Print this Article


කඳුළින් තොර දිවියකට දහමින් දෙන උපදෙස්

කඳුළින් තොර දිවියකට දහමින් දෙන උපදෙස්

තම තමන්ගේ ජීවිත පිළිබඳ නැවත හැරී බැලීමේ දී තම ජීවිත කාලය තුළ සිදුකරන ලද ක්‍රියාවන්ගෙන් කොතරම් සංඛ්‍යාවක් කඳුළින් තොරව සිහිපත් කළ හැකි දැයි ගණනය කර ගත හැකි වේ. එසේම කඳුළු බර මුවින් වේදනාකාරීව සිහිපත් කෙරෙන ක්‍රියා පිළිබඳව ද සිතා බැලිය හැකි ය.

බොහෝවිට බොහෝ දෙනා සිදුකරන ක්‍රියා සියල්ලම සෞම්‍යවූත්, සුන්දරවූත් නොවන්නේ ය. කරනු ලබන අසුන්දර වූ, කඨෝර වූ ක්‍රියාවන් ම බහුල වේ. ධර්මයෙන් අපට උපදෙස් දී ඇත්තේ එබඳු වේදනාකාරීව සිහිකළ යුතු ක්‍රියාවන් සංඛ්‍යාත්මක වශයෙන් අඩු කර ගැනීම පමණක් නොව, එබඳු දෑ සිදු නොකර සිටීම සඳහා ශික්ෂණයක් ඇතිකරලීම සඳහා ය.

බෞද්ධ ශික්ෂා මාර්ගය තුළ මනාව දැකිය හැකි වන්නේ එබඳු අනුපූර්ව ක්‍රියාමාර්ගයක් බව ඉතා ප්‍රකට කරුණකි.

එම ආගමික මඟ නොසලකා හරිමින් අශික්ෂිතව සිතින් සිතා වචනය හා කය මෙහෙයවමින් සිදුකරන කඨෝර ක්‍රියා නිසා පසුතැවීමට සිදුවන්නේ ය. එම ක්‍රියා පාප ක්‍රියා නමින් නම් කෙරේ. එබඳු වූ අයහපත් ක්‍රියාවන් පිළිබඳ පුද්ගල මනසට දැනෙනුයේ සිසිලක් හෝ සහනයක් නොවේ. එහි ස්වභාවය වන්නේ ගිනියම් බව, අසහනය හා අසංතෝෂයි. ඒ මතුනොව දැවීම හා තැවීම යි.

එබඳු වූ පීඩාකාරි ස්වභාවය තමන්ගේ ජීවිත අපේක්ෂා අවුල් කරන්නේ ය. සදාකාලික රෝගීන් බවට පත්වීමේ මානසික ප්‍රවණතාවක් ද ඇති කරන අයුරු ඉතා ප්‍රායෝගික ය. එම පීඩාකාරි කායික මානසික ස්වභාවය සංසාරගත ජීවිතය සමඟ එක්ව ගමන් කරමින් දුක් විපාක ලබාදීමේ ස්වභාවය බුදු දහමෙන් ප්‍රකාශ වේ.

එසේම පුද්ගලයා විසින් වඩවඩාත් ප්‍රවර්ධනය කර ගත යුතු සුන්දර සුඛාස්වාදනීය වූ, කඳුළින් තොර යහපත් ක්‍රියාදාමයන්ගේ සංඛ්‍යාව වැඩිකර ගැනීමේ වගකීම තම තමන් සතු වේ.

සංඛ්‍යාත්මකව එසේ සිදුකිරීම නිසා ලැබෙන මානසික සුවය ඉහලෝක වශයෙන් ඉතා නිරෝගීසම්පන්න ජීවිත ලබාදීමේ හැකියාව ඇති කරයි. සාංසාරිකව ද එබඳු පුද්ගලයන් පුණ්‍යවන්තවූත්, සැනසිලිදායිවූත් පාරලෞකික ජීවිතයකට ද උරුමකම් ලබන බව දහමින් ප්‍රකාශිත ය.

සියල්ලෝ ම වසරක් නිමවා නව වසරකට එළඹ ඇති මෙම මොහොතේ ගෙවී ගිය වසරෙහි සිදු වූ කඳුළින් බර වූ වේදනාත්මක ක්‍රියාවන්ට තිත තබා නව වසරෙහි එබඳු අයහපත් චර්යාවන්ගෙන් ඈත්ව ක්‍රියා කිරීම සඳහා සුදුසු අවස්ථාවක් ලෙස අධ්ෂ්ඨානශීලී වීමද අද දවසෙහි සිදු කළ හැකිව ඇත.

තථාගතයන් වහන්සේ විසින් දේශිත මෙම දේශනය තම ශ්‍රාවක ශ්‍රාවිකාවන් පවින් වළක්වා පුණ්‍ය ධර්මයන්හි යෙදවීම සඳහා උත්සුක කිරීමේ තවත් අවස්ථාවක් ලෙස දැක්විය හැකිව තිබේ. යහපත්ව යමක් කරන්නා යහපත් පුද්ගලයකු වන්නේ ය. එම ක්‍රියාව පුණ්‍ය ක්‍රියාවක් හෙවත් කුසල ධර්මයක් ලෙස අපි හඳුනාගෙන සිටිමු. තම ජීවිතය තුළ එබඳු ක්‍රියා සපුරා ගත් පුද්ගලයා කෙසේවත් පසුතැවීමකට ලක්නොවේ. එම පුණ්‍යකර්මය සඳහා හේතුවූයේ කුසල මූලයක් ය. එසේ නම් ඉන් ලැබෙනුයේ ද යහපත් ප්‍රතිඵලයකි.

දුර්ලභව ලබන ලද මිනිසත් බව සඳහා නිසි අගයක් ලබා නොදෙමින් අවසන දුක්මුසු මුහුණින් ජීවතයට සමුදීමේ ඛේදනීය ස්වභාවය ධර්මයෙන් දක්වා ඇත්තේ හද සසල කරන ආකාරයෙනි.

‘අචරිත්වා බ්‍රහ්ම චරියං අලද්ධා යොබ්බනේ ධනං’ ..... යනාදී ලෙසින් ගෙවාලූ දිවිගමන උසස් හැසිරීම්වලින් තොරවූයේ ය. තම යොවුන්විය ද උපයාගත් කිසිවකින් තොරව අපතේ හැරීම පිළිබඳ සඳහන් කර ඇත්තේ දිය සිඳීගිය විල්තෙරක තනිව පසුතැවිලි වන වියපත් කොස්වාලිහිණියෙකු උපමාකොට දක්වමිනි.

මෙහි දැක්වෙන ‘අනුතප්පති’ යන පාලි වචනයේ අදහස ලෙස දැක්වෙන්නේ අනුව පසුතැවිලිවීම යන්න ය. එනම් තමන් විසින් සිදුකරන ලද භයානකවූත්, දරුණුවූත්, කඨෝරවූත් පාප ක්‍රියාවන් පිළිබඳ සිහිකරමින් කනස්සල්ලට පත්වීම ය.

මෙම මානසික පීඩනය පුද්ගල මනසට ප්‍රථමයෙන් ම දැනෙනුයේ පමණක් නොව ශාරීරිකව ද මහත් සේ පීඩාකාරි බවක් ඇතිකරනු ලැබේ. එසේවීම සඳහා සිදුකරන ලද අයහපත් ක්‍රියා නිසා පසුතැවිලි සහගත වූ දූෂිත මනසෙහි පීඩනය ශරීරයෙහි මූලික ජීවාංගයක් වූ රුධිරය අපිරිසුදු කිරීමට සමත්වන අතර, එය මුළු සිරුරම රෝගී තත්වයට පත්කිරීම සඳහා හේතුවේ.

කඳුළින් තොර දිවියකට අදාළ තවත් ධර්මෝපදේශ නවම් පුරපෝදා පුවත්පතින් කියවමු