Print this Article


දුකට වගකිවයුතු තමන් ම ය

දුකට වගකිවයුතු තමන් ම ය

මිනිස් සමාජය විස්මය. දැක්මෙන් දැකුමෙන් සේ ම අදහස් සිතිවිලි අතින් ද, ඒ වෙනස දක්නට ලැබෙයි. නිවුන් සොයුරන් දෙදෙනකු තුළ වුව චරිත ලක්ෂණ සමාන නොවෙයි.

කෙනෙක් තුළ වූ පි‍්‍රයශීලී බව තව කෙනකුගෙන් දක්නට නොලැබෙයි. මටසිලිටු කරුණාබරිත හෘදයාංගම වදන හැමවිට හැම තැනදීම දෙසවන නොවැකෙයි. සිටුවරු බඳු ධනයෙන් සම්පතින් ආඪ්‍ය වූවෝ ද එදාවේල සරිකර ගත නොහැකිව මහ මඟ යදින්නෝ ද, කොතරම් අගහිඟතා තිබුණ ද අතපෑමට ලජ්ජාවෙන් කිසිවක් කිසිවකුගෙන් නොඉල්ලා දුක්ගිනි උහුලා දිවි සරිකර ගන්නෝ ද සමාජයේ වෙති. දැකුම්කලු, නෙත් සිත් පැහැර ගන්නා රූප සොබාවෙන් යුතු වූවෝ ද, කන්කලු නදින් කර්ණරසායන හඬින් කවියෙන්, ගීතයෙන් මිනිස් සිත සන්තර්පණයේ බුහුටිවූවෝ අඩු වැඩි වශයෙන් සමාජයේ වෙති.

මෙනයින් බලන කල්හි සමාජ විවිධත්වය ප්‍රතිභාපූර්ණ සිත්තරකුගේ වෛවර්ණ සිතුවමක් බඳු වෙයි.

සැඩ සුළඟකට හසුව නිවීයන පහන්සිලක් සේ ගහක් ගලක් මෙන් හොඳට සිටි කෙනකු හිටි හැටියේ ම අනතුරකින් හෝ වෙනත් ආබාධයකින් මරණයට පත් වීමට පුළුවන. එකට රාත්‍රී භෝජනය ගෙන සුව සේ නින්දට ගිය තැනැත්තා යළි නොනැඟිට මරු වැළඳ ගනියි. ව්‍යාධියකින් හෝ අනතුරකින්, විෂ ඝෝර සර්පයකුට චණ්ඩ අලි, කොටි, වලස්, ව්‍යාඝ්‍රයකුට බිලිවීමෙන් හෝ ගඟේ මුහුදේ ගිලීමෙන් කඳු පර්වතයකින් වැටීමෙන් කෙනකුගේ මරණය සිදු වීමට පුළුවන. මෙබඳු ආකාරයේ කිසිදු උවදුරකට ගොදුරු නොවී සුවපහසුව දීර්ඝායුෂ වින්දනය කරන්නෝ ද සමාජයේ වෙති. උපන් දා පටන් විවිධ රෝගාබාධවලට ලක්ව දුක්ඛිතව දිවි ගෙවන්නෝ ද සමාජයේ විරල නොවෙති. ධනයෙන්, බලයෙන්, රූපයෙන්, උගත්කම්වලින් මෙන්ම නිරෝගී දිවියෙන් ද නොඅඩුවූවෝ සමාජයේ වෙසෙති.

ධනය, බලය, රූපය, උගත්කම හා නිලය අනුව මිනිස් සමාජයේ මිනිසා වෙනස් වීමට වර්ගීකරණයකට ලක්වෙයි.

සත්ව ලෝකයේ තිරිසන් සතා ද සැප දුක භුක්ති විඳීම වෙනස් ය. මිනිසුනට වැඩියෙන් තිරිසන්ගතියට වැටුණෝ බෙහෙවින්ම දුක් විඳිති. දුක, වේදනාව, පිපාසය, කුසගින්න කිසිවකුට කියාපෑමට ඔවුනට අවකාශ නොමැත.

තණ්ඩලේ දෙන්න දෙපොළේ දක්කනවා
කටුකැලේ ගාල නොලිහා වධ දෙනවා
හපුතලේ කන්ද දැකලා බඩ දනවා
පව්කළ ගොනෝ ඇදපන් හපුතල් යනවා

ගැල බැඳි ගවයාට තම හාම්පුතාගේ උපකාර - අපකාර මත දිවි ගෙවීමට සිදුවෙයි. කුසගිනි පිපාසය ඉවසා බර දැමූ ගැල ඇදීමට සිදුවෙයි. සාගිනි පිපාසය පමණක් නොව ගැල නොඇදි කල හාම්පුතාගෙන් වදින කෙවිටේ පහර ද දුක සේ ඉවසා දරා ගැනීමට සිදුවෙයි. ගැල නොලිහා විඳීමට වන දුක ද කවියේ සඳහන් කරයි.

එසේ තිබියදී කිනිතුල්ලන්, මැක්කන් ආදිහු ගවරුධිරය උරාබොමින් සිරුර වඩිති. මේ සා දුකට, තැවුලට පත් වීමට සිදු වූයේ කවර කරුණක් නිසාද? බොහෝ විට ගවයාට මෙතරම් දුක් කන්දක් උහුලා අවසානයේ මස් මඩුවේ ම්ලේච්ඡ වධ හිංසාවනට බඳුන්ව මහා අඳෙීනාවකින් ඛේදවාචකයින් ගව දිවියෙන් සමුගැනීමට සිදුවෙයි.

ධනයෙන්, ගුණයෙන් ආඪ්‍ය පවුලක කාගේත් ඇලීම බැලීම සෙනෙහස ලැබ සැපට හැදෙන සුනඛ සුරතලාගේ තත්ත්වය මෙයට ඉඳුරාම වෙනස් වෙයි.

මිනිසුන් අතර වුව ඇස, කන, නාසාදි ඉඳුරන් නිසි පරිදි ක්‍රියා නොකරන්නෝ කෙතෙක්ද? පොතක් පතක් කියන්නට, ආලෝකය දැක ගන්නට බුදුරුව, දාගැබ දැක පහන්සිත් ඇතිකර ගන්නට වරම් නොලද්දෝ සමාජයේ වෙති.

දෑත් එක්කොට වැඳ සාධුකාරයක් දෙන්නට බැඳී ඇත්තෝ ද සමාජයේ ඇත. දේශ දේශාන්තර - ජාත්‍යන්තර ධාවන තරග ජය ගන්නට සමත් වූවන් මෙන්ම, පියවරක් දෙකක් ඇවිද ගන්නට නොහැකි වූවෝ ද අප අතර වෙති.

මහා පඬිවරු, මහා වියතුන් ඇති ලොව තුළම නැණ නුවණ මෝරා නොගිය, කියන දේ තබා එදිනෙදා වැඩකටයුතු පවා කර කියා ගත නොහැකි අය ද, වදනක් හෝ තෙපළිය නොහැකි ගොළු වූවෝ ද අප අතර ම ය. මෙයින් බලන කල්හි සමාජ විවිධත්වය මොනවට විද්‍යමාන වෙයි.

දවසක් ලෝකනාතෝත්මයාණන් වහන්සේ වැඩවසන සමයේ සුබ නම් තරුණ පුතෙක් අරබයා සිදු කළ කමනීය විවරණය බලමු.

එකල දඹදිව ධනයෙන් බලයෙන් වැඩුණු, පසු හත් කෝටියක ධනයකට උරුමකම් කියූ බමුණෙක් විසුවේ ය. නමින් තෝදෙය්‍ය නම් වූ හෙතෙම දැඩි මසුරෙකි. කෑමට, බීමට, හැඳ පැළඳීමට වුව නිසි පරිදි විය පැහැදම් නොකළේ සුළු වියදමකින් පවා තම ධනය වැය වේ යන අදහසිනි.

නුග ගස මහත් වුවත් නුග ඵලය කුඩා වන්නා සේ සම්පත් බොහෝ වුවත් අදහසින් හීන මේ මසුරු බමුණා මසුරුකමින් පොදි බැඳගත් මහා ධනස්කන්ධය හැරපියා මියගොස් සිටු මැදුරේම සුනඛ පෝතකයකු ව උප්පත්තිය ලැබුවේ ය. මේ තෝදෙය්‍ය බමුණාගේ පුතණුවෝ සුබ මානවකයාණෝ ය.

පියාගේ වියෝවෙන් පසු සිටු ගෙදර බැල්ලියක බලු පැටවකු ප්‍රසූත කළා ය. සුබ තරුණයා මේ බලුපැටවාට අසීමිතව ආදරය කළේ ය. ළෙන්ගතුකම් පෑවේ ය. සුබ මාණවක තෙමේ සිටු මැදුරේ නොමැති අවස්ථාවක බුදුරදුහු සිටුනිවසට වැඩම කළ සේක් සුබ මාණවකයාගේ දෙලෝ හිතවැඩ අත්කරදීම පිණිස ය.

ඈත දුරතියා බුදුන් වහන්සේ සිටුමාලිගාවට වැඩම කරන ආකාරය නෙත ගැටුණු පෙරකී සුනඛයා බුර බුරා බුදුරදුන් පෙරමඟට දිව ආවේ ය.

"තෝදෙය්‍ය සුනඛය නුඹ මිනිසකුව සිටියදීත් මට වෛරයෙන් දොස් කීවා. අද තිරිසන් ගතියට පත්වීත් මට බුරාගෙන පැමිණෙනවා'යි

බුදුරදුන් පවසත්ම බුදුවදන කනවැකුණු සුනඛයා නගුට හකුළුවාගෙන පෙරළා සිටුමැදුරේ මුළුතැන්ගෙට දිවගොස් ලිපේ අළු ගොඩමත ලැග ගත්තේ ය.

සුබ මානවක තෙමේ නැවත සිටුමාලිගාවට සැපවත් වන කල්හි වෙනදා පෙරමඟ බලා සිට ලෙන්ගතු ආචාර සමාචාරපාන සුනඛ සුරතලා නොදැක ඌ ගැන සේවකයින්ගෙන් විමසත්ම බුදුරදුන් සිටුමැදුරට වැඩි බවත්, තෝදෙය්‍ය සිටාණන් නමින් බල්ලාට ඇමතු බවත් කියා සිදු වූ පුවත සුබ මාණවකයාට දන්වා සිටියහ.

ඉන් බලවත් සිත්තැවුලටත්, කෝපයටත් පත් සුබ තරුණයා හනි හනිකට ජේතවනාරාමයට පියමැන්නේ ය. සිත තුළ කැකෑරූ තදබල අප්‍රසාදය නොපෙන්වා බුදුරදුන් වැඳ එකත්පස්ව හිඳ තමන් නොමැති අවස්ථාවේ සිටු මාළිගාවට වැඩියේ දැයි විමසුවේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ

“සුබ මාණවකය, මම ඔබේ මන්දිරයට වැඩම කළෙමි. ඒ අවස්ථාවේ ඔබ එහි නොසිටිය ද ඔබේ මියගිය පියාණන් වූ සිටු නිවසේ බලු පැටවා මට බුරාගෙන පෙර මඟට දිවආවායි” පවසා සිටි සේක.

ඉන් දැඩි ආවේගයටත්, සන්තාපයටත් පත් සුබ තරුණයා, අසූහත් කෝටියක ධනයකට උරුමකම් කියූ මහා සිටුවරයකු වූ මගේ පියාණන්ට මෙලෙස නින්දා කිරීම ගැන, තම බලවත් අප්‍රසාදය දක්වා බුදුරදුන්ගේ එම ප්‍රකාශය කිසිදු අයුරකින් තමන් පිළිනොගන්නා බව ද දන්වා සිටියේ ය.

එවිට බුදුපියාණෝ සුබ කෙරෙහි අනුකම්පාවෙන්

දරුව, තොප ඔය බලුපැටවා කෙරෙහි අසීමිත ළෙන්ගතුකමක් දක්වන්නේ ද, දඹරන් පිඟන් කෝප්පවල කන්නට බොන්නට දී සේවකයන් ලවා නහවා තෙල් පුයර ආදියෙන් ගත සම්බාහනය කරවා සුවපහසු සයනයන්හි සතප වන්නේ ද ඒ පෙර බැඳීම නිසා යැයි පෙන්වා දුන්න ද ඒ කිසිවක් සුභ නම් පිළිගත්තේ නැත.

එසේ නම් සිටු පුත්‍රය මෙය අසව, තොපට පියාණන් ජීවත්ව සිටියදී ලබා නොදුන් වස්තුවක් ඇද්ද? එය මට පවසන්න. ඒවා ලබා ගැනීමට මම ඔබට උපකාර කරන්නෙමි’යි බුදුරදුන් පවසත්ම, සුබ තරුණයා

"අනේ බුදුපියාණෙනි, මැණික් එබ්බවූ බොහෝ වටිනා මිරිවැඩි සඟලත්, ඉඳුනිල් මාණික්‍යයෙන් රඳවා නිම කළ මිල අගය කොතෙක් දැයි පැවසීමට පවා නොහැකි ඉතා අගනා මාලය ද, දඹරන් පාත්‍රයක් ද සිටුගෙයි තිබුණ ද ඒවා මා හට ලැබුණේ නැත. පියතුමා කලුරිය කළපසු ඒවා කොහේදැයි මම නොදනියි. එම අගනා වස්තු සම්භාරය සොයා ගැනීමට මට පිහිටවූව මැනවැ'යි

පවසා බුදු සිරිපා පද්මයෙහි වැඳවැටී සිටියේ ය. ඔබ නිවසට ගොස් ඔබේ සුනඛ සුරතලා නහවා පිරිසුදු කොට වෙනදාට වඩා වැඩි සැලකිලි දක්වා රසවත් අහරින් ඌට සංග්‍රහකර ආදරය දක්වා සුවපහසු ආසනයක නිදාගන්නට සලස්වා නින්දට වැටෙන විට හිස අතගගා ආදරයෙන් පිරිමැද අනේ තාත්තේ මට අයත් වස්තුව, වටිනා මිරිවැඩි සඟල, අම්මා පැළඳූ අගනා මාලය, පරපුරෙන් උරුම රත්රන් පාත්‍රය මාහට දක්වන්නැයි පවසන්න.

මෙය කිහිපවිටත් කිය කියා ඌගේ හිස ආදරයෙන් පිරිමදින්නැයි බුදුරදුහු සුභ මානවකයාට පවසා සිටි සේක. එවිට බලුපැටවාගේ ප්‍රතිචාරයෙන් ඔබේ පියා ඔබට ම හඳුනාගැනීමට මඟ පාදනු ඇතැයිද බුදුපියාණෝ පැවසූහ.

බුදුපියාණන් වහන්සේගේ ඉගැන්වීම පරිදිම ක්‍රියාත්මක වූ සුබ තරුණයා එලෙස කටයුතු කරද්දී පිබිදුණු බලු පැටවා මහත් වූ ළෙන්ගතුකමෙන් මඳවේලාවක් සුබගේ මුහුණ දෙස බලාසිට හනික ආසනයෙන් බැස උද්‍යානය වෙත දිව ගියේ ය. සුබ සේවකයකුත් කැටිව බලුපැටවා පසු පස්සේ ම දිව ගියේ ය. බලුපැටවා උද්‍යානයේ කිහිපවරක් කැරකී තැන් කිහිපයක නැවතී ඒ තැන් පහුරු ගාන්න වූයේ ය.

මේ බලුපැටවා පහුරුගානුයේ වටිනා වස්තු සම්භාරය ඇති තැන් ගැන බව දැනගත් සුබ මානවක තෙමේ සේවකයකු ලවා ඒ තැන් හාරන්නට වූයේ ය. ආශ්චර්යයකි. බුදුරදුන් පැවසූ පරිදිම, ඔහුට අහිමිව පැවති වටිනා වස්තු සම්භාරය සොයාගත හැකිවිය. බුදුරදුන් කෙරෙහි අසීමිත ගෞරවාදරයෙන් යුතුව බුදුපියාණන් නිසා මට මගේ පියා ද, අගනා වස්තුසම්භාරය ද සොයා ගැනීමට හැකි වුණි යැයි ඉමහත් සොම්නසින් යුතුව දන්වා අනතුරුව තවත් විසඳාගත යුතු ප්‍රශ්නාවලියක් ද බුදුරදුන් වෙත ඉදිරිපත් කර සිටියේ ය.

සමාජයේ මිනිසුන් තුළ විවිධත්වයක් ඇත. සමහරු දීර්ඝායුෂ බුක්ති විඳිති. ඇතැමෙක් අල්පායුෂ්ක වෙති. කෙනෙක් වර්ණවත් ය. තවකෙක් දුර්වර්ණය. අල්පාබාධ ඇත්තෝ ද, බොහෝ ආබාධ ඇත්තෝ ද අප අතර වෙති. ඤාණවන්තයෝ ද, ඤාණයෙන් හීනවූවෝ ද දක්නට ලැබෙති. මේ සමාජ විෂමතාවට, වෙනසට හේතු වදාරණ සේක්වා'යි එදා සුබ ඇසූ පැනය අද දවසේ සමාජ විවිධත්වය තේරුම් ගැනීමට අප සැමට මහෝපකාරීවෙයි.

මානවකය, සත්ත්වයන් කර්මය ස්වකීය කොට ඇත. කර්මයම දායාද කරගෙන ඇත. කර්මය උප්පත්ති ස්ථානය කොට ඇත. කර්මය ඥාති කොට ඇත. කර්මය පිළිසරණ කොට ඇති බැවින් කර්මය ම සත්වයා බෙදයි. උස් පහත් බවට පත් කරයි යනුවෙන් බුදුපියාණෝ වදාළ සේක. ප්‍රාණඝාතය කරමින් සත්ත්වයන් කෙරෙහි අකාරුණික වූවෝ අල්පායුෂ්ක දිවියකට ද ප්‍රාණඝාතයෙන් වැළකී සත්වයන් කෙරෙහි හිතානුකම්පීව හැසිරෙන්නේ මරණින් මතු සුගති සම්පත් ලැබ මිනිස් භව ලත් කල්හි දීර්ඝායුෂ භුක්ති විඳින බැව් ද මෙහිදී බුදුපියාණෝ අවධාරණය කළ සේක. එසේම සත්වයන් පෙළා, ක්‍රියා කළවුන්ට එහි විපාකයෙන් බොහෝ ආබාධ ඇති වෙයි. සත්වයන් නොපෙළා සැලකුවෝ මරණින් මතු දෙව්ලෝ සැපත්විඳ මිනිස්භවයට පැමිණි කල්හි අල්පාබාධව උපදියි. කෝපයෙන් ද්වේශයෙන් බැහැරව දිවි ගෙවන්නෝ මරණින් මතු සුගති සැප ලබා මිනිස් ලොව මනුසත් ආත්ම භව ලබා ප්‍රසාද උපදවන පි‍්‍රයශීලී තැනැත්තෝ වෙති. ද්වේශයෙන්, ඊර්ෂ්‍යාවෙන්, කෝපයෙන්, ක්‍රියා කරන්නෝ මරණින් මතු අපාගතව පසුව මිනිස් ලොවට ආ කල දුර්වර්ණ වෙති.

මෙලොව ධන ධාන්‍ය ලබා දිවි ගමන සාර්ථක වීමට මහණ බමුණනට ආහාර වස්ත්‍ර, තෙල් මල් ගන්ධ පිදීම උපකාරවත් වෙයි. එසේ කළ යුතු ඇපඋපකාර පැහැර හැරියෝ අල්පභෝගි වෙති. මෙලොව දිවි ගෙවන අයෙක් හොඳ නරක විමසා දැන කුසල් අකුසල් හඳුනාගෙන අකුසල් බැහැර කොට කුසල වඩවා පණ්ඩිත ඇසුර ලබා දිවිගෙවති. ඔවුහු මිනිස් ආත්මභව ලත් කල්හි ප්‍රඥාව ලැබූ මනු ලොව වැජඹෙති. එසේ පිළිවෙත් නොපිරුවෝ අනෙකාගේ හිත පිණිස ද, සුව පිණිස ද, කටයුතු නොකළෝ මිනිස් භවයේ දී ප්‍රඥාව හීනවැ උපදියි. මෙලෙස බලන කල්හි අප විසින් වැරැදි ලෙස සිත කය වදන මෙහෙයවා කර ගත් අකුසලයන් අප වෙතම පැමිණෙයි.

කරන කලට පව් මීරියමී සේ
විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ
ඇඳින එ පව් දුරලන උපදේසේ
නුදුන මැනවි තුන් දොර අවකාසේ

සත්වයා කෙරෙහි පතළ කරුණාධ්‍යාශයෙන් යුතුව ලෝවැඩ සඟරාව කළ වීදාගම මෛත්‍රිය මහා ස්වාමීපාදයන් වහන්සේ මෙම සතරකවි පදයෙන් පෙන්වා වදාළේ තථාගත මගෙ බුදුපියාණන් වහන්සේගේ “කර්ම විග්‍රහයයි” අනුවණයා පව මෝරා විපාක දෙනතුරු මී මෙන් සලකයි. යම් දවසක පව මෝරා විපාක දෙයිද එවිට ඒ අනුවණයා දුකට පැමිණෙයි. වී වපුරන බීජයේ අස්වැන්න වපුරන්නාටම ලැබෙයි. “යාදිසං වපනේ බීජං තාදිසං හරතේ ඵලං”

යම් තැනැත්තකු කර කියා ගන්නා කුසලාකුසල කර්මයන්හි බලවත් බවද එහි විපාකදීමේ දී බලපායි. කෙනෙකු අතින් සිදුවන බලවත්ම පාපකර්මය නම් ආනන්තරීය පාප කර්මයි. මව් මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුරජාණන් වහන්සේගේ ලේ සෙලවීම, සංඝයා භේද කිරීම යන පංචාන්තරීය කර්ම නියත ලෙස දෙවන ආත්මභවය අපායෝත්පත්තිය පිණිස හේතුවෙයි. කර්මය විපාක දෙන කාලය අනුව සතරාකාර වෙයි. මෙලොවදීම විපාකදෙන කුසලකර්ම හා අකුසල කර්ම දිට්ඨධම්මවේදනීය කර්මයයි. දෙවන ජාතියේ දී විපාක දෙන කර්මය උපපජ්ජවේදනීය කර්මයයි. තෙවන ආත්මභාවයේ පටන් නිවන් දකිනා කාලය තෙක් විපාකදීමේ ශක්තිය ඇති කර්ම අපරාපරියවේදනීය නම් වෙයි. කිසිම කලෙක විපාක නොදෙන කර්ම අහෝසි කර්ම නම් වෙයි. දේවදත්ත හාමුදුරුවෝ බුදු රදුනට නොයෙක් ගැහැට සිදුකර ලෝහි තුප්නද ආනන්තරිය පාප කර්මයද කරගත්තෝ ය. පසුව ගයා ශීර්ෂයේ වාසය කරද්දී කෝකාලික නම් තම අනුගාමිකයෝ අතින් පහරකා ලේවමනය දමමින් ගිලන්ව හිඳ අවසානයේ දී බුදුරදුන් දකිනු කැමතිව දෙව්රම් වෙහෙර බලා එද්දී ජේතවනාරාම පොකුණ සමීපයේ දී බිමට බට දෙව් ත් තෙමේ පොළොව පලාගෙන අවිචි මහ නරකයේ උප්පත්තිය ලැබුවේ ය. මෙවන් අයුරින් කළ කර්ඵල දෙන බවට නිදසුන් එමටයැ. බුදුරදුනට බලපෑ පූර්ව කර්ම විපාකද, මහ තෙරවරුනට බලපෑ පෙර කර්මද, බණ පොතේ සඳහන් වෙයි. එදා අපේ මව්වරු, පියවරු වැඩිහිටියන් කුඩා දරුවනට “හය හතර” වශයෙන් කියා දුන්නේ ද මේ කර්ම න්‍යායමයයි. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රේත වත්ටු විමා නවත්ථු තුළින් හෙළ ජන සමාජයට ඉගැන්වුයේ මේ පින්පව් විග්‍රහයයයි. එනිසාම අපේ ඇත්තෝ පින්පව් කර්මය කර්මඵල දැන ධාර්මිකව නිති පන්සිල් පොහොය අටසිල් පිළිවෙතින් දිවි ගෙවූහ. ඔරුව පදින තොටියාද, හේනේ පැල රකින ගොවියාද, පතලේ කම්කරුවාද තම ජීවන ගමනේ සරතැස පාළුව, කාන්සිය මකාගැනීමට මතුළ ජනකවියෙහිද ඉස්මතුවූයේ තුනුරුවන් ගුණය, මව්පිය වන්දනාමය, කර්මය, කර්මඵල විශ්වාසයන්ය.

ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට
කන්නේ කරවලයි රට හාලේ බතට
බොන්නේ බොරදියයි පූරුවෙ කළ පවට
යන්නේ කවදාද මව්පියෝ දකින්නට

“බොන්නේ බොරදියයි පූරුවෙ කළ පවට” “පව් කළ ගොනෝ ඇඳපන් හපුතල් යනවා” යන කම්පා කුළු ගන්වනුයේ බුදුන්වහන්සේ වදාළ කර්මය පිළිබඳ ඉගැන්වීමයි. එහෙත් සියල්ල කර්මයෙන් සිදු නොවන බවත් උතු නියාමය, බීජ නියාමය, ධම්ම නියාමය, චිත්ත නියාමය, කම්ම නියාමය යන නියාම ධර්ම පහ අතුරින් කර්මය එක් කරුණක් පමණක් බවත් බුදු දහම උගන්වයි. සියල්ලට හේතුව කර්මය යන්න බුදුදහම නිෂ්ප්‍රභකරයි. දුගී මිනිසකු දැන උගත් වියත් බමුණෙකුගේ අදහස සිතට ගෙන පළමුව මී පැණිත් විකුණා ලත් මුදල් යොදවා ස්ථානෝචිත ප්‍රඥාව හා උත්සාහය කැටිව ජීවිතය ජයගෙන සිටු තනතුරු ලත් තථාගත පුවත ජාතක පොත් වහන්සේ තුළ එන “චුල්ලසෙට්ඨි” කථාවස්තුව අනාවරණය කරයි. මේ සියල්ල විමසා “කළකම් එනවා අප පසුපස්සේ” යන්න දැන දිවි ගෙවීම කොයිකාගෙත් මෙලොව පරලොව යහපත පිණිසම හේතුවනවා ඇත.

සැමට තුනුරුවන් සරණයි