[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

ගෙවෙන අතීතය ළඟා නොවුණු අනාගතය යහපත් වීමට නම්...

ගෙවෙන අතීතය ළඟා නොවුණු අනාගතය යහපත් වීමට නම්...

අතීතය, වර්තමානය සහ අනාගතය යනුවෙන් කාලය තෙයාකාර වේ. මේ තෙයාකාර කාලය තුළ අතීතයත් අනාගතයත් මේ මොහොතේ නැත. ඇත්තේ වර්තමානය පමණි. එනිසා මේ කාලත්‍රයෙන් වර්තමානය ඉතා වැදගත් වේ.

මිනිසා සත්‍ය වශයෙන්ම ප්‍රායෝගික සජීවි භාවයට පත්ව සිටින්නේ ගෙවුණු අතීතයේ හෝ එළැඹීමට නියමිත අනාගතයේ නොවේ. එලෙස ප්‍රායෝගික සජීවි භාවය මිනිසා සතුවන්නේ සැබැවින් ම මේ මොහොතේ හෙවත් වර්තමානයේ ය.

වර්තමානය වනාහි අප මේ දැන් අත්විඳීමින් ජීවත්වන මොහොතයි. මේ දැන් ගෙවන මොහොත සජීවි ය. ගෙවීගිය අතීතය හෝ එළැඹීමට නියමිත අනාගතය මේ දැන් ගෙවන මොහොත මෙන් සත්‍ය වශයෙන් ම සජීවී නැත.

එමෙන්ම මේ මොහොතේ අතීතයත් අනාගතයත් අප සතු නැත. මේ කාල දෙක සමහර විට ගෙවී හමාර ය. නැත්නම් ළඟාවීමට නියමිත ය.

එහෙත් වර්තමානය හෙවත් අප දැන් මේ ගත කරන මොහොත සත්‍ය වශයෙන්ම අප සතුව පවතියි. ගෙවී අවසන් වූ අතීතය නැවත පැමිණෙන්නේ නැත. එනිසා ඒ අතීතය පිළිබඳ අමන්දානන්දයෙන් උද්දාමයට පත්වීම හෝ ශෝක බරිත හදවතින් යුතුව හැඬු කඳුළින් පසුතැවීම හෝ සිදු කළ යුතු දැයි තීක්ෂණ බුද්ධියෙන් දැඩිව සලකා බැලීම ඉතා යෙහෙකි.

අනෙක් අතට අසීමිත බලාපොරොත්තු තබා සොඳුරු සිහින ලෝකයක් ලැබෙන තුරු අපේක්ෂා සහගතව බලා සිටින අනාගතයේ සැබෑ ස්වභාවය කෙසේද? අනාගතය මේ ගෙවන මොහොත මෙන් පෙර සඳහන් පරිදි සජීවී නැත. ඒ එය ළඟාවීමට නියමිත විනා තවමත් මේ ගෙවන මොහොතට ළඟා නොවූ හෙයිනි. යම් හෙයකින් අනාගතය මේ දැන් පවතින මොහොතට ළඟාවෙන්නේ නම් එය මෙතෙක් පැවතියේ අනාගතය ලෙස වුව ද එතැන් සිට එය මේ මොහොතයි. එනම් වර්තමානයයි.

ඒ අනුව වර්තමානයට හෙවත් මේ මොහොතට සැබැවින් ම අනාගතය අයත් වන්නේ දැයි විමර්ශනශීලි විවේක බුද්ධියෙන් ඉතා ගැඹුරින් නිරීක්ෂණය කිරීම ද අනිවාර්යයෙන් සලකා බැලිය යුත්තකි.

ගෙවුණ අතීතය හෝ මෙතෙක් ළඟා නොවූ අනාගතයට වඩා අපට සැබැවින් ම උරුම සහ හිමි මේ මොහොත හෙවත් වර්තමානය කෙතරම් අගනේ ද? අතීතය හා අනාගතයට වඩා සැබෑ වශයෙන් වටින්නේ අප සජීවීව අත්විඳීන මේ මොහොත හෙවත් වර්තමානය නොවේද?

එහෙත් අභාග්‍යයක තරම අප සතු අපට හිමි, අප අත්විඳීන ඒ සැබෑ මොහොත හෙවත් වර්තමානය යහපත් කර ගන්නට උත්සාහ කරනවාට වඩා අතීත ශ්‍රී විභූතියත්, අනාගත සිහින ලෝකයත් සිහිපත් කරමින් ඒ වටිනා වර්තමානය හෙවත් මේ මොහොත අනර්ථකාරී අයුරින් විනාශකර ගැනීමයි, බොහෝ අය සිදු කරන්නේ.

එලෙස අතීතය සිහි කර කර වර්තමානය අයහපත් නොකරගත යුතු බව ‘අතීතං නානුසෝචෙන්ති‘ යන බුද්ධ භාෂිතයෙන් මනාව පැහැදිලි කොට තිබේ.

අනෙක් අතට අනාගතය ළඟාවන්නේ ඊළඟ මොහොතේ විනා මේ මොහොතේ හෙවත් වර්තමානයේ නොවේ. අනාගතය මේ මොහොතට ප්‍රවේශ වන තුරු එය අනාගතයයි. තවද ඒ අනාගතය එක් ආකාරයක සිහින ලෝකයකැයි පැවසීම අතිශයෝක්තියක් ද නොවේ. එය සැබෑ සත්‍යයකි. අනාගතය නැමැති සිහින ලෝකය පිළිබඳ අසීමිත අපේක්ෂා හා බලාපොරොත්තු පොදි බැඳ ඒවා පිළිබඳ සිත සිතා සිහින මවමින් විනාශ කර ගන්නේ අනාගතයට හිමි කාලය නොවේ. අපට හිමි, අප සතු මේ මොහොතේ අත්විඳීන වර්තමානයේ වටිනා කාලයයි. එලෙස වර්තමානයේ අත්විඳීය යුතු වටිනා කාලය අනාගත සිහිනයන්හි බොඳකර හැරීම කෙතරම් අවාසනාවක් ද? එනිසා අප ගෙවන මේ උදාර මොහොත අනාගත සිහිනයන් සිහිකර කර විනාශ නොකරගත යුතු ය.

එනිසා ‘පච්චුප්පන්නේන යාපෙන්ති’ අපට සැබැවින්ම උරුම වර්තමානය හෙවත් මේ මොහොත උපරිමයෙන් තමාටත්, අන්‍යයන්ටත් යහපත්, ප්‍රයෝජනවත් හා අර්ථාන්විත ආකාරයෙන් ගෙවන්නට උත්සුකවීම යහපත් ය.

එවිට ගෙවුණු අතීතය ද ළඟා නොවූ අනාගතය ද යහපත් වනු ඒකාන්ත ය.

නවම් පුර පසළොස්වක

පෙබරවාරි 04 සෙනසුරාදා අ.භා. 09.31 න් පුර පසළොස්වක ලබා
05 ඉරිදා අ.භා. 11.59 න් ගෙවේ.
05 ඉරිදා. සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 05

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

Full Moonඅමාවක

පෙබරවාරි 19

First Quarterපුර අටවක

පෙබරවාරි 27

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]