අත්තකාර
සූත්‍රයෙන්:
පරාජය
ජයග්‍රහණයේ ඇරඹුම කරගන්න
ඌරුගමුවේ අස්සජි හිමි
කිසියම් කාර්යයක් ආරම්භ කොට ඉදිරියට පවත්වා ගෙන යාමේ දී පුද්ගලයා තුළ විශේෂ ශක්තීන්
සයක් පිහිටා තිබිය යුතු බව අත්තකාර සූත්‍රයේ සඳහන් වෙයි. මෙම සූත්‍රය බමුණකු ගේ
ප්‍රශ්නයකට පිළිතුරු දීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දකි. එහි
ඇතුළත් කරුණු සය දැක්වෙන්නේ මෙසේ ය.
ත්වං කිං මඤ්ඤසි බ්‍රාහ්මණ අත්ථි ආරම්භ ධාතූ’ති?..... අත්ථි නික්ඛමධාතු..... අත්ථි
පරක්කමධාතු..... අත්ථි ථාමධාතු..... අත්ථි ඨිතිධාතු..... අත්ථි උපක්කමධාතූ’ති
(අංගුත්තර නිකාය 4, 94-95-96 පිටු) මෙහි දැක්වෙන “ආරම්භ ධාතු” නම් යම් ක්‍රියාවක්
ආරම්භ කිරීම යි. එම ක්‍රියාව ඉදිරියට පවත්වා ගෙන යාම “නික්ඛම ධාතු” යන්නෙහි අදහස
යි. “පරක්කම ධාතු” යනු බාධා මැඩගෙන ඉදිරියට යාම වන අතර, නොසැලී පැවතීම “ථාම ධාතු”
නම් වේ. “ඨිති ධාතු” යනු විර්යයෙහි පිහිටා සිටීම යි. උපක්‍රමශීලී වීම “උපක්කම ධාතු”
නම් වෙයි.
මෙම ශක්ති සය නිවැරැදිව ක්‍රියාත්මක කරන්නේ නම්, කිසිදු කාර්යයක් අතරමග නතර කර
දැමීමට සිදු නො වේ. පුද්ගල ශ්‍රමය වැය කිරීමේ දී බාහිර බලවේග පිළිබඳ විශ්වාසය නො
තබා ස්වකීය ශක්තිය ම යෙදවීමට කරන උත්සාහයක් මෙ මගින් අදහස් වෙයි.
මෙහි දී ක්‍රියාව ඇරඹීම පළමු කාර්ය යි. යමක් කිරීමේ දී පළමුව ඇති කර ගන්නා වීර්යය
එම ක්‍රියාවෙහි සාර්ථකත්වය සඳහා අතිශයින් ම ඉවහල් වෙයි. නිදසුනක් ලෙස සොත්ථිය නමැති
බමුණකු පිදූ කුසතණ අතුරා අසුනක් පනවා ගත් බෝසතාණන් වහන්සේ සිදු කළ චතුරංග සමන්නාගත
වීර්යය දැක්විය හැකි ය.
“මාගේ ශරීරයේ ඇට, සම්, නහර පමණක් ඉතිරි වන සේ මස් ලේ වියළී ගිය ද සම්බුද්ධත්වයට නො
පැමිණ මේ ආසනයෙන් නැගී නොසිටිමි” යනු එම අධිෂ්ඨානය යි. මෙයින් අපට ගත හැකි ආදර්ශය
නම් අප යෙදී සිටින කිසියම් වැදගත් කාර්යයක් තුළින් බලාපොරොත්තු වන ඉලක්ක කරා ගමන්
කිරීමට මහත් උනන්දුවෙන් ක්‍රියා කළ යුතු බව යි.
මෙහි දී අධික ලෙස ශ්‍රමය වැය කළ යුතු යැයි අදහස් නො කෙරේ. අධික වෙහෙස කටයුතු
අසාර්ථකවීමට ද හේතු වෙයි.
කිසියම් කාර්යයක් ආරම්භ කොට එය දිගින් දිගට කරගෙන යාමේ දී ඕනෑම කෙනකුට නොයෙක්
ආකාරයේ බාධා පැමිණීම ස්වභාවික ය. එහෙත් ධර්මය පිළිබඳ යම් දැනුමක් තිබෙන අය ඒවා බාධා
වශයෙන් නො සලකති. තව තවත් තමන් උනන්දු කරවීම සඳහා පැමිණි දේ යැයි සිතති.
අභියෝගවලට මුහුණ දෙමින් තව තවත් ධෛර්ය සම්පන්න වී ඉදිරියට ම යති. එබැවින් තමන් පටන්
ගත් කාර්යය සාර්ථකත්වයට පත්කර ගැනීමට නොලැබෙන පරිදි සිය දහසක් බාධා පැමිණිය ද ඒවා
තණ පතක් තරමට වත් ගණන් නො ගෙන වීර්යයෙන් දිගින් දිගට ම පවත්වා ගෙන යාම උසස්
මිනිසුන්ගේ සිරිතක් බව නිතර මෙනෙහි කළ යුතු ය. එසේ විර්යයක් නොමැතිව කිසිවකුටවත්
කිසිම කාර්යයක් තුළින් නිසි ඵල නෙළා ගත නොහැකි ය.
නුවණැත්තා සෑම විටෙක ම නොපසුබස්නා වීර්යයෙන් ක්‍රියා කරයි. කෙතෙක් බාධා පැමිණියත්
ස්වකීය ක්‍රියාව ඉදිරියට පවත්වා ගෙන යයි. ඔහුට ඕනෑම දියුණුවක් සලසා ගත හැකි ය.
එබැවින් ජීවිතයේ කුඩා කාලයේ සිට ම ඇති කරගත යුත්තේ නොපසුබස්නා වීර්යය යි.
තමන් ගත් යම් කවර හෝ යහපත් ඉලක්කයක් ඇත්නම් ඒ ඉලක්කයට ළං නො වී මාගේ වෑයම අත් නො
හරිමි යි, සිතා ඊට කැපවිය යුතු ය.
ඇතැම් විට අපි ආරම්භ කළ යහපත් පරමාර්ථයෙන් යුතු යම් කාර්යයක් අසාර්ථක වූයේ යැයි
සිතමු. එහි දී දැඩි ලෙස පසුතැවිලි වී උත්සාහය අත්හැරීම කිසිසේත් නො කළ යුතු ය. එකී
වැදගත් කාර්යය සාර්ථක කර ගැනීම සඳහා තවත් අවස්ථා ඇති බව වටහා ගැනීම බෙහෙවින් වැදගත්
වේ. පරාජය ජයග්‍රහණයේ මාවත බව තේරුම් ගෙන උපක්‍රමශීලීව ක්‍රියා කිරීමට හුරුවීම ද
ඉතා අගනේ ය. උපායෙහි දක්‍ෂ බව ද දියුණුවට අවශ්‍ය අංගයකි.
මෙහි උපාය යනු වැරැදි උපාය මාර්ග නො වේ. නිවැරැදි උපාය යි. උපායෙහි දක්‍ෂව ක්‍රියා
කොට ඉතා සුලු දෙයකින් පවා දියුණු විය හැකි බව මළ මී කුණක් විකුණා ක්‍රමයෙන්
දියුණුවට පත් පුද්ගලයකු අවසානයේ දී සිටුවරයකු වූ ආකාරය විස්තර වන චුල්ලසෙට්ඨි
ජාතකයෙන් පැහැදිලි වේ.
මේ අනුව සෑම කාර්යයක් ම සාර්ථක කර ගැනීමට දැඩි වීර්යයක් තිබිය යුතු බව පැහැදිලි ය.
වීර්යය ඇති අයට ලැබිය නො හැකි නුවණක්, නො ලැබිය හැකි සැපතක් නැත.
බොහෝ දෙනා දුක් අඩු, සැප වැඩි ජීවිතයක් ගෙන යන්නේ වීර්යය හේතුවෙනි. ලොව මහා
නුවණැත්තන් වන්නේ අලසයන් නොව නොපසුබට වීර්යයෙන් ක්‍රියා කරන අය යි.
අලසකම කෙනකු තුළ පවත්නා වීර්යය අවම කිරීමට හේතුවක් වේ. අලසකමින් තොරව අද කළ යුතු දේ
අද ම කිරීම ඉතා හොඳ පුරුද්දකි. එවිට වැඩ ගොඩ ගැසීමක් සිදු නොවේ. එහෙත් අලසකම නිසා
සිදුවන්නේ අද කළ යුතු දේ හෙටට කල් දැමීමයි. එවිට හෙට වැඩ අධික වනු ඇත. ඒ නිසා ම හෙට
වැඩ ද අවුල් වනු ඇත. මෙසේ ක්‍රමයෙන් දිනපතා ම වැඩ කටයුතු අවුල් වෙයි.
ක්‍රියාව ආරම්භ කළ ද එය ඉදිරියට පවත්වා ගෙන යාම නිසියාකාරව සිදු නොකිරීම එයට
හේතුවයි. ක්‍රියාව මනා ඇරඹුමකින් යුක්තව බාධා මැඩගෙන ඉදිරියට පවත්වා ගෙන යාම වඩාත්ම
හරවත් පිළිවෙතයි. මෙහි දී සෑම විටෙක ම “පසුබට නො වන්න. ඉදිරියට ම යන්න.” (මානිවත්ථ
අභික්කම) යන බුද්ධ දේශනය සිහිකිරීම අපට බෙහෙවින් ම වැඩදායක ය.
|