කුලියාපිටිය අස්සැද්දුම
ශ්‍රී බුද්ධ ශාසනාලංකාර
මූල මහා විහාරස්ථ
දුරුතු මහා පෙරහර
ශ්‍රී ලාංකික ජනතාවගේ චිරාගත සංස්කෘතික අගයන් අතර බෞද්ධ පෙරහරට හිමිවන්නේ අති විශේෂ
ස්ථානයකි. මහින්දාගමනයත් සමඟ මෙරට ජනතාවගේ දිවි පෙවෙතේ විශාල පරිවර්තනයක් ඇති විය.
බෞද්ධ දර්ශනයට අනුව හැඩගැසුණු ජන ජීවිතයේ සෑම කාර්යයක් ම බෞද්ධ ඉගැන්වීම්වලට අනුව
සිදුවිය. එයින් බෞද්ධ ශිෂ්ටසම්පන්න සමාජයක් ගොඩනැඟුණු අතර විනෝදාස්වාදය සඳහා උපයෝගී
කර ගත්තේ බෞද්ධ උරුම තුළින් ගොඩනැගුණු කලාත්මක අංග සමූහයකි.
චිත්‍ර, මූර්ති, කැටයම්, ජනකවි ආදී අංශ කෙරෙහි මෙන් ම විශේෂ අවධානයක් යොමු කළ
කලාත්මක අංගයක් වූයේ බෞද්ධ පෙරහර සංස්කෘතිය යි.
නැටුම් කලාව උපයෝගී කර ගනිමින් වර්ණවත් කළ බෞද්ධ පෙරහර ත්‍රිවිධ රත්නයට උපහාර පූජා
පිණිසත්, බුදුරජාණන් වහන්සේගේ නවඅරහාදී බුදු ගුණවලටත් බුද්ධ චරිතයටත් උපහාර දැක්වීම
සඳහා පවත්වන මහා සංස්කෘතික මංගල්‍යයකි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආදී කර්තෘ හා ප්‍රථම මහානායක පදවිය හෙබවූ අති පූජ්‍ය
අඹගහවත්තේ සරණංකර ඉන්ද්‍රසභවර ඤාණසාමි සරණංකර මාහිමිපාණන් වහන්සේගේ සඟ පරපුරෙන්
පැවත එන ධූතාංගධාරී උලාංකුලමේ සරණංකර හිමි, ධූතාංගධාරී අතිගරු ශාස්ත්‍රවෙල්ලියේ
උපසේන හිමි, ධූතාංගධාරී අතිගරු කට්ටමුරිච්චානේ දීපාලංකාර හිමි, ශිෂ්‍යානුශිෂ්‍ය
පරම්පරාවෙන් පැවත එන අතිපූජ්‍ය මහෝපාධ්‍යාය කට්ටමුරිච්චානේ සිරි සුභාරතී
මාහිමිපාණන් වහන්සේ 1926 වර්ෂයේ සිට මෙම කුලියාපිටිය අස්සැද්දුම ශ්‍රී බුද්ධ
ශාසනලංකාර මූල මහා විහාරය කේන්ද්‍ර කරගෙන එහි වැඩ විසූ ආරම්භක විහාරාධිපති ස්වාමීන්
වහන්සේ විය.
එවකට පැවති ඉංග්‍රීසි ආණ්ඩුවේ විවිධාකාර බාධක හමුවේ පසුනොබා ප්‍රදේශයේ බෞද්ධ
ජනතාවගේ අවශ්‍යතාවන් ඉටු කර ගත්, ප්‍රදේශයේ සැදැහැවතුන්ගේ පරිශ්‍රමයෙන් විහාරස්ථානය
ගොඩනැඟීමට අප්‍රමාදීව කටයුතු කළ, සීලයත්, ගුණයත්, පරාර්ථචර්යාවත් ආත්මහිත
ප්‍රතිපත්ති සාධනයත් එකතැන දිස්වූ අපේ මහෝපාධ්‍යාය කට්ටමුරිච්චානේ සිරි සුභාරතී
මාහිමිපාණන් වහන්සේ 1969 වර්ෂයේ දී අපවත් වීමෙන් පසු උන්වහන්සේගේ ශිෂ්‍ය මහාචාර්ය
කබලෑවේ පියභාරතී මාහිමිපාණන් වෙත විහාරස්ථානයෙන් සිදුවන අමිල වූ ජාතික ආගමික හා
නිකායික සමාජයීය සේවාවන් පැවරුණි.
මෙම විහාරස්ථානය කුඩා පන්සලක් ලෙස 1921 දී ආරම්භ කරනු ලැබිණි. වසරින් වසර
විහාරස්ථානය ප්‍රදේශයේ ජනතාවගේ ගෞරවය දිනාගත් වැදගත් පූජනීය ස්ථානයක් බවට පත්විය.
මෙම විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ සමයේ ඉතා සරල හා චාම් අයුරින් ආරම්භ කළ
සංඝමිත්තා පෙරහර වෙනුවට පසු කාලයේ (වර්තමානයේ) එය ඓතිහාසික කුලියාපිටිය දුරුතු මහා
පෙරහර ආරම්භ වීමට හේතු විය.
මෙම පෙරහර ආරම්භ වන්නේ 1994.12.17 වෙනි උඳුවප් පොහොය දිනයේ දී ය. එනම්
මීට වසර 28 කට පෙර ය. ආරම්භ වීමට මුල් වූයේ විහාරස්ථ අනුලා කුළඟන සමිතියේ යෝජනාවක්
අනුව එවකට විහාරාධිපති මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි ය. ඒ අනුව
විහාරස්ථ දායක සභාවට අනුබද්ධ පෙරහර කමිටුවක් පිහිටුවා සංවිධානය කර සරල කුඩා නමුත්
සාර්ථක පෙරහරක් පවත්වා තිබේ. මෙහි දී අවට විහාරස්ථාන, සමිති, සංවිධාන හා
ප්‍රදේශවාසීන්ගේ උනන්දුව හා කැපවීම ලැබුණු බව විහාර වංසකතාවේ සඳහන් වේ.
ත්‍රිවිධ රත්නය විෂයේ ආමිස පූජාමය පින්කමක් ලෙස සිදු කෙරෙන පෙරහර ආගමික ප්‍රබෝධය,
සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම හා සර්ව ආගමික සහජීවනය සඳහා කටයුතු කිරීම, අපගේ ඉපැරණි
කලා හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම, වැඩිදියුණු කිරිම හා මතු පරපුරට ඒවා රැකදීම
සඳහා කටයුතු කිරීම, ප්‍රදේශයේ ජනතාවට උසස් සංස්කෘතික පෙරහරක් දැකබලා ගැනීමට අවස්ථාව
සැලසීම, ප්‍රදේශයේ කලා ශිල්පීන්ගේ දක්ෂතා එළිදැක්වීමට අවස්ථාව සලසා දීම තුළින්
ඔවුන්ගේ අනන්‍යතාව ය හා කුසලතා වැඩිදියුණු කිරීම, විහාරස්ථානයේ භෞතික සම්පත්
වැඩිදියුණු කරමින් ප්‍රදේශයේ බෞද්ධ පුනර්ජීවනයක් ඇති කිරීම, ගම සහ පන්සල එකට යාවිය
යුතු ය යන බෞද්ධ සංකල්පය ප්‍රායෝගික කරවීම රටේ සැම විහාරස්ථානයකටම මහඟු ආදර්ශයක්
වීම සඳහා මෙම පෙරහර වාර්ෂිකව පැවැත්වීමේ අරමුණු වේ.
කෙසේ නමුත් වර්ෂ 100කට වඩා පැරැණි මෙම විහාරස්ථානයේ විහාරස්ථ දායක සභාව, හා කුළඟන
සමිතිය, විහාරස්ථ දුරුතු මහා පෙරහර කමිටුව සමඟ එකමුතු ව විහාරස්ථ සමිති සමාගම්
සංවිධාන සියල්ල ද ඒ ඒ පමණින් දායකත්වය සපයමින් ප්‍රදේශය අවට වෙහෙර විහාරස්ථාන පමණක්
නොව මුස්ලිම් හා කතෝලික දේවස්ථාන ද හින්දු ආගමේ භක්තිකයන්ගේ කෝවිල ද ආදී වශයෙන්
ආගමික එකමුතුව ද රාජ්‍ය අනුග්‍රහය, වයඹ පළාත් සභාවේ අනුග්‍රහය හා නගරයේ මූල්‍ය
ආයතන, අර්ධ රාජ්‍ය ආයතන, ප්‍රදේශයේ පාසල් හා පුද්ගලික ආයතන සහ දානපතියන් ආදී වශයෙන්
පුළුල් මහජන දායකත්වයක් හා සහභාගිත්වයක් ඇතුව මෙම ඓතිහාසික කුලියාපිටිය දුරුතු මහා
පෙරහර 28 වැනි වරට පැවැත්වෙන්නේ ජනවාරි 27 වැනි දා ය.
අයි.එම්.ඩී.ඉලංකෝන්
(දායක සභාව සහ දුරුතු පෙරහර කමිටුව)
****
සංස්කෘතික උරුමයට ජීවය ලබා දෙන
වයඹ සත්කෝරළයේ බෞද්ධ කලා මංගල්ලය
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ග මහා පණ්ඩිත
අතිපූජ්‍ය මකුලෑවේ විමල මහා නාහිමි
මීට දශක තුනකට පමණ පෙර චාම් ලෙස ඇරඹි ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරස්ථ
දුරුතු පෙරහර ක්‍රමයෙන් වැඩි දියුණු වෙමින් අද වන විට ඉතාම දර්ශනීය පෙරහරක් බවට
පත්ව ඇති බව සතුටින් සඳහන් කළ හැකි ය. එම පෙරහර මෙම වසරේත් ජනවාරි 27 දින
පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව දැන ගන්නට ලැබීමෙන් ඉමහත් සතුටට පත්වීමි.
පනස් තුන්වැනි ජන්ම දිනය ද සමරමින් 28 වැනි වරටත් කුලියාපිටිය දුරුතු මහා පෙරහර
පවත්වන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති ලේඛකාධිකාරි ශාස්ත්‍රපති පූජ්‍යතර
පල්ලේකාගම රතනභාරතී ස්ථවිරපාදයන් වහන්සේ පුරාතන සිංහල පෙරහර සංස්කෘතික උරුමයට ජීවය
ලබා දෙන වයඹ සත්කෝරලයේ බෞද්ධ කලා මහා මංගල්‍යය වූ කුලියාපිටිය දුරුතු මහා පෙරහරේ
පුරෝගාමියාණෝ වෙති.
තම ගුරුදේවයන් වහන්සේ වන මහාචාර්ය අතිපූජ්‍ය කබලෑවේ පියබාරති අනුනායක මහා
ස්වාමිපාදයන් වහන්සේ “සංඝමිත්තා” පෙරහර නමින් ආරම්භ කළ පුංචි පෙරහර අද මහියංගණය,
කැලණිය, ගංගාරාම පෙරහර ආදි මහා පෙරහර මංගල්‍යයන් මෙන් වයඹට ද මහ පෙරහරක් ලෙස දායාද
කිරීමට පල්ලේකාගම රතනභාරති ස්ථවිර පාදයන් වහන්සේ සමත් ව සිටිති.
අප නිකායික පිළිවෙත් ආරක්ෂා කරගෙන තරුණ භික්ෂුවක් ලෙස ප්‍රශංසනීය ආගමික, ජාතික,
සාමාජික මෙහෙවරක් සිදු කරන අපේ රතනභාරති ස්ථවිරපාදයන් වහන්සේ නිකාය තුළින් ද පැවරෙන
රාජකාරි නිසි අයුරින් ඉටු කිරීම ද සතුටට කරුණකි.
මෙවර 28 වැනි වරට පැවැත්වෙන මෙම දුරුතු පෙරහර තවත් චිරාත් කාලයක් අඛන්ඩව පවත්වාගෙන
යෑම සඳහා පල්ලේකාගම රතනභාරති ස්ථවිරපාදයන් වහන්සේට හා පෙරහර සංවිධාන කමිටුවේ සියලු
සාමාජිකයන් වෙත ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා’යි ප්‍රාර්ථනා කරම්හ.
****
බෞද්ධ සංකල්ප ප්‍රායෝගික කරවීම
මහඟු ආදර්ශයක්
දියවඩන නිලමේ
ප්‍රදීප් නිලංග දෑල
කුලියාපිටිය දුරුතු මහා පෙරහර වෙනුවෙන් සකස් කරනු ලබන සමරු කලාපය සඳහා සුභපැතුම්
පණිවිඩයක් ලබාදීමට හැකිවීම අතිශය සතුටට කාරණයකි.
වර්තමාන විහාරාධිපති ධුරය හොබවන ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරතී නාහිමියෝ ආගමික,
සාමාජික හා ප්‍රජා සේවාත්මක වශයෙන් සිදුකරගෙන යනු ලබන සිය ශාසනික කාර්යභාරය
අවිච්ඡින්නව පවත්වාගෙන යාම ගැන සමස්ත බෞද්ධ ජනතාවගේ ම කෘතවේදීත්වය විහාරාධිපති
ස්වාමින්ද්‍රයන් වහන්සේට හිමි විය යුතු ය.
ප්‍රදේශවාසීන් ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල ද, දානපතියන් සහ අවට ආගමික
සිද්ධස්ථානවල ද සහභාගීත්වය ලබාගෙන පෙරහර කටයුතු සංවිධානය කිරීමෙන් අප නායක හිමියන්
ගම සහ පන්සල එකට යා විය යුතු ය යන බෞද්ධ සංකල්පය ප්‍රායෝගික කරවීම රටේ සෑම බෞද්ධ
විහාරස්ථානයකට ම මහඟු ආදර්ශයක් යැයි මම විශ්වාස කරමි.
මෙම අසිරිමත් පෙරහර වඩාත් උත්කර්ෂවත් අයුරින් පවත්වා ගැනීමට ගරුතර නායක හිමියන්
ඇතුළු සියලුම දායක කාරකාදීන්ට ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලැබේවා'යි මම
ප්‍රාර්ථනා කරමි.
****
බුද්ධාදී සූවිසි ගුණ බලයෙන්
සියලු රැකවරණ වේවා
කුලියාපිටිය අස්සැද්දුම ශ්‍රී බුද්ධ ශාසනාලංකාර
මූල මහා විහාරයේ
විහාරාධිපති හා ප්‍රධාන අනුශාසක පරියත්ති ලේඛකාධිකාරි
ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරතී නාහිමි
බුදු දහමේ ආභාසයෙන් මෙරටට උරුම වූ කලා ශිල්ප අතර පෙරහර සඳහා හිමිවන්නේ සුවිශේෂි
ස්ථානයකි. සංඝමිත්තා මහරහත් මහෙණින් වහන්සේ ජය ශී‍්‍ර මහ බෝධින් වහන්සේ වැඩම කරවූ
තැන් පටන් ඒ සඳහා විවිධ පුද පූජා, පෙරහර පැවැත්වූවා සේ ම ශී‍්‍රමත් දළදා වහන්සේ
වැඩම කරවූ අවස්ථාවේ සිට ඒ සඳහා ද ඊටත් වඩා උසස් අයුරින් පුද පූජා හා පෙරහර පවත්වන
ලදී. පසු කල දළදා වහන්සේ ලක්දිව රාජ්‍ය සංකේතය ද වූහ.
වංසකතා තොරතුරුවලට අනුව දළදා පෙරහර ආරම්භ වී ඇත්තේ ක්‍රි.ව. 4 වන සියවසේ දී ය.
කිත්සිරිමෙවන් රජ දවස රාජකීය දළදා මැදුරේ සිට අභයගිරි විහාරයට දළදා වහන්සේ පෙරහරින්
වැඩම කරවා පුද පූජා පවත්වා ඒ සඳහා පුද පූජා විධි නියම කළ බව ද සඳහන් වේ. එතැන් සිට
දළදා වහන්සේ අරමුණු කරගෙන වාර්ෂිකව පෙරහර පැවැත්වීම සිදු කළ බව ඉතිහාස තොරතුරුවල
සඳහන් වේ.
වර්තමානය වන විට මහනුවර ඇසළ පෙරහරට අමතරව ලක්දිව විවිධ ඓතිහාසික සිද්ධස්ථානවල පළාත්
මට්ටමින් විවිධ විහාරස්ථානවල ද, වාර්ෂිකව පෙරහර පැවැත්වීම අප රටේ සම්ප්‍රදායක් බවට
පත්ව ඇත. ඒ අතරට වයඹ සත්කෝරලය කේන්ද්‍ර කරගෙන “කුලියාපිටිය ඇස්සැද්දුම ශී‍්‍ර බුද්ධ
ශාසනාලංකාර මූල මහා විහාරීය, ඓතිහාසික කුලියාපිටිය දුරුතු මහා පෙරහර” එක් වී තිබීම
ද අතිශයින් අගය කළ යුතු ය.
වාර්ෂිකව පවත්වනු ලබන ඓතිහාසික කුලියාපිටිය දුරුතු මහ පෙරහර 28 වන වරටත්, 2023
ජනවාරි මස 27 වන දින මහා විහාරවංශික ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක
අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමලාභිධාන මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්
හා ප්‍රදේශයේ සම්භාවනීය මහා සංඝරත්නයේ ද, අන්‍ය ආගමික පූජ්‍ය ප්‍රසාදීන් වහන්සේලාගේ
ද, ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේ ප්‍රධානීන්ද ආයතන ප්‍රධානීන් ඇතුළු සම්භාවනීය
අමුත්තන්ගේ සහභාගිත්වයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මියන් රාජා මංගල හස්තියා මත
සධාතුක කරඬුව තැන්පත් කිරීමෙන් පසු පෙරහර වීථි සංචාරය කෙරේ. එය සාර්ථක කර ගැනීම
සඳහා ඔබ සැමගේ දායකත්වය ශාසන දයාවෙන් අපේක්ෂා කරමු.
බුද්ධාදී සූවිසි ගුණ බලයෙන්, සිරි දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් ජය ශී‍්‍ර මහා බෝ
හාමුදුරුවන්ගේ පිහිටෙන් වර්තමානයේ මේ රටේ ඇති වී තිබෙන විවිධ වු අර්බුද හා උවදුරු
දුරු වී ලැබුණා වූ නව වසර නීරෝගිමත් හා සමෘද්ධිමත් වසරක් වේවා'යි ප්‍රාර්ථනා කරමි.
|