Print this Article


ශාසනික වගකීම් තොරවූ කල ධර්ම විනය ආරක්ෂා නොවේ

ශාසනික වගකීම් තොරවූ කල ධර්ම විනය ආරක්ෂා නොවේ

බුදුරදුන් ජීවමාන සමයෙහි ම සංඝ සමාජයේ සමගිය දෙදරා ගිය සුප්‍රකට අවස්ථා දෙකක් දැකිය හැකි ය. කොසඹෑ නුවර ඝෝෂිතාරාමවාසී භික්ෂූන් වහන්සේ අතර විනය ආපත්තියක් මුල් කරගෙන ඇති වූ මතභේදයේ දී ධර්මධර හා විනයධර වශයෙන් බෙදී ගිය භික්ෂූන් අන්‍යොන්‍ය වශයෙන් විරුද්ධවාදීකම් කරග ත් බව මජ්ක්‍ධිම නිකායේ කෝසම්බිය සූත්‍රයේ සඳහන් වෙයි.

බුදුරදුන් අවවාද කළ ද එයට අවනත නොවූ බැවින් උන්වහන්සේ වනගත කිරීමට තරම් මෙම භේදය උග්‍ර වූ බව සැලකිය යුතු ය. එම භික්ෂු පිරිස බුදුරදුන්ගේ අවවාදය තුන්වැනි වරට ද ප්‍රතික්ෂේප කිරීම ධර්ම සංවේගය දනවන සුවිශේෂී සිද්ධියකි.

ගෘහස්ථ දායකයින් පිණ්ඩපාතය වළකනතුරුම කලහය පැවතිණ. මෙය ස්වකීය ශාස්තෘවරයාට සංඝ සමාජය අවනත නොවූ අවස්ථාවක් ලෙස පෙන්වාදිය හැකි ය.

දේවදත්ත හිමිගේ ඉල්ලීම්

දේවදත්ත තෙරුන් සංඝ භේදය සිදුකිරීමට උත්සාහ කිරීම භික්ෂූන් වහන්සේගේ සමගිය බිඳී ගිය දෙවැනි අවස්ථාවයි. භික්ෂු පිරිස ගේ පරිපාලනය සියතට ගැනීමට කළ උත්සාහය ව්‍යර්ථ වූ කල දෙව්දත් තෙරුන් කෝකාලික සහ සමුද්දදත්ත යන භික්ෂූන් ද කැටිව ගොස් බුදුරදුන්ගෙන් මෙම පංචවරය ඉල්ලා සිටියේ ය.

සාධු භන්තෙ භික්ඛු යාවජීවං අරඤ්ඤතා අස්සු

ස්වාමීනි, භික්ෂුහු දිවිහිමියෙන් අරණ්‍යගත වන්නාහු නම් මැනවි.

යාවජීවං පිණ්ඩපාතතිතිකා අස්සු

දිවි හිමියෙන් පිණ්ඩපාතික වන්නාහු නම් මැනවි.

යාවජීවං පංසුකූලිකා අස්සු

දිවිහිමියෙන් පාංශුකූලික චීවර දරන්නාහු නම් මැනවි.

යාවජීවං රුක්ඛමූලිකා අස්සු

දිවිහිමියෙන් වෘක්ෂ මූලික වන්නාහු නම් මැනවි.

යාවජීවං මච්ඡමංසං න ඛාදෙය්‍යුං

දිවිහිමියෙන් මත්ස්‍ය මාංශ නොවළඳන්නාහු නම් මැනවි.

මෙම කරුණු පසට බුදුරදුන් එකඟ නොවන බව දැන දැනත් දේවදත්ත තෙරුන් එය උන්වහන්සේ ලවා අනුමත කරවා ගැනීමට අදහස් කළේ ය. ඒ සංඝ භේදයට මඟ පාදා ගැනීමක් වශයෙනි. එහෙත් මීට බුදුරදුන් දුන් පිළිතුර මෙසේ විය.

කම් නැත දේවදත්තය, යමෙක් කැමති නම් ආරණ්‍යයක වේවා, යමෙක් කැමති නම් ගම්වල වාසය කෙරේවා, යමෙක් කැමති නම් පිණ්ඩපාතික වේවා, යමෙක් කැමති නම් ආරාධනා ඉවසාවා, යමෙක් කැමති නම් පාංශුකූලික වේවා, යමෙක් කැමති නම් ගෘහස්ථයන් පුදන චීවර ඉවසාවා,

දේවදත්තය මා විසින් අට මසක්හිම රුක් මුල් සෙනසුන් අනුදන්නා ලදී. තමා පිණිස මරණු නොදක්නා ලද, නොඅසන ලද, සැක නොකරන ලද වශයෙන් තුන් අදියරකින් පිරිසුදු වූ මත්ස්‍ය මාංශය අනුදන්නා ලදී.

එකල්හි දේවදත්ත භාග්‍යවතුන් වහන්සේ මෙම පංච වස්තූන් අනුමත නොකරන්නාහි, සතුටු වූයේ ඔද වැඩී ගියේ භාග්‍යවතුන් වහන්සේට අභිවාදනය කොට ප්‍රදක්ෂිණා කොට පිරිස් සහිතව නික්ම ගියේ ය. මෙය අවියක් කොටගත් දේවදත්ත රූක්ෂ පිළිවෙත් කැමති භික්ෂූන් විශාල පිරිසක් ද තමාට අවනත කරගෙන ශාසනයෙහි ප්‍රථම සංඝ භේදය සිදු කළේ ය.

සැරියුත් - මුගලන් මහ රහතන් වහන්සේ දෙනමට අගසව් තනතුරු පිරිනැමීමේ දී පවා බුදුරදුන් මුහුණ බලා තනතුරු දෙතියි, යනුවෙන් ඇතැම් භික්ෂූහු ප්‍රකාශ කළහ.

අස්සජි - පුනබ්බසුක යන දෙනම විසින් සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේ දෙනම පාපී පුද්ගලයන් යැයි ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කරන ලදහ. ඒ ආරාම ආරවුලක් හේතුකොට ගෙන ය.

දේවදත්ත තෙරුන් මෙන්ම සුනක්ඛත්ත, අරිට්ඨ හා සාති යන භික්ෂූහු ද බුද්ධ කාලයේ දී ම ධර්ම විනය තමතමන් ගේ රුචි අරුචිකම් අනුව විග්‍රහ කිරීමට හා සංශෝධනය කිරීමට පෙළඹුණහ. එම නිසා බුදුරදුන් ඒ පිළිබඳ තොරතුරු විමසා එම ධර්මය නැවත දේශනා කොට යථා තත්ත්වය පැහැදිලි කළ බව සූත්‍රාන්තවල සඳහන් වී ඇත.

අධර්මවාදීන්

අලගද්දූපම සූත්‍රයෙන් පෙනෙන පරිදි අරිට්ඨ භික්ෂුව බුද්ධ වචනය පිළිබඳ මෙවන් මිථ්‍යා දෘෂ්ටියක් ඇති කරගෙන සිටියේ ය. “භාග්‍යවතුන් වහන්සේ යම් අන්තරායික ධර්මයක් අන්තරායික යැයි, වදාරණ ලද්දාහු නම් ඒ ධර්මයන් සේවනය කරන්නහුට අන්තරායක් නොවේ.” ධර්මය වැරැදි ලෙස ග්‍රහණය කර ගැනීම නිසා එමඟින් ඇතිවන ආදීනව අලගද්දූපම සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළහ.

තවද එබඳුම මිථ්‍යා දෘෂ්ටියක් ඇති කරගත් භික්ෂුවක් වූ සාති මෙසේ ප්‍රකාශ කළේ ය.

“එකම වූ විඥානයක් ම භවයෙන් භවයට සසර දිවෙයි. සැරිසරයි. අන් විඥානයක් නොවේ යැයි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූ සේක් ද එපරිදි දෙසූ දහම එසේ විය හෙතියි මම දැන සිටිමි.”

මෙම මතය පටිච්චසමුප්පාද මූල ධර්මය හා එකඟ නොවන ශාස්වතවාදී දෘෂ්ටියකි. යමක නමැති භික්ෂුව ප්‍රකාශ කළ උච්ඡේද දෘෂ්ටිය වූයේ “රහතන් වහන්සේ කායික මරණින් සිඳේ ද, වැනසේ ද, මරණින් මතු නොවේ ද, තථාගතයන් වහන්සේ විසින් එසේ දෙසන ලද දහමක් මම දනිමි” යන්නයි. ජබ්බග්ගීය, කීටාගිරි වැනි භික්ෂූන් ගැන සිතන විට බුදුරදුන් ජීවමාන සමයෙහි ම ධර්ම - විනය යටපත් වී අධර්මය - අවිනය ඉස්මතු වූ අවස්ථා උදා වූ බව මේ අනුව පැහැදිලි ය.

වගකීමෙන් තොරවීම

භික්ෂූන් වහන්සේට සෙනසුන් පැවරීමේ වගකීම භාරව සිටි දබ්බමල්ලපුත්ත හිමියෝ සූත්‍රාන්තික භික්ෂූන්ට වෙනමත්, විනයධර භික්ෂූන්ට වෙනමත්, ආභිධම්මික භික්ෂූන්ට වෙනමත්, ධ්‍යාන වඩන භික්ෂූන්ට වෙනමත් ආදී වශයෙන් ඒ ඒ භික්ෂූන්ගේ නියුක්තවීම අනුව සෙනසුන් පැනවූහ.

මේ අතර තිරිසන් කතාවෙහි යෙදී සිටින, සිරුර තර කිරීමෙහි නියුතු භික්ෂූන්ට වෙනම සෙනසුන් සැකසිණි. චුල්ලවග්ග පාළිය තුළින් හමුවන මෙම කරුණු පිළිබඳ සලකා බලන කල ද ශාසනික වගකීමෙන් තොරවූවන් බුද්ධ කාලයේ ද සිටි බව පෙනේ. එවැන්නන් විසින් ධර්ම විනය ආරක්ෂාවීමක් කිසිසේත් අපේක්ෂා කළ නොහැකි ය.

බුදුරදුන් ජීවමාන සමයෙහි පැවති මෙම පසුබිම පිළිබඳ විචාරාත්මකව බලන කල්හි මේවා බුදුරදුන්ගේ ශාස්තෘත්වය හමුවෙහි යටපත් වූව ද බුද්ධ පරිනිර්වාණයෙන් පසුව නැවත ඉස්මතුවීමට පැහැදිලිවම අවකාශය තිබිණ. එබැවින් පශ්චාත් කාලීනව ආචාරියවාද බිහිවීමට බලපෑ මූලික සිද්ධාන්ත බුද්ධ කාලයේ දී ම දැකිය හැකි විය.

නිගණ්ඨනාථපුත්තතුමාගේ අභාවයෙන් පසු එම ශාසනයට අත් වූ ඉරණම බුද්ධ ශාසනයට ද විය හැකි යැයි සැක කළ භික්ෂූන් වහන්සේ ශාසනයේ නායකත්වයට කෙනකු පත්කරන ලෙස බුදුරදුන්ගෙන් ඉල්ලා සිටියහ.

“මා ධර්මය හා විනය දේශනා කර ඇති බවත් මාගේ ඇවෑමෙන් එය ශාස්තෘවරයා වේ ය” යන බවත් බුදුරජාණන් වහන්සේ මෙහිදී ඉතා දූරදර්ශීව දේශනා කළහ.