Print this Article


පහන් සිතක කවි

සසර දිනන මඟ

පිපි මල් පරව විසිරෙයි මිහිතලය මත
තව තව දහස් ගණනින් මල් පිපෙනු ඇත
මේ මල්වලින් පැවසෙන නිය දහම මත
සසරින් දිනන මඟ සටහන් වෙලා ඇත

පුද පුද සුවඳ මල් බුදුහිමි දෙපා මුල
අනියත අනත් දුක් සසරෙහි පලා පල
දැනගෙන කෙලෙස් පළවා හැර හලා හල
සැනසුම ලබනු මැන නොවැටී අපාවල


දිනුම

පස් පව් අත්හරීමි
දුදනන් අතැර යමි
ලද දෙයින් තුටු වෙමි
හැකි දෙයින් දන් දෙමි

අසරණ සරණ යමි
ක්‍රෝධය ද අත් හළෙමි
මුවින් දෙන පි‍්‍රයවචන
සවන් යුග සනසවමි


සිසිලස සමඟින් වඩවා සිත තොස

දිදුලයි අදත් සඳ නුබ කුස

අරිට්ඨ ඇමති ගොස් මහ භාරතය වෙත
රජුහට සැළකළා මෙහි තතු සසුන් ගත
හරියට පහදවා දඹදිව රජුගෙ සිත
සසුනට අරුණ සැලසූවා මෙලක වෙත

සම්බුදු සමිඳුගෙ උත්තම සිරිපතුල
පහසින් උතුම් වු සමනොල ගිරිකුල
තරණය කරන ගමනේ පිරුමට මුල
සිහිපත් කරන්නේ උඳුවප් සඳ දිදුල


වන්දනාවක ගියෙමි

ජීවිතයේ පළමු කොට මා ලත් වරම
ලැබගෙන සන්තොසින් හදපිරි තුටින් තම
පූජා බවේ මූලික වූ අසම සම
දැක ගනු රිසින් අනුරාපුර ගියෙමි මම

මගෙ මිත්තනිය මා සමඟින් ගිය හින්දා
රන්වැලි සෑයේ සුදු බුදු රැස් රැලි වැන්දා
පවුරේ ඇතුන් දෑතින් ඇද බැලු හින්දා
ගණනය කරනූ බැරි වූයේ ඇයි මන්දා


සමුගත් නිමේෂයේ

ගුරු ජීවිතේ කඳුළක් වෙලා
ගුරු ගීතයේ තත් වියළිලා
 අනේ සිත මියදිලා
මා සමුඅරන් මුව ගොළුවෙලා

හිමිදිරි උදේ හසරැලි නඟන්
දෝතින් ගෙනත් මල් වට්ටියෙන්
ඔබලා පිදු ගුරු උපහාරයෙන්
හද තුටු වෙලා සැනසී ගොසින්

දස දෙස සිටී අපේ දූ පුතුන්
වියතුන් වෙලා ලොව නන් දෙසින්
මා දුටු සැනින් බැති බර සිතින්
ළඟටම පැමිණ වැඳ වැටි දනින්

දරුවන් කෙරේ මුළු හදවතින්
ශිල්පය දෙමින් හද පිරි තුටින්
ගුරු ගීතයෙන් මා සමු අරන්
වෙන් වී සදා යන්නෙමි ඉතින්


යටත්වීම

මුහුදෙ වෙරළ ඇත
මුහුදෙ රැලි ද ඇත

මුහුදෙ සොබා
වෙරළට රළ ගෙන ඒමයි

රැලි වෙරළට පැමිණි වහා
බිඳී අතුරුදහන් වෙනා

වෙරළේ ඉම ඉක්මවා
යන්නට බැහැ රැලිවලටා

එලෙසින්මයි......
තිලකුණු මුහුදේ වෙරළ වගෙයි

සංවේදන ඉඳුරන් විසිනේ
සිත් තුළ ඇති කරනා
ආරම්මණයන් සතු සියලු ධර්මතා
අනියත වේ තිලකුණු හමුවේ

රැලි වෙරළේ ඉම වෙතට යටත් සේ
ලෝ සත තිලකුණුවලට යටත් වේ


සුවපත් කළ මැනවි

සතුට සොයා අප යන මේ ගමන් මඟ
දුක පමණයි ඇත්තෙ යන අතර මඟ
සැපතෙ දි පමණි සිටි අය තම තමන් ළඟ
අටලෝ දහම පෙන්වාලයි නිවන් මඟ

උදයට පිපුණු මල හවසට පරවෙනවා
ජීවිත ගමනෙ අනියත බව පවසනවා
කළ පින් පව් අනුව දිවි තීරණ වෙනවා
අවසන් ගමන නොදැනිම යන්නට වෙනවා


ඇත්ත

පණ නම් තණ අග පිණිබිදු මෙන් යැයි බුදු සමිඳාණන් දෙසූ දහමයි
මරණය කවදා කොතැනක වේ දැයි, කිසිවකුවත් නොම දන්න වගයි
අවසන් වා පොද සුළඟට මුසු වී දින දෙකකින් කය බලනු වටියි
ඉදිමි කුණුවී මේ මුළු සිරුර ම පිළිකුල දනවයි දුගඳ හමයි


සැනසුම

දුක් කම්කටොලු ඈ කොයිවත් නොමැති හිඟ
ජීවන මඟ අසූහයවැනි කණුව ළඟ
නැවතී බලමි ආපසු මම ආව මඟ
නිහඬයි සාන්තයි අද නැත එහි සුළඟ

පහන් සිතක කවි යනුවෙන් නෙත ගැටුණා
හදවත මගේ සම්බුදු දහමෙන් වෙළුණා
අදහස් බිඳක් එහි පළ කෙරුමට සිතුණා
බුදුදහමෙහි බෙලෙන් හදවත් සැනසේවා