[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

සසර මඟ අතරමං කරන මරුවැල

සසර මඟ අතරමං කරන මරුවැල

අපේ සිත හරි පුදුම යි. අපට හිතක් තියෙනවා කියලා දැනෙන්නේ ඒ හිතට අරමුණු එකතුවන නිසයි. අරමුණක් නොමැතිව සිතක් පහළ වන්නේ නැහැ. හිතක් ගැන කියැවෙන්නේ නැහැ. ඇත්තෙන්ම සිතක් කියලා දෙයක් නැහැ. එය හිතන්න බැරි තරම් වේගයකින් ඇති වී නැති වී යන ධර්මතාවක්. එයට තවත් වචනයකින් කියනවා නම් ක්ෂණිකව වෙනස් වි හටගනිමින් නැති වෙමින් පවත්නා ස්වභාවයක් පෙන්නුම් කරන සිත් පරම්පරාවක්.

ඉතින් සිතක් පහළ වන්නේ අරමුණක් ගත්විටයි. එය එක් විදියකින් ගලා ගෙන යන රැල්ලක් වගේ. චිත්ත වීථියක් කියලා කියන්නේ ඒකට යි.

ඊළගට අපි නැවතත් තවත් අරමුණක් ගන්න කොට ඒ චිත්තවීථිය එතැනින් බිඳවැටී තවත් චිත්තපරම්පරාවක් නිර්මාණය වෙනවා. එය තවත් චිත්තවීථියක් බවට පත් වෙනවා. මේ විදියට අපි අරමුණු ගන්නා හැම විටක ම චිත්ත වීථි රාශියක් තුළ තමයි අපේ කල දවස ගෙවෙන්නේ.

ඉතින් සිතක් ඇති නොවන හැමවිටක ම අපේ සිත නිශ්චල වෙනවා. එහෙමත් නැත්නම් භවාංග වෙනවා කියලා කියනවා. ඒ භවාංග අවස්ථාවේ වෙනත් කිසිදු අරමුණක් නැතිව සිත නිශ්චලව පවතිනවා.

කිසියම් සිහින පිළිබඳ අත්දැකිමක් නො මැතිව සිත පවතින්නේ ඉතා තද නින්දේ දි. ඉතින් ඒ තද නින්ද අවස්ථාවේ අපට අරමුණු ඇතිවන්නේ නැහැ. හැබැයි තද නොවන අඩ නින්ද අවස්ථාවේ දී අප යම් යම් අවස්ථාවල ක්‍රියාකාරි ජීවිතයේ දී අපේ ඉඳුරන් මගින් ගත් අරමුණු යම් පමණකට අක්‍රියව තිබිලා අපේ ඒ අරමුණු නින්දේ දී අපේ සිතට නැඟෙනවා. ඒවාට තමයි අපි සිහින කියලා කියන්නේ. ඉතින් අප සැබෑ සිහියෙන් සිටිනවිට වුව ද අපට නොයෙක් අරමුණු පහළ වෙනවා. ඒවා යටපත් වෙනවා. නැවත වෙනත් අරමුණක් ඇති වෙනවා. මේ ආකාරයෙන් එකකට එකක් වෙනස් වු අරමුණු ඇති වෙනවා වගේ සිහින අවස්ථාවේ දී එක සිහිනයක් දැකිමින් සිටියදී ඊට කිසිදු සම්බන්ධයක් නැති වෙනත් සිහින මායාවක් වගේ පෙනෙන ආකාරයක් තිබෙනවා.

මේ සිතට අපි නොනිදා සිටින හැම වෙලාවක ම අරමුණක් ඉලක්ක වී සිතිවිලි එක් රැස් කරනවා. ඒවාට තමයි සංස්කාර කියලා කියන්නේ. ඒවා කුසල්, අකුසල් ආනෙඤ්ජාභි වශයෙන් තුන් ආකාර යි. කුසල පැත්තේ අරමුණු නිසා කුසල් සිතිවිලිත්, අකුසල පැත්තේ අරමුණු නිසා අකුසල සිතිවිලිත් පුහුදුන් ජිවිත ගත කරන අපට ඇති වෙනවා. ඒවා විවිධ අවස්ථාවල මිශ්‍රව ඇති වෙනවා. ඉතින් මේ ආකාරයෙන් අපි නින්දෙත් නෙනින්දෙත් අරමුණු ඇති කර ගනිමින් සිතිවලි ඇති කර ගෙන ඒ අනුව ජිවිතය පෙළගස්සවා ගන්නවා.

මේ අරමුණු එක්රැස් කරන්නේ අපේ ඉන්ද්‍රියයන්ගෙන්. ඉන්ද්‍රිය කියන මේ වචනයේ තේරුම වන්නේ අධිපතිබව, ඉසුරුබව, ප්‍රධානත්වය යන අදහස යි.

ඇස බැලීමටත්, කන ඇසීමටත්, නැහැය සිඹිමටත්, දිව රස දැන ගැනීමටත්, ශරීරය ස්පර්ශ දැන ගැනීමටත්, ක්‍රියාත්මන වෙනවා. ඒ හැරුණු විට මේ කිසිදු ඉන්ද්‍රියයක් ක්‍රියාත්මක නො වී හුදකලාව ම සිත් ක්‍රියාමක වෙන බවක් දැනෙනවා. එහිදී ප්‍රධාන වන ඉන්ද්‍රිය බවට පත් වනනේ මන නම් ඉන්ද්‍රියයි. ඒ අනුව යි ඉන්ද්‍රිය හයක් බවට පත් වෙන්නේ. ඇහැට ප්‍රිය රූපයට අපි රුචි වෙනවා. කනට ප්‍රිය ශබ්දයත්, නැහැයට ප්‍රිය සුවඳත්, දිවට ප්‍රිය රසයත්, ශරීරයට ප්‍රිය පහසත්, මනසට ප්‍රිය සිතිවිලිත් දැනුණු විට දී නුවණින් සිත මෙහෙයවීමේ ශක්තියෙන් තොර වූ පුහුදුන් පුද්ගලයාගේ සිත විවිධ අරමුණු ගන්නවා.

ප්‍රිය තත්වයන්හි දී ඉන්ද්‍රිය පිනවීම සුවයක් දැනෙනවා නම් ආශාව එසේ නැතිනම් තෘෂ්ණාව, කාමය ඇති වෙනවා. අප්‍රිය තත්වයක දී තරහ හෙවත් නොසතුට, කෝපය වැඩි දියුණු වෙනවා. ඒ අපේ පුහුදුන් ස්වභාවය නිසයි.

කෙලෙස් නැසූ උත්තමයන් වහන්සේට කොයිතරම් වුවත් ප්‍රිය මනාප අරමුණු හමු වුණත් උන්වහන්සේ යෝනිසෝමනසිකාරයෙන් යුක්ත වන නිසා ඒවා හුදු අරමුණු මාත්‍රයක් පමණයි. එනිසා ප්‍රිය වුවත්, අප්‍රිය වුවත් ඇලීමක්වත් බැඳීමක්වත්, රොස් පරොස් වීමක්වත් සිදු වන්නේ නැහැ. උන්වහන්සේ ඒ දෙපක්ෂයෙහි දී ම මධ්‍යස්ථයි.

ඉතින් කරණීයමෙත්ත සූත්‍රයේ දී සන්තින්ද්‍රියො යන්නෙන් අදහස් කරන්නේ ඒ කෙලෙස් නැසූ උතුමන් තුළ ඇති වන සංසිඳුණු තත්වය පුහුදුන් පුද්ගලයා තුළ ද ඇති කරමින් ශාන්ත ඉන්ද්‍රිය ස්වභාවයක් ඇති කර ගන්නේ කෙසේ ද කියන මේ කාරණය පෙන්වා දීමයි.

අප දවස ගත කරන මේ කාලය තුළ මුලින් කී ආකාරයෙන් ඉන්ද්‍රිය මගින් අරමුණු එකතු කරගෙන අයෝනිසොමනසිකාරයෙන් ක්‍රියාත්මක වීම තුළ ගහ බැණගැනිම්, කැරළි කෝලාහල, මිනිමැරුම් ආදි සදාචාර සම්පන්න ලෝකය පිළිකුල් කරන බොහෝ අවැඩ ගෙනදෙන ක්‍රියාකාරකම් රාශියක් අපේ මේ සමාජය තුළ ක්‍රියාත්මක වී අපි අපම දුකට විපතට පත්වෙන ආකාරය විමසුම් නුවණින් බලා සිටියොත් හැම අයකුට ම පැහැදිලිව වැටහෙන්නට පුළුවනි.

ඉතින් ආශාව හා කෝපය කියන මේ භයානක අකුසල සිත් පහළ වන්නේ අනුවණකම හෙවත් මෝහය මුළාව හා එක්වීම නිසයි.

ජීවන අත්දැකිම් සහිතව දැනුම් තේරුම්කම් ඇති අපේ වැඩිහිටියන්, ගුරුවරුන්, අනුශාසකවරුන් අපට මෙවැනි අනර්ථකාරි තත්වයන් පැහැදිලි ලෙස පෙන්වා දෙනවා. පාසල් දරුවන්ට, ශිෂ්‍ය ස්වාමීන් වහන්සේට මේ ආකාරයෙන් කල්‍යාණ මිත්‍රත්වයෙන් කරුණු කියා දෙන එම වැඩිහිටි කල්‍යාණමිත්‍ර උතුමන් හැමවිටම මෝහයෙන් මුළා වි ක්‍රියාකරන ළාබාල උදවියට ඒ අවස්ථාවේ දී පෙනෙන්නේ අහිතවත් හතුරන් පිරිසක් ලෙස යි. මේ නිසා තමයි පාසල් දරුවන් මෙන් ම තරුණ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ පවා රොස් පෙරාස් වී ඉතාමත් අහිතකර තීරණවලට එළඹිලා සියදිවි නසා ගැනිම්, භික්ෂූන් වහන්සේලා නම් සසුනෙන් ඉවත්ව සිවුරුහැර යාම වැනි තත්වයට පෙළඹෙන්නේ.

ඉතින් මේ කරුණ අපි ධර්මානුකූලව සිතා බලා නිවැරැදි මඟට ඒමට අපට තිබෙන එකම මඟ වන්නේ බුදු බණ අනුව කටයුතු කිරිම පමණයි. මුලින් අප පෙන්වා දුන් මේ ඉන්ද්‍රිය වශයෙන් ගැනෙන දොරටු හයෙන් අපි නිරන්තරයෙන් අරමුණු එකතු කරමින් සිතිවිලි පහළ කර ගන්නවා. එවැනි අවස්ථාවල දී වඩාත් වැදගත් වන්නේ සතියෙන් හෙවත් සිහියෙන් යුක්තව නුවණ මෙහෙයවා ක්‍රියා කිරිමයි. ඒ නුවණ මෙහෙයවා ක්‍රියා කිරීමේ ශක්තිය අපට උදා කරගත හැකි වන්නේ කරුණු හතරක් අපි වැඩි දියුණු කර ගත්තොත් පමණ යි. සත්පුරුෂ හෙවත් කල්‍යාණමිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසොමනසිකාරය හෙවත් නුවණින් කටයුතු කිරිම හා ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් ක්‍රියාකිරීම යන මේ හතරයි.

ඉතින් මේවාට ධර්මයේ සඳහන් වන්නේ සෝතාපත්ති අංග කියලයි. එයින්ම පැහැදිලි වෙනවා මේ අංග සතර වැඩි දියුණු කර ගැනීම කෙතරම් දුරට පුද්ගලයාගේ ආධ්‍යාත්ම තත්වය උසස් බවට පත් කරනවා ද කියලා. කල්‍යාමිත්‍ර ඇසුර හෙවත් සත්පුරුෂ සේවනය මෙම සම්මාසම්බුද්ධ ශාසනයේ අඩිතාලම හෙවත් පදනම ලෙසයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙන්නේ. මංගල සූත්‍රයේ දී පණ්ඩිතානං ච සේවනා කියලා පෙන්වා දි ඇත්තේත් මෙයට සමාන අර්ථයක්. මේ සත්පුරුෂ ඇසුර දුරස්ථ වෙනතාක් සමාජයෙන් ලජ්ජා, බිය කියන මේ ලෝකපාලක ධර්ම අපෙන් ඈත් වෙනවා. එමෙන්ම අපි ධර්මයෙන් ඈත්ව සිටින විට හෙවත් ශ්‍රැතවත් භාවයෙන් දුරස්ථ වූ විට අන්ධයන් වගේ හිතට දැනෙන අරමුණුවට ඉඩ දී ක්‍රියා කිරීමෙන් දුකට පත් වෙනවා. ඒ නිසා හැකිතාක් දුරට ධර්මයට ආසන්න විය යුතු වෙනවා. සත්පුරුෂ ආශ්‍රය තුළින් අපි ධර්මයට කිට්ටු වෙනවා. ඒ නිසා ඇත්ත යුක්තිය හිත අහිත දේ පිළිබඳ සියුම්ව විමසා බැලීමේ ශක්තිය අපට ඇති වෙනවා. අප්‍රමාද වෙනවා. හිත නොවිසුරුණු තත්වයෙන් පවත්වා ගෙන යාමට ශක්තිමත් වෙනවා. මේ නිසා යම් අරමුණක බැඳෙන අපේ සිතින් එක්රැස් වන කාම කෝපාදී සිතිවිලි ඇති වීමට බලපාන අනුසය ඉස්මතු වීමට ඉඩක් නොතබා ක්‍රියා කිරීමේ ශක්තිය අපි උදා කර ගන්නවා. එසේ නොවුණහොත් ඉන්ද්‍රිය මඟින් ලබා ගන්නා ප්‍රිය යැයි හඟින අරමුණට ඉඩ ලබා දී ක්‍රියා කිරිම නිසා හෝ ඇති වන කාමය, එමෙන්ම අප්‍රිය හෙවත් අප්‍රසන්න යැයි හැඟෙන අරමුණු හා එක්ව ඇති වන කෝපය හෙවත් ද්වේෂය උත්සන්න වෙනවා. ඉතින් ඒ වෙනකොට යෝනිසෝමනසිකාරය යම් පමණකට හෝ ඇතිව ක්‍රියා කරන අයට මේ අහිතකර තත්වයන්ගෙන් මිදී සන්සුන්ව ක්‍රියාකිරීමේ හැකියාව උදා කර ගන්නට පුළුවනි.

ඉතින් මෙන්න මේ තත්වය ඇතිවිම වළක්වා ගැනීමේ මූලික අවස්ථාව වන්නේ මේ ෂඩින්ද්‍රිය හෙවත් ඇස, කන, නාසය, දිව, ශරීරය හා මන යන මේ ඉන්ද්‍රියයන් හය පාලනය කර ගැනීම යි. සන්තින්ද්‍රිය යන්නෙන් කරණීයමෙත්ත සූත්‍රයේ දී පෙන්වා දෙන්නේ මේ කාරණය යි. සන්සුන් ඉඳුරන් ඇති අය සසර ජය ගැනීමට සමත් වෙනවා. ඉතින් මේ නිසා පුද්ගලයාගේ නිවීමට බාධාවන මරුවැල වන්නේ නොසන්සුන් ඉඳුරන් බව කීමට අවශ්‍ය යි.


 

නවම් පුර පසළොස්වක

පෙබරවාරි 04 සෙනසුරාදා අ.භා. 09.31 න් පුර පසළොස්වක ලබා
05 ඉරිදා අ.භා. 11.59 න් ගෙවේ.
05 ඉරිදා. සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 05

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

Full Moonඅමාවක

පෙබරවාරි 19

First Quarterපුර අටවක

පෙබරවාරි 27

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]