ජීවිත පරිත්‍යාගයෙන් මව්බිම ජයගෙන
කෙලෙස් යුද්ධය ජයගත් කලණ මිතුරා
පොල්ගහවෙල
මහමෙව්නා භාවනා අසපු සංචිතයේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
එදා උතුම් මහරහතන් වහන්සේගෙන් පිරී පැවතුණ මේ දීපයට වරින් වර මිසදිටු ගත් දෙමළ
රජවරුන්ගේ ආක්‍රමණවලට මුහුණ දෙන්නට සිදු වුණා. අටලෝ දහමින් කම්පා නොවන උන්වහන්සේ
ඔවුන් විසින් දාගැබ්වලට, බෝධීන් වහන්සේට කරන විනාශයන් දකිමින් කම්පා නොවී
උපේක්ෂාවෙන් යුතුව වැඩ සිටියා.
ලංකාදීපයේ පරසතුරු කටුකොහොල් ඉවත් කරලා බුදු සසුන බබළවන දුටුගැමුණු නමින් මහා
පින්වන්ත රජෙක් පහළ වුණා. දස මහා යෝධයන් පිරිවර කොට සිටි දුටුගැමුණු මහරජතුමා
ද්‍රවිඩයන් පරාජයට පත් කරමින් බුදු සසුන බැබළවූවා.
එදා දුටුගැමුණු මහරජතුමා සමඟ එක්වී නොපැරදෙන මහා යුද්ධ විසි අටක් කරමින් යම් මහා
යෝධයෙක් ජීවිත පරිත්‍යාගයෙන් වෙන් නොවී එකට සිටියා ද පසුව තනිවම කෙලෙස් සතුරන් සමඟ
යුද්ධ කරමින් ජය ලබා ගත්, ලංකාවේ පහළ වුණු යෝධ සිංහල මහරහතන් වහන්සේනමක් ගැනයි අද
ඔබට සිත පහදවා ගන්නට ලැබෙන්නේ. ඒ, ථේරපුත්තාභය මහරහතන් වහන්සේ ගැනයි.
වයස අවුරුදු දහය දොළහ වෙද්දී ඒ දරුවා මහා බලසම්පන්න වුණා.
අවුරුදු දහසය වෙද්දී ඔහුගේ පියා ඔහුට ලොකු මුගුරක් සාදවා දුන්නා. ඒ විශාල මුගුරෙන්
තල් ගස්, පොල් ගස්වල කඳට ගහලා බිම හෙළනවා. ඒ නිසා ම, ‘අභය යෝධයා’ කියා ප්‍රසිද්ධ
වුණා. අභය යෝධයාගේ පියා මහාසුම්ම මහරහතන් වහන්සේගෙන් බණ අසා ගිහි ගෙය කළකිරී බුදු
සසුනේ පැවිදි වුණා.
‘මාගේ පුතණුවන් අස්ථානයේ නොනසිත්වා’ යි සිතා කැඳවාගෙන ගොස් ඔහු ද මහණ කළා. නොබෝ
දවසකින් ම පියාණන් රහත් භාවයට පත් වුණා. එසේ හෙයින් උන්වහන්සේගේ පුත් වූ අභය
සාමණේරයන් ‘ථේරපුත්තාභය’ නමින් ප්‍රසිද්ධ වුණා.
මේ කාලය වන විට ද්‍රවිඩයන් ලංකාද්වීපයේ බෝධීන් වහන්සේ කපා දමනවා. දාගැබ් පිළිම ආදිය
සිඳ බිඳ නසනවා. සංඝයා වහන්සේ පීඩාවට පත් කරනවා. ගම් සියල්ල නැසී නොගම්ව ගියා. මේ
විනාශය දුටු ථේරපුත්තාභය සාමණේරයන් වහන්සේ මෙසේ සිතූ සේක.
‘අප බුදුහු දීපංකර බුදුන් සමයෙහි තමන් වහන්සේට හස්තප්‍රාප්තව තිබූ නිර්වාණ
සම්පත්තිය හැර සසර දුක් ගන්නා සියලු සත්වයන් කෙරෙහි පතළ මහා කරුණාවෙන් සසරට වැද
පාරමී දම් පුරා ලොව්තුරා බුදු ව සූවිසි අසංඛ්‍යෙයක් සත්වයන් සසර දුකෙන් නිදහස් කළ
සේක. එසේ ම මම ද දුටුගැමුණු රජ්ජුරුවන්ට සහාය දී බුද්ධ ශාසනය ආරක්ෂා කොට දැන් සේ ම
මහණ වී අත්‍යන්ත නිර්මල ශීලයෙහි පිහිටා නිර්වාණ සම්පත්තිය සිද්ධ කොට ගනිමි.’ මෙසේ
සිතා සිවුරු හැර ගෝඨයිම්බර යෝධයාගේ සහය ඇතිව රජ්ජුරුවන් ළඟට ගොස් පෙනී සිටියා.
රජතුමා බොහෝ සතුටුව ඉන්ට සිටින්නට තැන් සලස්වා තමන් සමීපයෙහි තබා ගත්තා. පසුව
දුටුගැමුණු රජතුමා හා එක්ව ගොස් මහ මුගුරක් ගෙන ද්‍රවිඩයන් සමග සටන් කරමින් ඔවුන්
පරාජය කොට මුළු ලක්දිව එක්සේසත් කොට දී ලෝ සසුන් බබළවා අනුරාධපුරයේ විසුවා. පසුව
රජ්ජුරුවන් විසින් දස මහා යෝධයන්ට තනතුරු දෙන දවසේ මෙකී ථේරපුත්තාභය යෝධයාණෝ තනතුරු
භාර ගත්තේ නැහැ.
“කුමක් පිණිස නොගන්නේ දැ?”යි විචාළ කල්හි “දේවයන් වහන්ස, යුද්ධයක් තියෙනවා නොවැ.”
කියලා පිළිතුරු දුන්නා. “රාජ්‍ය එක්සේසත් කරන්ට යුද්ධයක් කළාට පස්සේ තවත් තියෙන
යුද්ධය කුමක් ද?” “දේවයන් වහන්ස, ජය ගන්ට ඉතා අසීරු වූ මේ කෙලෙස් සතුරන් එක්ක තියෙන
යුද්ධෙත් කරන්නට ඕනෑ. කෙලෙස් සතුරන් හා සමාන සතුරු කෙනෙක් නැත. ඒ සතුරන් පරදවන්ට
පැවිදි වීමට අවසර දුන මැනවැ”යි කියා රජ්ජුරුවන්ගෙන් අවසර ඉල්ලාගෙන පැවිදි බව ලබා
අප්‍රමාදීව සමථ විදර්ශනා වඩා සිව් පිළිසිඹියාපත් රහත් බවට පැමිණ පන්සියයක් රහතන්
වහන්සේ පිරිවරාගත් සේක.
ථේරපුත්තාභය මහරහතන් වහන්සේ ගිහි කාලයේ මුගුරක් ගෙන සතුරන් නසා දැම්මාටත් වඩා වැඩි
වේගයෙන් පිරූ පින් ඇති උන්වහන්සේ ප්‍රඥාව නමැති මහ මුගුර ගෙන කෙලෙස් සතුරන් නසා
දැමූ සේක. මේ ලක්දිව හිරු සඳු සේ ප්‍රසිද්ධ වූ සේක.
අපගේ දුටුගැමුණු මහ රජ්ජුරුවෝ මාරාන්තික රෝගයකින් ගිලන් බවට පත් වුණා. රජ්ජුරුවන්ව
දෝලාවක සතපවාගෙන මහාසෑය ළඟට වැඩමවාගෙන විත් දෝලාවෙන් ම මහසෑය පැදකුණු කළා. පසුව
දකුණු දොරටුව අසල බිම අතුරන ලද සයනයක සැතපෙව්වා. අපගේ රජ්ජුරුවන්ගේ අසනීප තත්ත්වය
ගැන අසන්නට ලැබූ ථේරපුත්තාභය මහරහතන් වහන්සේ ගැන සිතුවා.
‘මං එදා නොපැරදෙන මහා යුද්ධ විසි අටක් කරද්දී යම් මහා යෝධයෙක් වෙන් නොවී මාත් සමඟ
ජීවිත පරිත්‍යාගයෙන් එකට සිටියා, ද මරණය සමග යුද්ධ කරන වෙලාවේ මං පරදින බව දැකලා
වෙන්ට ඇති දැන් අපගේ ථේරපුත්තාභය තෙරුන් වහන්සේ මං ළඟට එන්නේ නැත්තේ.’
කිරිඳී ඔය ඉස්මත්තේ පංජලී පර්වතයේ වැඩ සිටි ථේරපුත්තාභය රහතන් වහන්සේ රජ්ජුරුවෝ
සිතපු අදහස දැකලා පන්සියයක් රහතන් වහන්සේ සමඟ ඍද්ධි බලයෙන් අහසින් ඇවිත් අපගේ
දුටුගැමුණු රජතුමා වටකරගෙන සිට ගත්තා. උන්වහන්සේ දැකලා මහත් සතුටට පත් රජතුමා තමන්
ඉදිරියේ ම වඩා හිඳුවාගෙන “ස්වාමීනී, ඒ කාලයේ යුද්ධෙට ගිහින් අපි හැමෝම එකට යුද්ධ
කළා. දැන් මං තනියම මාරයා සමග යුද්ධයක යෙදිලා ඉන්නවා. මාරයා නැමැති සතුරා පරාජය
කරන්නට බැරි බව පේනවා.” යැයි කියා සිටියා. එතකොට ථේරපුත්තාභය මහරහතන් වහන්සේ මෙහෙම
වදාළා.
“මහ රජ්ජුරුවනි, භය වෙන්ට එපා! කෙලෙස් සතුරන් පරදවන්නේ නැතුව මාරයා නැමැති සතුරා
පරදවන්නට බැහැ. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සංස්කාරයන්ට අයිති හැම දෙයක්මත් තමාගේ
වසඟයේ පවත්වන්නට බැහැ. බිඳීලා යනවා. අපගේ ශාස්තෘන් වහන්සේ සියලු සංස්කාරයන්
අනිත්‍යයයි කියා වදාළේ මේ නිසයි.
මේ අනිත්‍ය ස්වභාවය බුදුරජාණන් වහන්සේ වෙතත් පැමිණුනා. ඒ නිසා මේ සංස්කාරයන්
අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියා සිතනු මැනව. ඔබතුමා මේ මනුලොව සිටිය දී බොහෝ පින්
කර ගත්තා. ඔබතුමා විසින් ලංකා රාජ්‍ය එක් ඡත්‍රයක් යටතට ගත්තේ බුද්ධ ශාසනය බැබළවීම
පිණිස ම යි. මහා පුණ්‍යවන්තයාණෙනි, රජ වූ දවසේ ඔබ විසින් කරන ලද පින් සිහි කළ මැනව.
එහි සැප විපාක ඔබතුමාට වහා ම ලැබේවි.”
මහරහතන් වහන්සේගේ වචනය අහලා රජතුමා ඉතාමත් සතුටු සිතකින් යුක්ත වුණා.
“ස්වාමීනී, ඔබ වහන්සේ මට මේ මාරයා සමඟ වන යුද්ධයේදීත් බොහෝ උපකාර වුණා” කියලා
උන්වහන්සේට පැවසුවා.
සතුටින් සිටින දුටුගැමුණු රජතුමා පින්පොත ගෙන්වාගෙන එය කියවන්න කිව්වා. එය අසාගෙන
සිටි රජතුමා මෙහෙම කිව්වා. “ඉසුරු සම්පත් මත පිහිටාගෙන කළ පින්කම්වලට වඩා මා ඉතා
දුකට පත් වී සිටි අවස්ථාවේ දිවි පරදුවට තබා පූජා කර ගත් දාන දෙක නම් මතක් වෙද්දි
හිත පිනා යනවා.”
එය ඇසූ ථේරපුත්තාභය මහරහතන් වහන්සේ ‘ඒ දාන දෙක ගැන ම හිත පහදවන්ට ඕනෑ ය’ යන අදහසින්
දුෂ්කර අවස්ථාවේ දුන් දානය ගැන ම වර්ණනා කළා. මෙසේ වදාළ ථේරපුත්තාභය රහතන් වහන්සේ
රජ්ජුරුවන්ගේ සිත සතුටට පත් කළා. ඉන් පසුව සංඝයා වහන්සේ සූත්‍ර සජ්ඣායනා කරන්ට පටන්
ගත්තා. දේවතාවෝ දෙව්ලෝක හයෙන් ම දිව්‍ය රථ එවා තිබුණා. සෑම දිව්‍ය ලෝකයකින් ම කතා
කරන්නට පටන් ගත්තා. ඉන් පසු රජතුමා ථේරපුත්තාභය මහරහතන් වහන්සේගෙන් මෙය ඇසුවා.
“ස්වාමීනී, කොයි දිව්‍ය ලෝකය ද වඩාත් මනරම්?” “රජ්ජුරුවෙනි, සත්පුරුෂයන්ගේ සම්මතය
අනුව තුසිත දෙව්ලොව තමයි මනරම්. අපගේ මෛතී‍්‍ර බෝධිසත්වයන් වහන්සේත් වැඩ ඉන්නේ
තුසිත පුරයේ. “අපගේ ථේරපුත්තාභය මහරහතන් වහන්සේගේ වචනය ඇසූ දුටුගැමුණු රජතුමා
මහාථූපය දෙස බලාගෙන වැතිරී සිටිය දී ම දෑස් පියාගත්තා. මිනිස් ලොවෙන් චුත වූ කෙණෙහි
ම තුසිත දෙව්ලොවින් පැමිණි දිව්‍ය රථයෙහි ඕපපාතිකව දෙව් රජෙක්ව උපන්නා.
මෙසේ ථේරපුත්තාභය මහරහතන් වහන්සේ අවසාන මොහොතේදීත් දුටුගැමුණු මහරජතුමාට බොහෝ
උපකාරී වුණා.
|