Print this Article


තමා නසන ආයුධය

තමා නසන ආයුධය

බුදුරජාණන් වහන්සේ නොකළ යුතු වෙළඳාම් පහක් දේශනා කළහ. එයට හේතුව ඒ තුළින් මානව සත්වයාටම කරදරවලට මුහුණ පාන්නට සිදුවන බැවිනි.

සතුන් හා මිනිසුන් වෙළඳාම, අවි ආයුධ වෙළදාම, විස වෙළදාම, මස් වෙළදාම හා මත්ද්‍රව්‍ය වෙළදාම ය.

එම වෙළඳාම් පහ අතරින් අවි ආයුධ වෙළෙඳාම වුව ද එදිනෙදා ජීවිතය තුළ නුසුදුසු රැකියාවන් ය. නමුදු මිනිසුන් ජීවත් වීම උදෙසා හොඳ, නරක ගැන නොසිතා විවිධ වෙළඳාම් සිදු කරනු ඇත. භෞතික වශයෙන් එවැනි අවි ආයුධ තුළින් වුව ද සත්වයාට හිරිහැර කරදර නිරන්තරයෙන් සිදුවේ. අද නවීන ලෝකය තුළ ක්ෂණයකින් මිනිසුන්, ගහකොළ, සතාසිවුපාවුන් විනාශ කිරීමේ උපක්‍රම බිහිවී ඇත.

නමුදු මෙතැනදී දේශනා කරනු ලබන්නේ භෞතික වස්තුවකට වඩා තම මානසික අවියක් පිළිබඳ කතාවකි. එතුළින් තමන් අනිවාර්යයෙන් ම විනාශ වේ. අනුනට ද අයහපතක් සිදු වේ. මෙලොවට ද පරලොවට ද අයහපත කැඳවනු ඇත. එම ආයුධය ලොව බලවත් ම ආයුධය කීවොත් ඉතා නිවැරැදි ය. ඒ බව බුදු හිමි පැහැදිලිව දේශනා කළහ. බුදු හිමි සසර පුරාවට තමන් නසන ආයුධය විනාශ කිරීමට විශාල පරිශ්‍රමයක් දැරූහ. එය සඵල වීමේ ප්‍රතිඵලයක් වශයෙන් බුද්ධත්වය පෙන්වාදීමට පුළුවන.

එය වෛරය, ක්‍රෝධය, ද්වේෂය, තරහව, පළිගැනීම හිංසාව ආදී විවිධ වචනවලින් විහිදී ගිය ද එකම මනසින් නැඟෙන අකුසල සිතිවිලි ධාරාවක් වශයෙන් විකාශය වේ. ප්‍රධාන අකුසල මූල තුන අතර ද ද්වේශය යනුවෙන් එය ඉතා ප්‍රකට ය.

දස මාර සේනාව අතර මක්ඛ – තම්භ යනුවෙන් තම්භ යන්නෙන් සිතේ තද ගතිය පෙන්වා දී ඇත. පංචනීවරණ ධර්ම තුළ එය ඉතා මැනවින් විස්තර කොට ඇත.

සිතේ ප්‍රභාස්වර බව පිටට ඒමට ඉඩ නොදී සිත ආවරණය කරන ප්‍රධාන ආයුධයක් ලෙස ව්‍යාපාදය පංච නීවරණයන් අතර එකක් ලෙස පෙන්වා දී ඇත. ව්‍යාපාදය යනු අන්‍යයෝ නැසෙත්වා’යි යටි සිතේ ද්වේශ සහගතව මෝහයෙන් උපදනා අකුසල් චේතනාවයි. මෙය බෙහෙවින් ඊර්ෂ්‍යාව පෙරටු කොට ගෙන පහළ වේ.

තමන් නසන ප්‍රධාන ආයුධය ක්‍රෝධය, වෛරය, ව්‍යාපාදය, නම් එය බුදුරදුන් දෙසූ සදාතනික දහමකි. එතුළින් කිසිදා තමනට සැනසීමක් නොලැබේ. එය ධම්ම පදයේ පළමු වග්ගය තුළින් ම දේශනා කොට ඇත.

“නහි වේරේන වේරානි – සම්මන්තීධ කුදාචනං”

අවේරේන ච සම්මන්ති – එස ධම්මෝ සනන්තනො”

මේ විශ්වයේ කිසිම තැනක, කිසිම විටෙක, වෛරයෙන් වෛරය සන්සිඳෙන්නේ නැත. අවෛරයෙන් ම වෛරය සන්සිඳේ. මෙය සදාකාලිකව පිළිගත් ධර්මතාවය යි.

අවෛරය යනු වෛර නොකිරීමයි. එය මෛත්‍රියට සම්බන්ධ වන්නකි. තමන් නසන ආයුධය විනාශ කළ හැකි මාර්ගය වන්නේ මෛත්‍රීය කිරීම ය.

එය බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන් පෙන්වා වදාළ, උන්වහන්සේ අගය කළ උතුම් මනුෂ්‍ය ගුණ ධර්මයකි.

තමන් නසන ආයුධය නොහොත් වෛරය, ක්‍රෝධය, ව්‍යාපාදය උපන් කල්හි මෛත්‍රි පැත්තට යොමු වීම තුළින් සැනසීමක් ලබා ගැනීමට පුළුවන.

මෛත්‍රී භාවනා නිමිති හැදෑරීම, මෛත්‍රී භාවනාවේ යෙදීම, කර්මය ස්වකීය කොට සිතීම, නුවණින් සලකා බැලීම, කල්‍යාණ මිත්‍ර ආශ්‍රය හා ව්‍යාපාදය දුරුවීමට අදාළ කථා ශ්‍රවණය කිරීම

මේ ආදි වශයෙන් මෛත්‍රී ගුණ ධර්මය පැත්තට යොමු වීම තුළින් තමන් නසන ප්‍රධාන ආයුධය විනාශ කිරීමට පුළුවන. තමන්ටත්, අනුන්ටත්, මෙලොවටත් – පරලොවටත් අහිත පිණිස අවැඩ පිණිස පවතින එම අකුසල මූලය විනාශ කිරීමට නොහැකි නම් නිරන්තරයෙන් යටපත් කළ යුතු ය. ඒ සඳහා ඉහත පාඩම් ක්‍රියාවට නැංවිය යුතු ය. එතුළින් තමන්ගේ ජීවිතත්, අනුන්ගේ ජීවිතත් සුමඟට යොමු වෙනවා සේ ම සියලු සත්වයින්ට ම යහපතක් ම සිදුවනවාට කිසිදු සැකයක් නොමැත.