Print this Article


ජීවිත යාත්‍රාව අවබෝධයෙන් පදවන්න

ජීවිත යාත්‍රාව අවබෝධයෙන් පදවන්න

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

යථාවාරි වහා පූරා – පරිපූරෙන්ති සාගරං
එවමෙව ඉතො දින්නං – පෙතානං උපකප්පති

තුන් ලෝ තලයක් ආලෝකවත් කළ අප ශාන්ති නායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය අනුව අපේ මුතුන් මිත්තන් ජීවිතය හැඩගස්වා ගත්තා. පින්වතුනි, ජීවිතය නමැති රඟමඩලේ රඟ දක්වන්නාවූ නාටක නාටිකාවන් පිරිසක් තමයි, ස්ත්‍රී පක්ෂය. පුරුෂ පක්ෂය කියන්නේ, අට ලෝ දහමට අනුව ගහන බෙර පදයට අනුවයි අප සියලු දෙනාම රඟ දක්වන්නේ. මරණය නමැති තිරය වැහුණදාට සියලුම රඟ දැක්වීම් හමාරයි.

මව්කුස පිළිසිඳ ගන්නා මනුෂ්‍යයා ප්‍රතිසන්ධියට පත්වූයේ, මව්කුස වෙසේද? හෙතෙම අහසට නැඟුණ වලාකුළක් ක්ෂණයක් නොනැවතී යන්නා සේ ම මරණයට අභිමුඛව සයනය කරයි.

මරණය යනු හේතුවක ප්‍රතිඵලයක්

‘හේතු පටිච්ච සම්භූතං – හේතු භංගා නිරුජ්ජති, හටගැනීම, ටික කලක් පැවතීම, විනාශවීම, සවිඤ්ඤාණක, අවිඤ්ඤාණක සියලුම වස්තුන් විනාශවීම යන මේ ලෝක ධර්මතාවට අප සියලු දෙනාට ම යටත් වෙන්න සිද්ධ වෙනවා. අප පවුල්වල කවුරු හෝ මිය පරලොව ගිය ඥාතීන් ඉන්නවා. අප මළ කඳන් දැක තිබෙනවා. පින්වතුනි කෙනෙක් මිය පරලොව ගියාම ධර්මානුකූලව කළ යුතු යුතුකම් ජීවත්ව සිටින ඥාති වර්ගයාට කළ යුතුව තිබෙනවා.

එදා ඈත අතීතයේ අපේ වැඩිහිටි උදවිය අනිත්‍ය දුක්ඛ, අනාත්ම වටහා ගැනීමට සුදුසු පරිසරයක් ඒ නිවෙස තුළ ඇති කළා. ගමේ පන්සලට ගොස් ආරාධනා කළා. දැහැත් වට්ටියේ බුලත් කොළය කණපිට හරවා තමයි දැහැත් සදන්නේ. ගෙදර කැලැන්ඩරය පවා අනිත් පැත්ත හරවනවා. ගමේ වඩුබාස් පෙට්ටිය හැදුවා. කොල්ලෝ කුරුට්ටෝ කැළයට ගොස් වනමල් කුඩා මල්වඩම් හැදුවා. එය පරවෙන විට අනිත්‍ය – දුක්ඛ,අනාත්ම වටහා ගත්තා.

ගස්ලබු ගෙඩිය පළා පහන් දැල්වුවා. දේහය තුළින් නැඟෙන විෂබීජ විනාශ කරනවා පහන් දැල්ලෙන්. පෙට්ටිය යට කහ මිශ්‍ර වතුර බේසමක්, දෙහි ගෙඩියක් පළා එයට දමා විෂබීජ විනාශ කළා. එම ඥාතින්ට බත බුලතින් සංග්‍රහ කළා. රාත්‍රි කාලයේ එළිවෙනතුරු සතිපට්ඨානය සජ්ඣායනා කළා. සුදු කොඩි ඇද්දා. ගොක් කොළ ඇද්දා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම තේරුම් ගැනීමට පරිසරයක් නිර්මාණය කළා.

අවසානයේ පාංශුකූලය දී මරණ ස්වභාවය පිළිබඳ බණ අහලා දුක ශෝකය කනගාටුව තුනීකර ගෙන දේහය මිහිදන් කරනවා. සත් දිනක් යනතුරු නිවැසියන්ගේ තනිය රැක්කා. ඉන් පසුව සත් දින දානය ගොදුරු විහාරස්ථානයට ගොස් ස්වාමින් වහන්සේට ආරාධනා කොට ධර්ම දේශනා දවසේ සවස් භාගයේ පන්සලට ගොස් බෝ මළුව, විහාර මළුව, චෛත්‍ය මළුව ඇමද චතුමධුර සහිත දැහැත්, ගිලන් පස තුන් බෝධියට (උද්දේසික පාරිභෝගක, ශාරිරික) යන බෝධින් වහන්සේලාට සම්බුද්ධ පූජා තබා තමයි ස්වාමින් වහන්සේ වඩමවන්නේ. අද වර්තමානයේ කෝල් එකකින් ආරාධනා කරන යුගයක් උදාවෙලා.

පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා.

යමෙක් මනාව ධර්මය ශ්‍රවණය කළොත් ඒ කුසලයෙන් ඒ පුද්ගලයාට කල්ප නවයක් සංසාරයේ සැප විඳින්නට පුළුවන් වන බවයි.

ඊළඟට යමෙක් ධර්ම දේශනාවක් කරන්නට ආරාධනා කළොත් ඒ ආරාධනා කරපු ඇත්තාට කල්ප අටක් සසර සැප ලබන්නට එම පින උපකාර වන බව. ඒ වගේ පින්වතුනි, යම්කිසි කෙනෙක් තමන් ඇසුව බණක් වෙන කෙනකුට කියා දෙයි නම්, ඔහු එක කල්පයක් තුළ සැප ලබන බවත්, වටහා ගන්නට පුළුවන්.

අනවබෝධයෙන් පින්කම් කළොත් නියම ප්‍රතිඵලය ලබන්නට බැහැ. අනිත්‍ය ප්‍රතිසංයුත්ත ධර්ම දේශනාවට මතක බණ කියලත් කියනවා. යම් මියගිය ඥාතියෙක් අරමුණුූ කරගෙන කරන පින්කම් ප්‍රාප්ති දානම පින්කම්, ධර්ම ශ්‍රවණය කරලා අන් අයට බණ අහන්න මාර්ගය සලස්වා ධර්ම දානමය පිනත් පරිෂ්කාර පූජා කිරීමෙන් ලබන්නා වූ පිනත්, අනුග්‍රහ බුද්ධියෙන් කරන්නාවු සංග්‍රහ ආදිය ලබන්නා වූ පිනත් අනුමෝදන් කළ හැකියි.

වර්තමානයේ සමහර උදවිය ධර්ම දේශනාවෙන් පසුව විනෝදශීලි වන ස්වරූපයක් අපට දකින්න පුළුවන්. සූදුකාරයා, බේබද්දා යන අසත් පුරුෂයින් සහභාගිවීම මළගිය ඥාතියාට කරන අගෞරවයකි. පසුදින හීල් දානය රැගෙන පන්සලට යන්නේ පිටින් ආපු පුද්ගලයෙක්. ගෙදර ඥාතීන් කවුරුත් නැහැ. ආපු පුද්ගලයාත් සම්බුද්ධ පූජාවට සහභාගි වන්නේ නැහැ. දවල් මහා සාංඝික දානමය පින්කමෙන් පසුව පැන් වැඩීම පත්ති පත්තානුමෝදනා , පින් අනුමෝදනා වීම, පින් අනුමෝදන් කිරීම, තුන් සිත පහදවාගෙන යෝනිසෝමනසිකාරයෙන් කළ පින්කම නැවත ආපසු හැරි බලා සතුටු සිතක් උපදවා ගත යුතුයි.

පිරුණා වූ ගංගා ජලය ගොස් මහා සාගරය පුරවත් ද? එපරිද්දෙන්ම මෙලොවින් දෙන පින් මිය පරලොව ගොස් පේ‍්‍රතාත්ම ලැබූ අයට පැමිණෙන්නේ ය.

පින්වතුනි මිය ගිය ඥාතින්, අපේ නෑදෑයෝ අප සිහිපත් කර පින් අනුමෝදන් කරාවි, යන බලාපොරොත්තුව ඇතිව පවුරෙන් පිටත, සතරමන් සන්ධි, ගෘහ සන්ධි, බිත්ති සන්ධි, ආලෝක සන්ධි, තුන්මන් සන්ධියෙහි ඥාති පේ‍්‍රතයෝ පැමිණ සිටිති. පෙර ඥාතිකම් ඇති තම තමන්ගේ ගෙවල්වලට පැමිණ ගෘහද්වාර නගරද්වාරයන්හි ඥාති පේ‍්‍රතයෝ සිටිත්.

මිය පරලොව ගිය ඥාති පේ‍්‍රතයෝ මවුපිය ආදි කිසිවෙක් සිහි නොකරන කල්හි ඥාතීන් විසින් ඥාති පේ‍්‍රතයන් කෙරෙහි අනුකම්පා ඇතිව ශ්‍රමණයන් වහන්සේට කැපසරුප් හෙවත් සුදුසු සියලු පාන භෝජන ආදි දෙය්‍ය ධර්මය පිදු පසු ඥාති පේ‍්‍රතයන් අවුත් තිරොකුඩ්ඩාදියෙහි සිටි කල්හි

ඥාති පේ‍්‍රතයන්ට මේ පින් ලැබේවා'යි පින් අනුමෝදනා කළවිට යමෙක් කරණ කොට ගෙන මේ සම්පත් අප ලබම්මෝ ද ඒ අපගේ නෑයෝ බොහෝ කාලයක් ජීවත්වෙත්වායි ප්‍රාර්ථනා කරති. පරිත්‍යාග කළා වූ ඒ කුසල කර්මය දායකයන්ට ද නිශ්ඵල නොවන්නේ ය.

මේ ලෝකයේ නොයෙක් ධනධාන්‍යාදී වස්තුව බොහොම තිබෙනවා. නමුත් ඒවා සියල්ලම වහා පෙරළෙන සුලුයි. ඒ නිසා ක්ෂණිකයි. ඒ විතරක් නොවෙයි. සත්ත්වයන්ගේ ජීවිතත් ක්ෂණිකයි. ප්‍රඥාවන්ත, බුද්ධිමත් පුද්ගලයා මේ ධනය, ජීවිතය ආදී සියල්ල අනිත්‍ය බව සලකා බලනවා. එහෙම සිතලා තමන්ට හිත සැප පිණිස පවතින කුසල්ම කරනවා. බුද්ධ දේශනාවේ හැටියට අපට ලැබිය හැකි ලැබිය යුතු ප්‍රධාන සැප දෙකක් තියෙනවා. ඒ තමයි. ලෞකික සැප හා ලෝකෝත්තර සැප.

තවත් ක්‍රමයකට කියනවා නම් සසර වසනතුරු ලබන සැප, ඒ වගේම සසරින් එතෙර වී ලබන නිර්වාණ සැපය කියන මේ සැප වර්ග දෙක ඔය සෑම සැපයක් ම දීමනාව නිසා ලබන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ වදාළා. අපිත් අවබෝධයෙන් යුතුව යෝනිසෝමනසිකාරයෙන් පින්කම් කර මේ ඝෝර කටුක සසරින් එතෙර වන්නට උත්සාහ කරමු.