාද මත නළල තබා නමස්කාර කර “ස්වාමිනි, ගුරු දේවයන් වහන්ස, මම සමස්ත ත්‍රිපිටකය ම ඉගෙනගෙන අවසන් කළා”යි දන්වා සිටියා.

එහෙත් උන්වහන්සේ සිනාසීමක් හෝ කථා කිරීමක්වත් කළේ නෑ. ආසනයෙන් නැඟිට එතැනින් නික්මුණා. දෙවැනි දවසෙත් ගුරු හිමියන් නිදහසේ වැඩ සිටින අවස්ථාවක් බලා නැවතත් එලෙසම නමස්කාර කර

“ස්වාමිනි, මම ත්‍රිපිටකය ම ඉගෙනගෙන අවසන් කළා. මට ආශිර්වාද කරන්න. සතුටට පත් වෙන්න"යි කියා සිටියා. එහෙත් සිනාසීමක් හෝ කථා කිරීමක් හෝ සිදු කළේ නෑ. කාලබුද්ධ රක්ඛිත හිමියන් බොහෝම දුකට පත් වී

“ස්වාමිනි, මගේ කවර හෝ දෝෂයක් තිබේදැ”යි විමසා සිටියා.

එවිට උපාධ්‍යයන් වහන්සේ ඔහු අමතා “ආයුෂ්මත් බුද්ධරක්ඛිත, ඔබ තුන්පිටකය ම හොඳින් ප්‍රගුණ කළ බව, ඉගෙන ගත් බව මට පැවසුවා. ඔබ හිතනවා ද දැන් මහණකම සම්පූර්ණයි කියා. ත්‍රිපිටකය ඉගෙනගත් පමණින් මහණකම සම්පූර්ණ වෙන්නේ නෑ.” යි කියා දන්වා සිටියා.

එය අසා සිටි කාල බුද්ධරක්ඛිත හිමි “

ස්වාමිනි, ශ්‍රමණ ධර්මය සම්පූර්ණ කරන්න මම මොකක්ද කරන්න ඕන?” යි විමසුවා.

“ඔබ පිරිවරාගෙන සිටින දායකයනුත්, ශිෂ්‍ය පිරිසත් අතහැරලා වාත කසින පර්වතයට වැඩම කරලා මහණකම සම්පූර්ණ කර ගන්න”

අවවාද කළා. ගුරු හිමියන්ගේ අවවාද පිළිගෙන උන්වහන්සේට නමස්කාර කර අදාළ පර්වතයට වැඩම කර භාවනා කරන්න පටන් ගත්තා. නොබෝ දවසකින් ම සිවුපිළිසිඹියාපත් මහ රහත් බවට පැමිණ ගුරුහිමියන්ට ඒ බව දන්වා සෑගිරියට වැඩම කර ධර්මය කියා දෙමින් වැඩ සිටියා.

කාලබුද්ධරක්ඛිත තෙරුන් වහන්සේගේ කීර්තිය හෙළදිව පුරා පැතිර යන්න පටන් ගත්තා. එකල රාජ්‍ය කළ සද්ධාතිස්ස රජතුමාටත් අහන්න ලැබුණා කාලබුද්ධරක්ඛිත තෙරුන් වහන්සේගේ ධර්ම ඥානය හා අර්හත්වීමේ පුවත.

සෑගිරියේ උපසම්පදා විනය කර්ම සිදු කරන සමයක් උදාවුණා. රජතුමාත් සෑගිරියට පැමිණ මහතෙරුන් වහන්සේ හමුවී අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් තමන්ට සකසා දුන් ගල් ලෙනක කාලය ගත කරමින් සිටියා. එකල එක් ඇමතියකු අමතා, කාලබුද්ධ රක්ඛිත තෙරුන් වහන්සේට උපස්ථාන කරන භික්ෂුව තමන්ට මුණ ගැසීමට අවස්ථාව සලසා දෙන ලෙස දන්වා සිටියා.

තෙරුන් වහන්සේගේ උපස්ථායක භික්ෂුව රජු වෙත වැඩම කර වූ පසු රජතුමා උන්වහන්සේ අමතා

“ස්වාමිනි, කාලබුද්ධ රක්ඛිත තෙරුන් වහන්සේ ධර්ම ගැටලු විසඳන මොහොතක් හෝ ධර්ම දේශනා කරන මොහොතක් හෝ යෙදුණ වහාම මා දැනුවත් කරන්න”යි දන්වා සිටියා.

පසුදින උපසම්පදා කටයුතු අවසන් වී සියලු දෙනා වහන්සේ ම කණ්ඨක චේතිය වන්දනා කරන්න වැඩම කළා. ආපසු විහාරයට වැඩම කරන අතරතුර එක් භික්ෂුවක් කාලකාරාම සූත්‍රයෙන් එක් ප්‍රශ්නයක් විමසුවා. එවිට කාලබුද්ධ රක්ඛිත තෙරුන් වහන්සේ “ආයුෂ්මතුනි, අද ධර්ම ගැටලු විසඳන දවස නොවේ, බණ කියන දවසයි. එසේ වුවත් කමක් නෑ. මේ ගස සමීපයේ දී ම ධර්මය දේශනා කරමි. මට ආසනයක් ගෙන එන්න”යි ආසන පනවා කාලකාරාම සූත්‍රයෙන් ම ධර්ම දේශනා කරන්න පටන් ගත්තා.

උපස්ථායක භික්ෂූන් වහන්සේ රජතුමාට ඒ බව දැන්නුවා. තුන්යම් රාත්‍රියම ත්‍රිපිටකයේ විවිධ තැන්වලින් බුදුගුණ දක්වමින් ධර්මය දේශනා කළා. රජතුමාත් අප්‍රසිද්ධ වෙසින් ආරම්භක ගාථා අවසන් වීමටත් පෙරම පිරිස් කෙළවර හිඳගෙන ධර්මය ශ්‍රවණය කරන්න පටන් ගත්තා.

අලුයම් කාලයේ “ඉදමවෝච භාගව“යි කියමින් ධර්ම දේශනාව අවසන් කළා. එවිට හැමෝම පටන් ගත්තා සාධුකාර දෙන්න. රජතුමාගේ සාධු නාදය තෙරුන් වහන්සේට අසන්න ලැබී “රජතුමනි, ඔබ කොයි අවස්ථාවේ ද පැමිණියේ?”යි විමසා සිටියා. “ස්වාමිනි, ආරම්භක ගාථාව අවසන්වීමට පෙරම මම ධර්ම ශ්‍රවණයට ඉඳ ගත්තා” යි පිළිතුරු දුන්නා.

“මහරජතුමනි, ඔබ කළේ අමාරුම කාර්යයක්, අපහසුවෙන් සිටියේද?යි නැවතත් විමසුවා.”

නැත ස්වාමිනි, ආරම්භයේ පටන් අවසානය දක්වාම බුදු බණ පදයක් නෑර හොඳින් අවබෝධ කර ගත්තා. එක් බණ පදයක්වත් අමතක වූයේ නම් මාගේ රාජ අණසක කෙවිටක් දුරටවත් පවතින්නේ නෑ”යි දිවුරා දන්වා සිටියා. රජතුමා උගත් බුදුගුණ ඇසුරින්ම “ස්වාමීනි, බුදුගුණ පවතින්නේ මෙපමණද?”යි ප්‍රශ්න කළා. එයට පිළිතුරු දෙමින්

“මහරජ, මා දේශනා කළේ ඉතාම ටිකයි. බුදුගුණ නම් අනන්තයි, අප්‍රමාණයි, කියා නිම කරන්න බෑ” යි පැවසුවා.

ඒ අසා සිටි රජතුමා “ස්වාමිනි, මට එය උපමාවකින් පහදා දෙන්න”යි ඉල්ලා සිටියා.

තෙරුන් වහන්සේ රජතුමාගේ ආරාධනාව පිළිගෙන “ මහ රජතුමනි, ඔබ වගා කරවන අමුණු දහස් ගණනකින් එක් හැල් කෙතක එක් හැල් කරලක් වගේ’යි මම දේශනා කළ බුදුගුණ, දේශනා නොකළ බුදුගුණ ඒ කරල හැරුණම ඉතිරි හැල් වී කරල් වගේ” යි පහදා දුන්නා.

දෙවැනියටත්, තෙවැනියටත් උපමා දක්වමින් පහදන්නයි ආරාධනා කළා.

ඒ දෙවතාවේ දී මහසැඩ පහරින් ගලන ගංගාවක ජලයෙන් ස්වල්පයක් ඉදිකටු සිදුරකින් ගන්නේ ද? ඉතිරි ජලය බොහෝ වේ ද? එපරිද්දෙනුත්, වැහිලිහිණියකු අහසේ පියාඹන්නේ ස්වල්ප දුරක් ය. සෙසු ආකාශය බොහෝ වන්නේ ය. එපරිද්දෙනුත් මා දේශනා කළ බුදු ගුණ ඉතා ස්වල්පයයි. දේශනා නො කළ බුදුගුණ විශාලයි පවසමින් උපමාවලින් බුදුගුණ පහදා දුන්නා.

රජතුමා මහත් සතුටට පත් වෙලා “ස්වාමිනි, ඔබ වහන්සේගේ ධර්ම දේශනාවට සුදුසු පූජාවක් කරන්න තරම් මම පොහොසත් නෑ. දිළිදු පූජාවක් කරන්නම්. මේ සියක් යොදුන් රාජ්‍ය ඔබ වහන්සේට පූජා කරනවා”යි තෙවතාවක් ම උන්වහන්සේට නමස්කාර කර ලංකාද්වීපය ධර්ම පූජාවක් සේ පූජා කළා.

රජතුමාගේ ශ්‍රද්ධාව හා සතුට වෙනුවෙන් පූජාව ඉවසා වදාරා “මහරජතුමනි, ධර්ම පූජාවක් සේ පූජා කළ රාජ්‍ය නැවතත් ඔබට බාර කරමි. රජතුමනි, ඔබගේ ශ්‍රද්ධාවට, බුද්ධ භක්තියට සමාන කිරීමට සමත් උපාසකයෙක් මිහිපිට නෑ. දැහැමෙන් සෙමෙන් රාජ්‍ය පාලනය කරන්න”යි ආශීර්වාද කළා. මේ කතා පුවත මජ්ක්‍ධිම නිකාය අටුවාවේ සච්චක සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා.

භික්ෂුවකගේ ජීවිතය සම්පූර්ණ වන්නේ ත්‍රිපිටකය ඉගෙන ගැනීමෙන් පමණක් නොවන බවත්, සද්ධා තිස්ස රජතුමා සම්බුද්ධ ශාසනයට දැක්වූ අප්‍රමාණ ශ්‍රද්ධාවත් මේ කතා පුවතින් පහදා දෙනවා.

ධර්මය දැන ගන්නවා වගේ ම එය ප්‍රායෝගික කළ යුතු බව කාලබුද්ධ රක්ඛිත රහතුන් වහන්සේගේ චරිතයෙනුත්, සද්ධාතිස්ස රාජ චරිතයෙනුත් තවදුරටත් පෙන්වා දෙනවා.