Print this Article


ආත්මාරක්ෂාවට හොඳම ආයුධය

ආත්මාරක්ෂාවට හොඳම ආයුධය

බුදුරජාණන් වහන්සේ සියලු දෙනාට ම සතුන් මැරීමෙන් වැළකීමට අවවාද කළ සේක. එම අවවාදය සියලු දෙනා ම පිළිගනිතොත් මිනිසුන් ඔවුනොවුන් මරා ගැනීමක් නො කරනු ඇත. පුද්ගලයකුගේ ජීවිතයට තර්ජනයක් කළ අවස්ථාවක දී වුවද ආත්මාරක්ෂාව සඳහා මිනී මැරුම නො වටින බැව් බුද්ධ දේශනාව යි.

ආත්මාරක්ෂාවේ ආයුධය කරුණාව යි. මෛත්‍රිය යි. කරුණාව හා මෛත්‍රිය ප්‍රගුණ කරන්නකුට අවාසනාවන්ත අවස්ථාවන් පැමිණෙන්නේ ඉතා කලාතුරකිනි.

මිනිසා තම ජීවිතයට කො තරම් ආදරය කරන්නේ ද යත් ඔහු එය අනුනට යටත් කර ගැනීමට ඉඩ නො දෙයි. ඉතා අවශ්‍ය විටෙක බොහෝ අය ආත්මාරක්ෂාව සඳහා සටන් කරති. සෑම ජීවියකු ම ආත්මාරක්ෂාව සඳහා සටන් කිරීමට හෝ මැරීමට පෙළඹීම ස්වභාවික යි. නමුත් එයින් ඇතිවන කර්ම විපාකයන් ඔවුන්ගේ වේදනා මත රඳා පවතී.

කෙනකු තම ආරක්ෂාව සඳහා සටන් කරන විට ප්‍රතිවාදියා මරණයට පත්වුවහොත් මැරීමේ අදහසක් නො තිබුණි නම්, එම මරණයට ඔහු සම්පූර්ණ වගකිවයුත්තා නො වේ. අනිත් අතට මැරීමේ චේතනාවක් ඇතිව වෙන කවර හේතුවක් යටතේ මැරුව ද එහි කර්ම විපාකයෙන් ඔහුට බේරීමක් නැත. එහි ප්‍රති විපාකයට මුහුණ දිය යුතු ය.

අප මතක තබාගත යුත්තේ මොන හේතුවක් නිසා වුව ද මැරීම ජීවිතය නැති කිරීමක් බවයි. අනුමැතියක් නො මැතිව මරා දැමීම මනුෂ්‍ය ඝාතන යැයි කියති.

මිනී මැරුමට දෙන දඬුවම මරණීය දණ්ඩන යයි කියති. අපේ සොල්දාදුවන් සතුරන් විසින් මරනු ලැබූ විට අප එය හඳුන්වන්නේ ඝාතනයක් ලෙස ය. මැරීම අප විසින් අනුමත කළ විට අපි එයට යුදයැයි කියමු. මේ වචනවලින් අපගේ අපේ යන ආවේග අන්තර්ගතය අස්කළහොත් ඒ සියල්ල කිසියම් මැරීමක් ලෙස අපට අවබෝධ කර ගත හැකි ය.

බොහෝ උගත්තු හා ඇතැම් ආගමික දේශක වු ද නිර්වින්දන මැරීම, සානුකම්පික මැරීම, මෘදු හිතින් මැරීම, වේදනා රහිත මැරීම, යනුවෙන් ජීවිතක්ෂයට පත් කිරීම, සාධාරණ බව ඔප්පු කිරීමට ඔවුහු උත්සාහ කරති. ඔවුන් තර්ක කරන්නේ මරණයට ගොදුරු වන්නාට වේදනාව නො දැනේ නම් බෙල්ල කපන පිහිය හොඳට මුවහත් නම්, මැරීම සාධාරණ බවයි. බුදුසමය එ වැනි තර්ක පිළිගන්නේ නැත. මෙහිදී අවශ්‍ය වන්නේ මරණය සිදු කෙළේ කෙසේද යන්න නොව එකකුගේ ජීවිතය තවකකු විසින් නැසීමයි. සිරුරෙන් ජීවිතේන්ද්‍රිය වෙන් කිරීම යි. එසේ කිරීමට මොන ම හේතුවක් මත හෝ කිසිවකුටත් අයිතියක් නැත.