Print this Article


සිත සරසන අබරණ ජීවිතයම බබළවයි

සිත සරසන අබරණ ජීවිතයම බබළවයි

සැවැත්නුවර දෙවුරම් වෙහෙරවාසී ලකුණ්ටක භද්දිය තෙරණුවෝ බොහෝ ගුණවත් ය. ලද දෙයින් සතුටු ව කල් ගෙවති. උන්වහන්සේ පෙර අත්භවයෙහි ද අනේක විධ පින්කම්වල නියැළුණහ.

එසේ වුව ද යම් යම් පින්කම්වල දී සිදුකළ වංචාසහගත ක්‍රියාවන් ද විය.

පෙර ආත්ම භවයක එක් පුද්ගලයෙක් තම වියදමෙන් ඉතා උසස් ආකාරයේ පින්කමක් සූදානම් කළේ ය. එය මහා පින්කමකි. එහෙත් මෙම පුද්ගලයා ඒ පින්කමට වැයවන වියදම ඉතා අඩු කොට පින්කම සුළුවෙන් කරවිය. ඒ හේතු කොට මේ අත්භවයෙහි ඉතා මිටි, කුඩා සිරුරක් හිමිව උපන්නේ ය. පැවිදි වූ පසු හිමියන් දකින අනෙක් පිරිස් සිතුවේ කුඩා නමක් ලෙසිනි. පින්කම කුඩාවට කරවීම හේතු කොට මිටි ජීවිතයක් ලැබුණත්, ගුණ යහපත් බවින් උන්වහන්සේ බොහෝ උසස් වූහ.

ලකුණ්ටක භද්දිය තෙරුන් වහන්සේ රහත්භාවයට පත්ව සිටියහ. එහෙත් මේ තෙරුන් රහත් යැයි කිසිවකුත් දැන නොසිටියහ. එබැවින් විහාරයේ වැඩ සිටින හෙරණ වහන්සේ එකතුව ඇතැම්විට කවටකම් කරති. තවත් විටෙක කන්පෙත්තෙන් පවා අදිමින් කවටකම් කරති. විහාරයෙහි නියමිත වතාවත් නිමකොට විවේකීව කාලය ගත කරන අවස්ථාවන්හි දී කුඩා වහන්දෑ මේ තෙරුන් වහන්සේගේ කන අල්ලාගෙන “කිමෙක්” ද කුඩා පියාණනි. මේ සසුනෙහි කළකිරීම් නැද්දැ'යි අසති.

ලකුණ්ටකභද්දිය තෙරුන් වහන්සේ බොළඳ අයගේ කෙළිකවටකම් යැයි ඉවසති. කෙතරම් කෙලිකවටකම් කළ ද ඔහු බණින්නේ ද නැත. තරහ ගන්නේ ද නැත. කවුරු මොනවා කීවත් නෙළුම් පතෙහි දිය නොරැදෙන්නා සේ තෙරුන් වහන්සේගේ සිතේ ද නොරැදෙන්නේ ය.

සෙලො යථා එකඝනො
වාතෙන න සමීර ති
එවං නින්දා පසංසාසු
න සමිඤ්ජන්ති පණ්ඩිතා

ගල්පව්වක් යම් සේ සුළඟින් නොසැලේ ද, එසේම නුවණැත්තෝ නිගාවෙහි ද, පැසසුම් හි ද නො සැලෙති.

ලකුණ්ටක භද්දිය තෙරුන් වහන්සේ මේ කෙළිකවටකම් නො සලකා, ඉවසන අයුරු පුදුම යැයි දම් සභාවේ කතාවක් ඇතිවිය. ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ මේ කරුණ නිමිති කොට මෙසේ දේශනා කරන සේක.

“හාත්පසින් ම ඝන වූ ගල් පවුරක් යම් සේ සිව්දිගින් හමන සුළඟින් නො සැලෙන්නේ ද, එසේ ම නුවණැති අය නින්දා, ප්‍රශංසා දෙකෙහි ම නොසැලෙන්නේ ය.

එනම් අන්‍යයන්ගෙන් තමන් කරා පැමිණෙන ඇණුම්, බැනුම්, විහිළු කිරීම්, නිගා කිරීම් හෝ ගුණ වැයීම්, ගරු බුහුමන් කිරීම් පැසසුමකට හෝ උරණවීමකට, උඩඟුවීමකට නොපැමිණ සෑම දෙයක් ම මැදහත් ව දරුවන් නොසැලී, නිසලව සිටිනා බව දේශනා කළ සේක.

අපට ද මේ සමාජයේ ජීවත්වීමේ දී එනම්, රැකියාව, පාසල, පොදු ස්ථාන ප්‍රවාහනය හෝ නොයෙක් අවස්ථාවන් හි දී විහිළු - තහළු, ඇණුම් - බැණුම්, නින්දා - ප්‍රශංසා, නිගා කිරීම්, ගුණ වැයීම්, ගරු - බුහුමන් ලැබීම් සිදුවේ. ඒ අවස්ථාවේ තමන්ගේ සිතට දුකක් හෝ සතුටක් ඇති වේ ද, ඒ කිසිදු අවස්ථාවක උරණවීමකට හෝ උඩඟුවීමකට පත් නොවිය යුතු ය.

ඒ ඒ අවස්ථානුකූලව ඔබ මැදහත් සිතින් නොසැලී සිටීමට වග බලාගත යුතු ය. එය නුවණැතියන්ගේ ලක්ෂණයකි.

ඔබත් නුවණැතියෙක් සේ මේ සමාජයේ හැසිරෙන්නට වග බලා ගන්න. එය මේ පෘථග්ජන සමාජයේ ජීවත්වීමේ දී වඩා වැදගත් වේවි. එපමණක් නොවෙයි. නන්විධ ආභරණින් ගත නොසැරසුවත්, මේ අපූර්ව ගතිගුණ ඔබ බබළන ආභරණ බවට පත් වනු ඇත.