Print this Article


උතුම් පින් කෙත මෙසේ ඇසුරු කරමු

උතුම් පින් කෙත මෙසේ ඇසුරු කරමු

අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ සිටිද්දී ආනන්ද තෙරුන් වහන්සේ අසා වදාළා “ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, කාන්තාවන් සම්බන්ධයෙන් භික්ෂුවක් කටයුතු කළ යුත්තේ කෙසේද?” කියා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ වදාළා

“පින්වත් ආනන්ද, කාන්තාවක් සමඟ කතාබහ කරන්නට සිදු වෙනවා නම්, ඒ වෙලාවට බලන්න. මේ තැනැත්තිය අම්මාගේ වයස කෙනෙක් ද කියලා. අම්මාගේ වයස කෙනෙක් නම් මව් චිත්තය, උපදවාගෙන "මගේ මව් හා සමානයි නේ” කියා ගෞරවයෙන් කතා කරන්න යැයි වදාළා.

ඇය තමන්ගේ නැඟණිය වගේ නම්, “මගේ නැඟණිය වගේනේ” කියා සිහිය උපදවාගෙන කතා කරන්න.

තමන්ගේ දියණියගේ වයස කෙනෙක් නම් “දියණිය වගේනේ” කියා සිහිය පිහිටුවාගෙන කතා කරන්න යැයි වදාළා.

මේ ආකාරයටයි භාග්‍යවතුන් වහන්සේ වදාළ බුද්ධ වචනය මහා සංඝ රත්නය හිස් මුදුනින් පිළිගෙන තිබෙන්නේ. එනිසා කාන්තාවක් ඒ බුද්ධ වචනයට ගරු කරන්න ඕන. තමන්ට භික්ෂුන් වහන්සේ නමක් ඇසුරු කරන්නට ලැබුණොත් ඇය “ භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය ශ්‍රාවක පුත්‍රයන් වහන්සේ නමක්නේ කියන ගෞර‍වයෙන් ඇසුරු කරන්න ඕනේ.

උපසම්පදා සීලය රකින භික්ෂූන් වහන්සේ නමක් සිල්පද 227ක් ආරක්ෂා කරනවා. නිවසේ සිටින අපට සිල්පද පහ රකින්න කොතරම් නම් අමාරු ද? පෝයට උපෝසථ සීලය සමාදන් වෙලා පසුවැනි දා උදේ වෙනතුරු එය රකින්න කෙතරම් යුද්ධයක් කරන්න ඕනෑ ද? ඒ නිසා මවුපියන් අතහැර, ජීවිතය ශාසනයට කැප කර, ධන ධාන්‍ය, බෝග සම්පත්, ලාබ සත්කාර, උගත්කම් අත්හැර බුද්ධ ශාසනයට පැමිණ කසාවතක් දරාගෙන, සීලයක් රකින්නට කොතරම් නම් කැප කිරීමක් කරනවා ද?

කාන්තාව ඒ සෑම දෙයකට ම ගරු කරන්න ඕනේ.

එක දවසක් ස්වාමින් වහන්සේ මහත් වූ කරුණාවෙන් ඇය සමග කතා කරනවා. ඊට පස්සේ දිගින් දිගටම කතා කරන්න ගත්තා ම එය සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. අදාළ දේත් කියනවා, තමන්ගේ ප්‍රශ්නත් කියනවා. අදාළ නැති දේත් කියනවා. ඒ ප්‍රශ්න අසන භික්ෂුවට නැති ප්‍රශ්න ඇති වෙනවා.

ඒ නිසා තමන් දැන ගන්න ඕනේ ඒ උත්තම‍යෝ ඇසුරු කරන විට තමන්ට අවශ්‍යම දේ පමණක් ගරුසරු ඇතිව කතා කරලා එතැනින් ඉවත් වෙන්න. ඒ වගේම සංඝයා වහන්සේ හමුවෙන්න යන විටත් කාන්තාව සංවර ඇඳුමකින් යන්න ඕනේ. තමන් නිසා, තමන්ගේ කායික හැසිරීම නිසා, තමන්ගේ යම්කිසි කි‍්‍රයාවක් නිසා උන්වහන්සේ ගේ සිතේ අකුසලයක් ඇතිවුණොත් එහි විපාකය තමන්ටත් බලපානවා.

භාග්‍යවතුන් වහන්සේ සංඝ රත්නයට වදාළේ

“පින්වත් මහණෙනි ඔබ ගිහි පිරිස ඇසුරු කළ යුත්තේ කැඩුණු ළිඳක් අසලට ගොස් පරිස්සමට ළිං කටට එබෙනවා වගේ” කි‍යලා.

ඒ දේ කාන්තාව හොඳීන් අවබෝධ කර ගන්න ඕනේ. සංඝයා වහන්සේගේ ගෞරවයට ගරු කරන්න ඕනේ. යාහලුවෝ වගේ සංඝ රත්නය ඇසුරු කරන්නේ නැහැ.

විනය පිටකයේ තිබෙනවා කාන්තාවක් කිසිම මොහොතක භික්ෂූන් වහන්සේ නමක් සමඟ තනිව කතා නො කළ යුතු බව‍. එසේ කතා කළොත් ස්වාමින් වහන්සේට එය වරදක් වෙනවා. එතැන වැඩිහිටි පිරිමි කෙනෙක් ඉන්න ඕනේ. ලෝක‍යේ සිටින පින් කෙතයි අපි රකින්නේ. ඒක කාන්තාවටත් පිනක්.

ගිහි ගෙදර ගිනි ගොඩක් වගේ නේ. නිතරම ප්‍රශ්න. අපේ සිතට කරදරයක්, දොම්නසක් ආ විට, ස්වාමියාගේ ප්‍රශ්නයක්, දරුව‍න්ගේ ප්‍රශ්නයක් ආ විට ඉක්මනටම දුරකතනයෙන් හෝ ස්වාමින් වහන්සේ නමකට කතා කරනවා. තමන්ගේ දුක් සියල්ලම උන්වහන්සේට කියනවා. ඒ වෙලාවට සංඝයා වහන්සේට ඒවා අසන්න වෙනවා. වචනයකින් දෙකකින් ස්වාමින් වහන්සේ පිළිතුරක් දී සිත සනසන්න හැදුවට ඒකට එතරම් කැමැති නැහැ. නැවත නැවත දුරකතන ඇමතුම් දී උපකාර ඉල්ලනවා. සමහර විට සංඝයා වහන්සේ ගිහි ගෙදර සිටිද්දීවත් ඒ ව‍ගේ ප්‍රශ්න අහලා නැහැ. මුහුණ ‍දීලා නැහැ. විසඳුම් දන්නෙත් නැහැ. අහක තිබෙන ප්‍රශ්න කන්දරාවක් උන්වහන්සේගේ ඔළුව‍ට දානවා. කවදාවත් එහෙම කරන්න එපා.

කාන්තාවන් වශයෙන් අප කළ යුත්තේ කියා දෙන බණ පදයක් අහලා එය පුරුදු කිරීම යි. අවශ්‍යම කාරණයක දී පමණක් ගෞරවයෙන් ගරුසරුව

“ලෝකයේ පින් කෙතයි මම මේ ඇසුරු කරන්නේ”

සිතා තමන්ගේ සිතත් අකුසලයකට වැටෙන්නට නොදී ආරක්ෂා කරගෙන ඇසුරු කළොත් සංඝයා වහන්සේ මේ ලෝකයේ බොහෝ කාලයක් රැකී සිටියි.

අපට මේ ප්‍රශ්න කියන්න එපා. අවේලාවේ එන්න එපා කියලා ස්වාමින් වහන්සේලාට කියන්න අපහසු වෙන්න ‍පුළුවන්. සංඝරත්නය කියන්නේ ලොවට අනුකම්පා කරන පිරිසක්. දුකක් කියාගෙන එන පිරිසකට දුක කියන්න එපා කියා එළවන්නේ නැහැ. ඒ නිසයි කාන්තාව සීමාව දැනගන්න ඕන.

ගරු කළ යුතු තැන අකුසල් උපදවා ගන්න එපා. අපි ස්වාමින් වහන්සේලාගේ ශාසන ප්‍රතිපදාවට අත්වැලක් වෙමු. විපත් එන තැන් වසාගෙන සංඝයා වහන්සේ ඇසුරු කරන්න සිතට ගනිමු.

ගින්දරේ අනතුර දන්න කෙනා ගින්දරයට ළං වෙන්නේ නැහැ. ඒ වගේ සංඝ රත්නයට සැප සේ වාසය කරන්න ඉඩ දෙන්න ඕනේ. උන්වහන්සේ අපහසුවට පත් කළොත් එහි විපාකය තමාට බව සිහි කරන්න. ඒ ගැන පේතවත්ථු කතාවල දී අපට මුණ ගැහෙනවා.