Print this Article


අනුන් ගැන නොසොයා තමන් ගැන සොයන්න

අනුන් ගැන නොසොයා තමන් ගැන සොයන්න

ලෝකයේ ජීවත් වන මනුෂ්‍ය, තිරිසන් ආදී සියලු සත්ත්වයෝ බැණුමට, ගැරහුමට, කර්කෂ වචනවලට අකැමැති වෙති. ඒවා ප්‍රතික්ෂේප කරති. යමෙක් තමන්ට බණින විට දොස් පරොස් කියන විට තමන්ගේ හදවතෙහි ඇති වන්නේ දුකකි. ශෝකයකි. වෛරයකි. කළකිරීමකි.

මෙ හැම කරුණකින් ම සිදුවන්නේ තමන්ගේ සිත අපිරිසුදු වීමයි. මෙ ලෙසින් සමාජයේ ජීවත්වන උපාසක, උපාසිකා, ළමා, තරුණ, භික්ෂු, භික්ෂුණී, සේවක, සේව්‍ය, ගුරු-සිසු, ස්වාමි-භාර්යා, ගිහි-පැවිදි යනාදී පිරිස් විවිධ අවස්ථාවල විවිධ හේතු නිසා වාචික විරසකවීම්වලට පත් වෙයි. ඇතැම් විට එක වචනයකින් මුළු ජීවිත කාලය ම විරසකවීම් සහිතව ජීවත් වෙයි.

ඒ වගේම චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය යන සිවුපසයෙන් කිසිවක් නො දෙන බව පවසමිනුත්, අසවල් පුද්ගලයා මසුරු ය, වෛර කරන්නෙක්, ක්‍රෝධ කරන්නෙක්, දන් නොදෙන්නෙක්, ශ්‍රද්ධා මාත්‍රයක්වත් නැත්තෙක්, කම්මැලියෙක්, ආගන්තුක සත්කාර නො දන්නෙක්, සිල් නො රකින්නෙක් යනුවෙන් පවසමිනුත් බැණුම් දෙඩුම් කරයි. මෙ වැනි අවස්ථාවල දී ඇතැම් පුද්ගලයින් ධර්මය අනුව සිත සකසා ගන්නා නමුත්, අයෙක් කෝපයෙන් පිරී යත්. පළිගැනීම් කරත්. ඇතැම් විට ඔවුනොවුන්ගේ කටුක වචන නිසා ජීවිත හානි පවා සිදු වෙයි. කොපමණ රළු වචන අසන්නට ලැබුණත් තමන්ගේ බුද්ධිය මෙහෙයවා ඒවා නිසරු බව වටහාගෙන ඒවා ප්‍රතික්ෂේප කළ යුතු ය. එවිට වෛර බැඳීම් හෝ ජීවිත හානි වීම් හෝ සිදු නො වෙයි. තමන් අන් අයට කළ යහපතවත්, කළ අයහපතවත් සිතීම නො කළ යුතු ය. ඔහුට හෝ ඇයට හෝ යම් පිරිසකට හෝ යම් යහපත් දෙයක් කළේ යැයි සිතා පෙරළා සැලකිලි ලැබීම් අපේක්ෂා නො කළ යුතු ය. තමන්ගේ කටයුතු අතපසුවීමට ද එය බලපෑම් කරයි. එවැනි පුද්ගලයින්ට චිත්ත පීඩාවක් නැති බවත්, සන්තුෂ්ටියෙන් තම ජීවිතය පවත්වාගෙන යා හැකි බවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙති.

අනුන්ගේ බැණුම් දෙඩුම් මෙනෙහි නො කළ යුතු බව ද, අනුන් කළ දේ හෝ නො කළ දේ මෙනෙහි නො කළ යුතු බව ද, තමන් කළ දුශ්චරිත හා සුචරිත නිතර සිහි කරමින් සුචරිත කටයුතු වර්ධනය කර ගත යුතු බව ද මෙයින් පෙන්වා දේ.

බැණුම් දෙඩුම්වල දී සිතේ සහ සතුට පවත්වාගෙන යාමේ මාර්ගය මෙයයි.