Print this Article


ජීවිතය උදාරත්වයට පත්වන්නේ ගුණදම් පුරුදු පුහුණු කළ තරමට ය

ජීවිතය උදාරත්වයට පත්වන්නේ ගුණදම් පුරුදු පුහුණු කළ තරමට ය

ක්‍රෝධය, තණ්හාව, ඊර්ෂ්‍යාව, ආත්මාර්ථකාමී බව, දේවේෂය මෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය, කාමආශා ආදී දුර්විපාකයන්ට ගොදුරු වූ මනුෂ්‍යයාගේ සිතේ සමබරතාව නැති වී යයි. එයින් සිදුවන්නේ තමන්ට උරුම වූ ශිෂ්ට බව අහිමි වී තිරිසන් සත්වයකුගේ තත්ත්වයට පත්වීමයි.

හොඳ නරක, කළයුතු නොකළ යුතු දෙය තෝරා බේරා ගන්නට. දියුණුකර ගත හැකි මනසක් අපට තිබේ. තමන් ආඩම්බර විය යුතු වන්නේ, ලජ්ජා විය යුතු වන්නේ කවර දේ පිළිබඳව ද යන්න තමන්ට ම වෙන් වෙන් වශයෙන් හඳුනාගත හැකියි. මනුෂ්‍යයා තිරිසන් සත්වයාගෙන් වෙන්කොට හඳුනාගත හැක්කේ එසේ තේරුම්ගෙන ජීවිතයට සමීප කර ගන්නා උතුම් ගුණ ධර්ම නිසා ය.

සිත දියුණු කිරීමට මනුෂ්‍යයා සමත්විය යුතු ය. එවිට හොඳ නරක, හරි - වැරැදි, යහපත - අයහපත, සභ්‍ය - අසභ්‍ය ආදී දේ වෙන් වෙන් වශයෙන් නිවැරදිව හඳුනා ගැනීමේ ශක්තිය ලැබේ.

ඈත අතීතයේ සිට මිනිසාගේ ශිෂ්ට බව රැකුණේ හිරි - ඔතප් නම් වූ ගුණ ධර්ම හේතුකොටගෙන ය. “හිරි” යනු වැරැදි දෙයක් කිරීමට ඇති ලජ්ජාවයි වැරැදි දෙයක් කිරීමට ඇති බිය “ඔත්තප්ප" වේ සියලු මිනිස් හැසිරීම් පාලනය වන්නේ මේ ගුණාංග දෙක මඟිනි.

ක්‍රෝධය, තණ්හාව, ඊර්ෂ්‍යාව, ආත්මාර්ථකාමී බව, දේවේෂය මෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය, කාමආශා ආදී දුර්විපාකයන්ට ගොදුරු වූ මනුෂ්‍යයාගේ සිතේ සමබරතාව නැති වී යයි. එයින් සිදුවන්නේ තමන්ට උරුම වූ ශිෂ්ට බව අහිමි වී තිරිසන් සත්වයකුගේ තත්ත්වයට පත්වීමයි. තිරිසන් සත්වයා ක්‍රියා කරන්නේ සදාචාරාත්මක ගුණධර්ම මඟින් නොවේ. ඔවුන් තුළ වන නොකැඩී පැවතීමට ඉවහල් වන සහජ ඉවෙන් ය.

මිනිසුන් තුළ ඇති ගතිගුණ විටෙක තිරිසන් සතුන් අතර පවා නොවන තරමට කනගාටුදායක වන්නේ ය. එවැනි හැසිරීම් රටා ඇති කර ගැනීම මනුෂ්‍යත්වයට නොගැළපෙන, අතර එයට කිසිදු අනුබලයක් නොදිය යුතු ය.

ගෞරවයට සුදුසු වන්නේ හිරි ඔතප් ඇති, කරුණාවන්ත, අන් අයට දයාවෙන් යුතු, අන් අයට හිරිහැර කිරීමට කැමැති නැති, නිරතුරුවම අන් අයට උපකාරවීමට කැමැති අයම පමණි.

මේ පොදු ගුණාංගය මනුෂ්‍යයන් නිරතුරුව ම ප්‍රගුණ කොට නොබිඳී ආරක්ෂා කළ යුතු ය. අන්‍යයන්ට පිහිටවීමෙන්, අන් අයට සේවය කිරීමෙන් මනුෂ්‍යයා තුළ තිබෙන සහජ වශයෙන්ම පවතින ගුණධර්ම දියුණු කොටගත හැකි ය. අන් අයට සේවය කිරීම, අන්‍යයන් පිළිබඳ අවබෝධය, දයාව, කරුණාව, අවංක බව, චාම් බව, මෘදු බව, නිහතමානී බව සන්තුෂ්ටිය ආදී ගුණ ප්‍රකට වේ. මනුෂ්‍යයා තුළ ඇති වන මෙවන් ගුණාංගයන්ගෙන් යුක්ත වීම මනුෂ්‍යයාගේ ආඩම්බරයට කරුණකි.

චරිත ලක්ෂණයන් අනුව කෙනකුගේ ස්වභාවය කොටස් තුනකට බෙදා දැක්විය හැකි ය. දේව ස්වභාවය, මනුෂ්‍ය ස්වභාවය හා තිරිසන් ස්වභාවය යනුවෙනි.

මේ චරිත ස්වභාවයන් මනුෂ්‍ය චර්යාවට විවිධ වූ මට්ටමින් බලපායි. තිරිසන් ලක්ෂණ පාලනය නොකොට ඒවා වැඩීමට ඉඩ ලබා දෙන්නේ නම් මනුෂ්‍යයා සමාජයට විශාල බරක් වන්නේ ය.

මේ ස්වභාවය පාලනය කිරීමට ආගම, ධර්මය බොහෝ ලෙසින් උපකාරී වෙයි. මනුෂ්‍යයාගේ, මනුෂ්‍ය ස්වභාවය ක්‍රමයෙන් වර්ධනය කිරීමෙන් අප තුළ ඇති දේව ස්වභාවය ලබා ගත හැකි ය. මේ දේව ස්වභාවය ඇති වූ විට තණ්හාව, ඊර්ෂ්‍යාව, ද්වේෂය, ක්‍රෝධය ආදී අයහපත් සිතිවිලි මුළුමනින් ම ඈත්ව යනු ඇත.

මේ ආකාර වූ අයහපත් සිතිවිලි ඈත් වීමෙන් මනුෂ්‍යයාගේ ගෞරවය, උදාරත්වය ලැබිය යුතු තැනට පත්වන්නේ ය.

මෙයින් පැහැදිලි වන්නේ ආගම දහම මඟින් මනුෂ්‍යයාගේ තිරිසන් ස්වභාවය පාලනය කොට, මිනිස් ස්වභාවය පෝෂණය කොට දේව ස්වභාවය ලබා ගත හැකි බව ය.

දේව ස්වභාවය රැඳී පවතින්නේ සුහදතාව, මිත්‍රත්වය, අන්‍යයන්ගේ යහපත උදෙසා කැපවීම, කරුණාව, මුදිතාව, අටලෝ දහමින් කම්පා නොවීම ආදී ගුණය මත ය.

උදාර මනුෂ්‍යයෙක් ලෙස ජීවත්වීමට නම්, මනුෂ්‍යයා විසින් ඉටුකළ යුතු යුතුකම් හා වගකීම් රාශියක් ඇත. සියලු මනුෂ්‍යයන්ගේ යහපත උදෙසා කටයුතු කළ යුතුයි. සියලු අකුසල ප්‍රහාණය සඳහා කුසලයම ප්‍රගුණ කළ යුතුයි. සාමයෙන් සතුටින් ජීවත්වීම පිණිස දහම මඟින් අපට මඟ පෙන්වනු ලැබේ.

ඒ අන්‍යොන්‍ය සහයෝගය, අන්‍යොන්‍ය ගෞරවය හා අවබෝධයෙන් ජීවත්වීමට අවශ්‍ය මඟ පෙන්වීමයි. ඒ වගේ ම වෛර, ක්‍රෝධ, ඊර්ෂ්‍යා නොකර ජීවත්වීමට මනුෂ්‍යයාට හැකිවිය යුතු යි. ඒ සඳහා ධර්මයෙන් ඉගැන්වීම් සිදුකරනු ලැබේ. සිතීමේ ශක්තියෙන් පොහොසත් මනුෂ්‍යයාට බුදු දහම අනුගමනය කළ හැකි ය.

මනුෂ්‍ය ජීවිතයේ වටිනාම අංගයක් වන ආධ්‍යාත්මික ගුණ වර්ධනය අතපසු කළ යුතු නැත. මෙලොව සුබසිද්ධිය, සඳහා පරලොව සුබ සිද්ධිය, සඳහා නිර්වාණාවබෝධය සඳහා ධර්මය ම පිළිපැදීමෙන් මනුෂ්‍යයාට ශිෂ්ට බවට, උදාර බවට පත්විය හැකි ය.