Print this Article


සියනෑ හාපිටිගම් දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබන කරපික්කඩ ජිනරතන නාහිමි

සියනෑ හාපිටිගම් දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබන

කරපික්කඩ ජිනරතන නාහිමි

අක්තපත්‍ර ප්‍රදානෝත්සවය මෙම මස 17 වැනි දින පස්වරු මහනුවර මල්වතු මහා විහාරයීය ඓතිහාසික රාජ පූජිත මංගල උපෝසථාගාරයේදී සිදු කෙරෙන අතර පිළිගැනීමේ උත්සවය මේ මස 18 වැනි දින පස්වරු 2.30ට ගම්පහ අස්ගිරි පුරාණ රාජමහා විහාරයේ දී සිදු කිරීමට නියමිත ය.

ඒ කල ශ්‍රී ධර්ම විජයාරාම විහාරාධිපති හා මිනුවන්ගොඩ ගම්පහ අස්ගිරිය පුරාණ ගල්ලෙන් රාජමහා විහාරාධිකාරි ශාස්ත්‍රවේදී ප්‍රවීණාචාර්ය කරපික්කඩ ජිනරතන මාහිමිපාණන් වහන්සේ වෙත සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍ර වර ප්‍රමුඛ සානුනායක ගරුතර කාරක මහා සංඝ සභාව විසින් “ප්‍රවචන කීර්ති ශ්‍රී ධම්මපාල” යන ගෞරව නාම සම්මුතිය සහිත සියනෑ හාපිටිගම් දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත.

ඒ පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය මෙම මස 17 වැනි දින පස්වරු මහනුවර මල්වතු මහා විහාරීය ඓතිහාසික රාජ පූජිත මංගල උපෝසථාගාරයේ දී සිදු කෙරෙන අතර පිළිගැනීමේ උත්සවය මේ මස 18 වැනි දින පස්වරු 2.30ට මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක සාහිත්‍ය චක්‍රවර්තී ශාස්ත්‍රපති කැලණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ යක්කල දේශීය ආයුර්වේද විශ්ව විද්‍යාලයේ කුලපති සද්ධම්ම ජෝතික ධජ ධර්ම කීර්ති ශ්‍රී සංඝරක්ඛිත නියංගොඩ විජිතසිරි අභිධාන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ගම්පහ අස්ගිරි පුරාණ රාජමහා විහාරයේ දී සිදු කිරීමට නියමිත ය.

අප නාහිමියෝ කඩවත් කෝරළයේ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කරපික්කඩ ග්‍රාමයේ ජන්ම ලාභය ලැබීය. 1970.08.17 දින ඓතිහාසික ඉසින්බැස්සගල පුරාණ විහාරයේ දී මහකුඹුක්ගොල්ලෑවේ ගුණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් කරපික්කඩ ජිනරතන නමින් පැවිදි බිමට එක්විය. කලක් ගුරු හිමිගේ සෙවණේ ශතක පොත,් පිරුවානා පොත් වහන්සේ ඇතුළු පොත පත හදාළ ජිනරතන හිමිගේ පිරිවෙන් අධ්‍යාපනයේ මූලික ආයතනය වූයේ මාතලේ ශ්‍රී ධර්මරාජ පිරිවෙනයි.

එම කාලයේ එහි වැඩ විසූ ව්‍යක්ත විශාරද ධර්මධර, විනයධර බහුශ්‍රැත යතීන්ද්‍රයන් වහන්සේලා කිහිප නමකගේ ඇසුර ලබන්නට ජිනරතන හිමිට වාසනාව ලැබිණි.

වර්ෂ 1975 දී උසස් අධ්‍යාපනය සඳහා බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ සුප්‍රකට ප්‍රාචීන අධ්‍යාපන ආයතනයක් වන බැණ්ඩියමුල්ල විද්‍යාශේඛර මහ පිරිවෙනට යොමු කෙරිණි. එවක විද්‍යාශේඛර පිරිවෙන් පරිවේණාධිපතිවරයාණන් වහන්සේ වූයේ අපවත් වී වදාළ මහා පෞරුෂ ගුණයෙන් හෙබි රබ්බිඩිගල අනෝමදස්සි මාහිමිපාණෝ ය. විහාරාධිපතිත්වය හා පරිවේණාධ්‍යක්ෂ ධුරය හොබවා වදාළේ මීට අවුරුදු 30කට ආසන්න කලකට පෙර අපවත්වී වදාළ රබ්බිඩිගල රතනසාර හිමිපාණෝ ය.

අධ්‍යාපන කටයුතු ක්‍රමයෙන් සිදු කර ගනිමින් බාහිර උපාධිධාරින් වහන්සේ නමක් වූ අතර රත්මලානේ භික්ෂු පුහුණු අභ්‍යාස ආයතනයේ “ප්‍රවීණාචාර්ය” උපාධිය ද සමත් වීමෙන් පසු අතිගරු පරිවේණාධ්‍යක්ෂ හා පරිවේණාධිපති මාහිමි වහන්සේලාගේ ඒකමතික තීරණය පරිදි පිරිවෙන් ආචාර්යභවතෙක් බවට පත්වූහ. කෙසේ වුවත් සුදුසු කලවයසින් හා දැන උගත්කම්වලින් පිරුණු ජිනරතන සාමණේර නම පිළිබඳ සිය ගුරුදේව මහකුඹුක්ගොල්ලෑවේ ගුණරතන මාහිමිපාණන්ගේ ආචාර්යත්වයෙන් වර්ෂ 1981දී පමණ ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ රාජ පූජිත මංගල උපෝසථාගාරයේ දී අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටියහ.

බැණ්ඩියමුල්ල විද්‍යාශේඛර පිරිවෙන් විහාරයේ මූලස්ථානය වූ ගම්පහ අස්ගිරියේ පුරාණ ගල්ලෙන් රාජමහා විහාරයේ භාරකාරත්වය දරමින් සිටි යාලේගම විජිතවංශ හිමිපාණන්ගේ අපවත් වීමෙන් පසු 1983දී පමණ එහි වගකීම් භාරය කරපික්කඩ ජිනරතන හිමිපාණන් වෙත පැවරූහ.

තමා වෙත පවරන ලද වගකීම් පිළිබඳ විශ්වාසය තහවුරු කිරීමට ජිනරතන හිමියන්ට වැඩි කලක් ගත නොවුණි. භෞතිකමය හා මානව යන අංශ දෙකෙන්ම අතිශය දුබල වී තිබූ වටපිටාව ඉතා ශීඝ්‍රයෙන් ගොඩනැඟෙන්නට විය. අපේ ජිනරතන හිමිගේ පැවිදි දිවියේ තිබූ උදාරතර ගුණය මෙතනැදී ද ඉස්මතු වන්නට විය. ඒ තමා හෙවණ ලබන තැනට යමක් කළ යුතු ය. තමාගෙන් යමක් විය යුතුය යන සංකල්පයයි .

විහාරයක ජීවමාන බව ඇතිවන්නේ සුදුසු භික්ෂුවක් එහි වැඩ සිටීමෙන් පමණි. අස්ගිරි පුරාණ විහාරයේ වසර කීපයක් තිස්සේ පැවති අරාජික බව නිසා විහාරයෙන් දායක පින්වතුන්ට යම් සේවාවක් නොවූ හෙයින් දායක පින්වතුන් වෙනත් වෙහෙර විහාර වෙත පියමං කර තිබුණි. එහෙත් අස්ගිරි පුරාණ විහාරයට ජිනරතන හිමිගේ ආගමනයෙන් පිබිදීමට පත්වූ දායක දායිකාවෝ සිය ඓතිහාසික පුරාණ වෙහෙරේ දායකත්වය ක්‍රමයෙන් සනිටුහන් කර ගන්නට පටන් ගත්හ. ජරාවාස වී තිබූ අස්ගිරි විහාරයේ කඳුපියසේ පැවති පුදබිම් පරිශ්‍රය ක්‍රමයෙන් සැකසිණි. අක්‍රමවත්ව තිබූ පියගැටපෙළ අත්වැට සහිත විදුලි පහන් කණු ආදිය ක්‍රමවත් විය. දිරාපත්ව පැවති දානශාලාව, සංඝාවාසය ප්‍රතිසංස්කරණය කළා සේ ම අභිනව දාන ශාලාව සහිත සංඝාවාසය ඉදි විය. අනාගත දරු පරපුරට දහම් අධ්‍යාපනය ලබාදීමට අවශ්‍ය දහම් පාසල් ගොඩනැඟිල්ලක් මහල් 3ක් සහිතව සැකසිණි. ඓතිහාසික පුදබිමේ ප්‍රෞඪත්වය තහවුරු කරමින් වාහල්කඩ හා පවුරු ප්‍රාකාර ඉදිවිය.

විහාරස්ථානයේ පුදබිම පරිශ්‍රයට පියමං කරන පියගැටපෙළට දකුණු පස පෙදෙස ද බෝපත් සෙවණින් සිසිලස ලබා දෙන ඉහළ මළුවට යාමට නොහැකි සැදැහැවතුන්ට වැඳ පුදා ගන්නට බෝධින්වහන්සේ නමක් රෝපණය කර දර්ශනීය ලෙස ප්‍රාකාර ආදිය සැකසිණි. මේ බිමේ ඓතිහාසික වටිනාකම තවදුරටත් තහවුරු කිරීමට සිතූ ජිනරතන හිමියන් හා දායක පින්වතුන් තවත් දැවැන්ත කාර්යයක් ඇරඹූහ. ඒ හතළිස් රියන් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කිරීමයි. මේ වන විට එම කාර්යය ද නිමාවට පත් කොට ඇති අතර, ඊට පරිවාරව ඉදිකරමින් පැවති අසූ මහා ශ්‍රාවක ප්‍රතිමාවන්හි ද වැඩ නිම වෙමින් පවතී.

ජිනරතන හිමි අස්ගිරි විහාරයට වැඩම කර වර්ෂ 30ක් ගතවන මේ අවස්ථාව වන විට එහි විහාරාධිපතීන් වහන්සේ කිහිපනමක් යටතේ සිය සේවා සිදු කරගෙන යාමද විශේෂයි. රබ්බිඩිගල රතනසාර මාහිමියන් විසින් මෙම විහාරයේ ආරක්ෂාවට ජිනරතන හිමියන් යෙදවූ අතර අපවත් වීමෙන් පසු රබ්බිඩිගල අනෝමදස්සි මාහිමියන්ද එලෙසම භාර කරන ලදි. උන්වහන්සේ අපවත්වීමෙන් බැණ්ඩියමුල්ල විද්‍යාශේඛර පිරිවෙන් විහාරයේ හා අස්ගිරි පුරාණ විහාරයේ් විහාරාධිපති පදවියට පත්වූ තත් පරිවේණාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත බැලුම්මහර ඉන්දානන්ද මාහිමිපාණන්ද ජිනරතන හිමිගේ එම භාරකාරත්වය එලෙසින්ම පිළිගනිමින් වත්මන් යුගයේද ආශිර්වාද කරති.

ජිනරතන හිමි පැවිදිව උපසම්පදාව සිදු වූයේ මැදවච්චිය ඉසින්බැස්සගල පුරාණ රාජමහා විහාරය කේන්ද්‍ර කරගෙන වුව ද පසුකාලීනව උන්වහන්සේගේ එම ස්ථානයේ තම අයිතීන් සිය පැවිදි සහෝදරයින් වෙත පවරා දීමට ඒකමතිකව තීරණය කළහ. එහෙත් එම විහාර සඟ පරපුර හා පවතින තම හෘදයාංගම සබැඳියාවන් අත්නොහැර අදටත් එලෙසම පවත්වාගෙන යති.

ජිනරතන මාහිමිපාණෝ බප/ගම් විද්‍යාශේඛර පිරිවෙන කේන්ද්‍ර කරගෙන දිගුකලක් පරිවේණාචාර්යවරයෙක් හා නියෝජ්‍ය පරිවේණාධිපතීන් වහන්සේ ලෙස පැවිදි සසුනට ශාස්ත්‍ර දායාදයෙන් මහදර්ථයක් සිදු කළහ. තවත් අතකින් අනුරාධපුර පළාතේ සාමණේර භික්ෂූන් සිය ගණනක් ගම් /විද්‍යාශේඛර පිරිවෙනට පිරිවෙන් අධ්‍යාපනයට යොමු කරමින් පහසුකම් සපයා දුන්හ. විද්‍යාශේඛර පිරිවෙනේ පරිවේණාධිපති මාහිමියන්ට හදවතින්ම ගරු කරමින් විශාල සහයෝගයෙක් ලබා දුන්හ.

ජිනරතන හිමිපාණන් වැනි උතුම් සංඝ පීතෘන් මේ සම්බුද්ධ ශාසනයට සිදු කරන මෙහෙය අප්‍රකට වුවත් අතිශය වැදගත් ය. සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක මාහිමිපාණන් වහන්සේ හා සානුනායක කාරක මහා සංඝ සභාව වෙත පළාත්වාසී නාහිමිපාණන් වහන්සේ එක්ව කළ සාමූහික ඉල්ලීම ඉටුවිය. ඒ අනුව “සියනෑ හාපිටිගම් දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක” පදවිය උන්වහන්සේ වෙත පත් කොට වදාළහ.

ඒ අනුව එළඹෙන මෙම මස 19 වැනි දිනට උන්වහන්සේ උපතින් 66 වන වියට පා තබති. එයද සිහිවටනයක් කර ගනිමින් 17 හා 18 දිනවල උක්ත නායක පදවි ප්‍රාප්ති උත්සවයත්, අස්ගිරි පුරාණ විහාරයේ ඉදිකළ හතළිස් රියන් සමාධි ප්‍රතිමා වහන්සේ හා අසූ මහා ශ්‍රාවක ප්‍රතිමා පරිශ්‍රය විවෘත කිරීමත් සිදු කිරීමට විහාරස්ථ දායක පින්වතුන් ඇතුළු ශිෂ්‍ය පිරිස සූදානම් වෙති. එසේම 19 දින ලේ දන්දීම ඇතුළු තවත් සමාජ සත්කාර රැසක් හා ආගමික වතාවත් රැසක් සිදු කොට මේ උතුම් සංඝ පීතෘන් වහන්සේගේ උතුම් පැවිදි දිවියට ආශිර්වාද කිරීමට නියමිත ය. අපේ පූජනීය කරපික්කඩ ජිනරතන අභිනව නාහිමිපාණන් වහන්සේට නිදුක් නීරෝගි සම්පත් හා චිර ජීවන සම්පත් උදාවේවා.