Print this Article


පහන් සිතක කවි

 

පිරිනිවන

සල්වනේ උපවත්තන මල්ල දරුවනේ
සැතපුණේ සල් ගස් දෙකක් අතර නේ
දරුවනේ ඔබ දම් පැන නැතුව දැයි අනේ
මොහොතකින් බුදුහිමි පිරිනිවනෙ යනවනේ

කිම අනේ ගස්වල මල් අද මිලිණ වුණේ
මිහිකතත් කම්පා වී ලොවම සෙළවුණේ
නැහැ අනේ හිරු රජිඳුන් කිමද සැඟවුණේ
දෙවියනේ දම් ඇස දැන් නිවී යනවනේ

විහඟුනේ ගීත නාද නැත මිමිණෙන්නේ
සාවුනේ ඇයි කන්පෙති නිසංසල වුණේ
ගිරවුනේ දොඩමලු හඬ ඇයි ද ගොළු වුණේ
දෙවියනේ කිම මේ ලොව ඝන අඳුරු වුණේ


පැතුමක්

බෝපත් සැලෙනවා සිලි සිලි නාද දෙමින්
සඳ රැස් ගලනවා මළුවම එළිය කරන්
බුදු ගුණ දැනෙනවා හද තුළ සුවය දෙමින්
සම්බුදු ගුණ නිති සිහිකර දකිමු නිවන්

හදවත් තුළ සම්බුදු ගුණ නිති රන්දා
සදහම් ගඟුලේ කිමිදි මනදොළ සින්දා
මහ සඟ රුවනේ අසිරිය දෙනුවන් වින්දා
සැනසී මියෙන්නට මම තෙරුවන් වැන්දා


ස්වර්ණමාලි සෑ රදුන්

රුවන්වැලිය සාදන්නට මිහිකත වෙන් කෙරුවා
රන් තෙළඹු ගස කපන්න වෙන බව රජු දුටුවා
ගසට අරක්ගත් දේවතාවි බහින්න බැහැ කීවා
ඇයගේ ඉල්ලීම ඉටුකරනා බව රජු පැවසූවා

රන් තෙළඹු ගසෙන් බැස්ස ස්වර්ණමාලී
රාජ අණට කීකරු වී පලාගියා මාලී
පොරොන්දු වූ ලෙසට ම නම තැබුවා මාලී
එදා පටන් රුවන්වැලිය අපේ ස්වර්ණමාලී

සදෙව් ලොවින් රථ ඇවිදින් රජු වට කැරකෙන්නා
ඒ ආලෝකයෙන් මහරජු වට පිට බලමින්නා
මගේ මගේ රථයට නඟින්න කියලා අත වනනා
තුසිත ලොවින් පැමිණි රථය රජු වෙත ළං කෙරුණා


ගුණ සිහිකරමු

රත්ගඟ කුඩාවේ යන ගම උපත ලබා
ගිහිගෙය හැර දමා පරතෙර සිතෙහි තබා
පියවර තැබුව පැවිදිව කෙලෙසුනට නොබා
පේමාලෝක හිමි නමදිමි සිරස නමා

හැම පෝ දිනක බොදු දන සිත පහන් කර
දම් දෙසූ සැමට පෙන්වා නිති නිවන් දොර
මොක්පුර වැඩිය මා හිමියනි සුපින් බර
අපි වැඳ වැටෙමු ඔබ ගුණ කඳ නිදන් කර


අනිස දහම ළඟ

නොතිර කයෙහි අනිස දහම
ඔබට දෙසුව අමා දහම
ඔබ හමුවේ නැවත දෙසුම
බැහැ මට අද එහඬ නැගුම

මා වැදු මවගේ දේහය අබියස
කෙසේ දෙසන්න ද මා ඒ අනියස
කසාවත ද බැහැ ඉවත දමන්නට
අද මට සිදුවේ ගොළුවත රකිනට


දහමින් පොහොසත්ව

තිලොවට තිලක සම්බුදු හිමි සඳුනි ගරු
බුදු මඟ යනෙන සැම බෝසත් දහම් වරු
ලක් මෑණිගේ දරුවන් වෙමු ගුණෙන් පිරූ
ජය දද නඟමු දහමින් පොහොසත්ව සරු


ශක්තිය

සුළඟට ගහ කොළ සෙලවුණත්
මහා ගල් පර්වත නොසැලෙයි
ගල් තලා මතින් ඇඳ හැලෙනා
නිල් දිය දහාරා ගල්පර පරදා

ඉදිරියට ම යන්න නොසැලී
බාධක ආවත් පසුපස්සේ
මහා පර්වත දෙකයි ඔබ අසල
ඒ ඔබගේ මව්පිය දෙදෙනයි


සෙත් වේවා

ඝනදුරු දුර හැර
නැණ මඟ දොර ඇර
හිමි කළ මෙහෙවර
අමර මැවේ

කහවත එළි කළ
ගුරු දෙවි මඟ ගිය

සෝමවෙහෙර බිම
ඔද තෙද කළ සඳ
පරහිත ගමනක
පිය මැවුනේ...

බුදුන් පුදලා - පහනක් දල්වා
සුවඳ දුමින් කුසුමින් පුදලා
වන්දේ වන්දේ අමිල විමල හිමි
සාධු සාධු අපි සෙත් පතලා


ආදීනව නොදුටු නිසයි

පඨවි ආපෝ තේජෝ වායෝ
සතර ධාතුවලින් සැදී
ඇස කන දිව නැහැය සිරුර
හිමි විය ලෝකය දකින්න

ඇසින් රූප පෙන්වා දෙයි
කනින් මියුරු හඬ ද අසයි
දිවෙන් රසයෙ සුවගෙන දී
නැහැයෙන් ගඳ සුවඳ විඳී

බැඳෙමින් සිතට ගතට සුවය
සසරට එක්කොට දුක් කඳ
බව ගමනයි මේ ඇදෙන්නෙ
රහස දන්නෙ නැහැ කිසිවෙක්

කබ කෙළ සොටු කලාඳුරු ද
පෙරෙමින් දහඩිය සිරුරේ
ආදීනව නොදිටි නිසයි
ආස්වාදයට ඇලුණේ


මම වැඳ වැටෙමි

තබමින් රන්උපුල් නිලුපුල් කුසුම් පොදී
දොවමින් රන් දියෙන් හිමිපා යුගල වැදී
සුවඳින් පිළිරුවට සත පා බැතින් සැදී
තිස්තුන් පැයම වැන්දත් මගෙ සිතට මදී

තිලොවට තිලක වී ගෞතම මුනිදු නමින්
සව් සත මුදන අටියෙන් රුදු සසර බියෙන්
සදහම් අමා දහමින් සල සලා පවන්
සුමඟට යොමු කළා අදමිටු කුරිරු දනන්

සව් දන සුමග වෙත හරවන නියාවෙනි
සදහම් දෙසා පහදා දුන් ඔවාමිනි
තුන් ලෝකයම එකලු කල දයාවෙනි
මම වැඳ වැටෙමි පා මුල බුදු පියාණෙනි