Print this Article


ගොඩගසන තරමට ධනය වැනසී යයි සතුට

ගොඩගසන තරමට ධනය වැනසී යයි සතුට

බුදු දහම යනු ඍණාත්මක අදහස් තිබෙන දර්ශනයක් නො වේ. ආධ්‍යාත්මික ව මෙන් ම ලෞකිකව ද දියුණු වීමේ මාර්ගය උගන්වන දර්ශනයකි.

රට්ඨපාල සූත්‍රයට අනුව ද කොපමණ සම්පත් තිබුණත් මිනිසා නිතර ම සිටින්නේ නොතිත් අසාවෙනි.

ඌනො ලොකො අතිත්තො තණ්හාදාසො එනිසා ම මිනිසා මිය යන්නේ ම සම්පූර්ණ නොවූ මනදොළ සහිත ව ය. ධනය මිය යන්නා පසු පස නො යන බවත්, ධනයෙන් දීර්ඝායුෂ නො ලැබෙන බවත් සිහි එළවා ගෙන ලද දෙයින් සතුටවීම තරම් ධනයක් නැති බව අවබෝධ කර ගත යුතු ය.

ධනය ඉපැයීම සිදු කරන්නේ කෙසේ ද? යන ප්‍රශ්නය මෑතක ඇති වූවක් නො වේ. වරක් බුදුන් වහන්සේගෙන් ම ආළවක යක්‍ෂයා මේ ගැන විමසා ඇත.

ඍජු පිළිතුරක් ලබා දෙන බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ උත්සාහයෙන් ධනය උපදවා ගත යුතු බව යි.

අංගුත්තර නිකායේ රථකාර වග්ගයේ නමවැනි සූත්‍රය අනුව උදේ, දහවල් හා සවස මහන්සියෙන් කටයුතු කරන්නේ නම්, නො ලැබු භෝග සම්පත් ලබන්නට ද, ලැබු භෝග සම්පත් වැඩි දියුණු කර ගැනීමට ද හැකි වෙයි.

දියුණු වන පුද්ගයා මෙම උදාසීන චෛතසිකයන්ගෙන් මිදුණු අයකු විය යුතු ම ය.

එසේ ම උපයන ධනය වියදම් කළ යුතු අංශ කිහිපයක් පිළිබඳ සිඟාල සූත්‍රයේ දැක්වේ.

එක් කොටසක් ආහාර සඳහා ද, දෙකොටසක් ආයෝජන සඳහා ද, එක් කොටසක් විපතක් පැමිණි විටක ප්‍රයෝජන සඳහා ගත හැකි පරිදි ඉතුරු කිරීමට ද එහි උගන්වා ඇත.

ධනයෙන් කළ යුතු කටයුතු කිහිපයකි. පළමුව තමන් සතුටු විය යුතු ය. (අත්තානං ච සුඛෙති පිණෙති) කොපමණ ධනය තිබුණ ද සතුටක් නැති මිනිස්සු කෙතරම් නම් වර්තමාන සමාජයේ සිටිත් ද? එය යහපත් වූ දෙයක් නොවේ. දෙමාපියන්ගේ සුඛවිහරණය සෑදීම ද අඹුදරුවන්, දැසිදස් කම්කරුවන්ගේ සුඛවිහරණය සෑදීම ද මිත්‍රයන්ගේ සුඛවිහරණය සෑදීම ද කළ යුතු ය.

මින් පෙනී යන්නේ ධනය ලැබෙන විට දෙමාපියන්, මිත්‍රයින් හා තමා යටතේ පෝෂණය වන්නන් අමතක කිරීම ගුණමකුකමක් සේ ම, එය ඉක්මන් ආර්ථික පරිහානියකට ද පාර කපා ගැනීමකි.

ඉතා දුක් මහන්සියෙන් උපයා ගත් ආර්ථික ශක්තිය කඩා වැටීමට හේතු වන ක්‍රියා කීපයක් පිළිබඳ සිඟාල සූත්‍රයේ දැක්වේ. රහමෙර පානය, නො කල්හි වීථිසංචාරය, සංදර්ශන බැලීමට ලොල්වීම, සූදු ක්‍රීඩාව, පාපමිත්‍ර සේවනය, අලස බව යනු එම ලක්‍ෂණයෝ ය. මේවා තුළින් උපයා ගත් ධනය බලා සිටිය දී ම විනාශයට පත්වේ. උපයා ගත් ධනය රක්‍ෂණයට හා කළමනාකරණයට අදාළ වූ උපදෙස් මාලාවක් ද බුදුදහම තුළින් ලබා දී ඇත. මේ පිළිබඳ අගනා විග්‍රහයක් අංගුත්තර නිකායාගත කුල සූත්‍රයේ දැක්වේ. නැසෙන සම්පත් හා උපකරණ එසේ වූ විගස ම නැවත සොයා තැබීම, දිරාපත් වන දේ යුහුසුළුව ප්‍රතිසංස්කරණය කිරීම, උපයන සීමාව දැන ඊට සරිලන සේ පරිහරණය කිරීම, සිල්වත් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ගෙදර හෝ ආයතනයේ ප්‍රධානියා කිරීම එම කරුණු ය.

ධනය ඉපැයීම කෙසේ සිදු කළ යුතු ද යන්නත් බුදුන් වහන්සේ පත්තකම්ම සූත්‍රයේ දී පෙන්වා දුන්හ. උත්සාහයෙන්, වීර්යයෙන්, බාහුබලයෙන් දහදිය හෙළා ධාර්මිකව ඉපයිය යුතු බව එහි දැක්වේ.

ධනඤ්ජානි සූත්‍රයේ දී ධනඤ්ජානි බමුණාට බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ පව් නො කොට, පින් කොට හැකි වූ ද කය පිනවිය හැකි, වැඩිය හැකි කර්මාන්ත තිබෙන බව යි.

ලොව ඇති බලවත් ම දේ මුදල් යැයි සිතා මුදල්වලට කළ නොහැක්කක් නැතැයි යනුවෙන් එන හාස්‍යොත්පාදක කතා සමාජය ගිලගෙන ඇත. මේ නිසා ඇතැම් අවස්ථාවල මුදල සමඟ මනුස්සකම යටපත් ව ඇත. පසුගිය කොරෝනා වෛරසය ව්‍යාප්තව පැවැති කාලයේ දී මහ ධන කුවේරයන් තම අවසන් හුස්ම පොද වාතලයට මුසු කළේ මුදල් නැතිකම නිසා නොවන බව රහසක් නොවේ.

ගුණධර්ම පිරි ආර්ථිකයක් ඇති කර ගැනීමට අප උත්සුක විම තව ප්‍රමාද නො කළ යුතු බව ස්වභාව ධර්මය මෙන් ම නූතන මිනිස් ක්‍රියාකාරකම් ද මේ වන විට අපට ඒත්තු ගන්වා ඇත.