Print this Article


මුනි සිරිපා පහසින් ලක්දෙරණ සුපූජිත වූ වගයි

මුනි සිරිපා පහසින් ලක්දෙරණ සුපූජිත වූ වගයි

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිහිකරනු වස් දුරුතු පොහොය දාන, සීල, භාවනාම ය වශයෙන් ත්‍රිවිධ පුණ්‍ය කර්මයන්හි නියැළීමට සිව්වනක් පිරිසටම උදාවන වටිනා දිනයෙකි.

බෝධිතො නවමෙ මාසෙ
ඵුස්සපුණ්ණමියං ජිනො
ලංකාදීපං විසොධෙතුං
ලංකාදීප මුපාගමි

යනුවෙන් මහාවංසයේ කියැවෙන පරිදි බුද්ධත්වයෙන් නව වැනි මස බුදුරජාණන් වහන්සේ ලක්දිව පවිත්‍ර කරනු පිණිස මෙරටට වැඩමවා තිබේ.

තථාගතයන් වහන්සේගේ බුද්ධත්වයෙන් වර්ෂයක් සම්පූර්ණ වීමටත් පෙර එනම්, බුද්ධත්වයෙන් නව වැනි මාසයේ උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිලයන් සහ දහසක් වූ අනුගාමික පිරිස යහමඟෙහි පිහිටුවන අතර, ලද ඇසිල්ලකින් ලක්දිව මහියංගනයේ යක්ෂ සමුළුවකට පැමිණ එම යක්ෂ පිරිස් දමනය කර ගිරි නම් දිවයිනට පළවා හැරියහ.

උතුරුකුරු දිවයිනෙන් පිණ්ඩපාතය රැගෙන විත්, අනවතප්ත විල සමීපයේ දී එය වළඳා සවස් කල මතු කාලයේ සම්බුදු සසුන බබළන ලක්දිවින් යක්ෂ ගෝත්‍රිකයන් බැහැර කිරීමට සිතූහ. ඒ අනුව මනෝරම්‍ය ගංතෙර යොදුන් තුනක් දිගු වූ, යොදුනක් පුළුල් වූ මහා නාග වන උයනෙහි රාත්‍රී කාලයේ යක්ෂයන් එක් රැස් වී සිටි භූමියට වැඩමවූහ. මහියංගන සෑ රදුන් පිහිටි ස්ථානයේ අහසෙහි වැඩ හිඳීමින් යක්ෂයන් බිය වන අන්දමට වර්ෂා, වාත අන්ධකාර මවා පෑහ. මේ යක්ෂයන් බිය වද්දා ගිරි දිවයිනට පළවා හැරි බව මහාවංසයේ සඳහන් වෙයි.

මෙම සමාගමය යක්ෂ ගෝත්‍රිකයන්ගේ යුද්ධයක් පිණිස එක් වූ බව ඇතැමුන්ගේ මතයයි. රැස්වීමක් හෝ ප්‍රීති උත්සවයක් ලෙස ඇතැමුන් සලකයි.

මහා වංසයට අනුව යක්ෂයන් පළවා හැරීමෙන් පසු දෙවියන් ඇතුළු පැමිණි පිරිසට බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළහ. ධර්ම ශ්‍රවණය කළ විශාල පිරිසක් සෝවාන් ආදී මාර්ගඵලවලට පැමිණියහ. ගණන් කළ නොහැකි අන්දමේ විශාල පිරිසක් තිසරණ සරණ ගියහ.

සෝවාන් ඵලයට පැමිණි සමන්තකූඨයේ වාසය කළ සුමන දේවේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් පූජනීය වස්තුවක් ඉල්ලා සිටි කල්හි බුදුරදුන් හිස පිරිමැද කේෂධාතු මිටක් පිරිනැමීය. එම කේශ ධාතුන් වහන්සේ සහ නන් වැදෑරුම් වටිනා වස්තු තැන්පත් කොට සුමන සමන් දෙවියන් ඉන්ද්‍රනීල මාණික්‍යයෙන් සත් රියන් උස් වූ මහියංගන සෑය ගොඩනැංවීය.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ශ්‍රී දේහය ආදාහනය කළ අවස්ථාවෙහි සැරියුත් තෙරුන්ගේ ශිෂ්‍ය වූ සරභූ මහ රහතන් වහන්සේ දැල්වෙන දර සෑයෙන් බුදුරදුන්ගේ ග්‍රීවා ධාතූන් වහන්සේ රැගෙන ලක්දිවට පැමිණ මහියංගන දාගැබෙහි නිධන් කළහ.

මේදෝවර්ණ පාෂාණයෙන් දොළොස් රියන් උසට දාගැබ විශාල කොට බැඳවීය. මින් පසු විවිධ රජ දරුවන් යුගයෙන් යුගය මහියංගන සෑය කඤ්චුක සෑයක් වශයෙන් ප්‍රතිසංස්කරණය කරවා තිබේ.

මහියංගනයේ සිට නැවත උරුවෙල් දනව්ව්ට වැඩි බුදුරජාණන් වහන්සේ බුදු වීමට පෙර බිම්බිසාර මහ රජතුමා සිදු කළ ඉල්ලීමට අනුව එතුමන් දැකීම පිණිස ජටිල හිමිවරුන් සමඟ රජගහනුවරට වැඩම කළහ. දුරුතු පුර පොහොය පසු වී නමුත් දුරුතු මාසයේ සිදුවුණු වැදගත් සිදුවීම් වශයෙන් බිම්බිසාර රජතුමා විසින් බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව වූ වේළුවනාරාමය පූජා කිරීම, මිය ගිය නෑයින් සඳහා සාංඝික දාන පිරිනමා පින් දීම ආරම්භ වීම වැනි සිදුවීම් සැලකිය හැකි ය.

විසිවැනි සියවස මුල් භාගයේ දී හෙලේනා විජයවර්ධන මැතිණියගේ ප්‍රධානත්වයෙන් කැලණි විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරුණු පසු වාර්ෂික කැලණි පෙරහර පවත්වනු ලබන්නේ ද දුරුතු පුර පසළොස්වක දින වීම ද විශේෂ සිදුවීමකි.