Print this Article


දුසිරිතට වැට බැඳ සුසිරිතට මඟ සදමු

දුසිරිතට වැට බැඳ සුසිරිතට මඟ සදමු

සියලු සත්වයෝ සැප විඳීමට කැමැති ය. දුක් විඳීමට අකැමැති ය. එය මෙලොව පරලොව දෙලොවට ම අදාළ ය. ආර්ථික සංවර්ධනය තිබුණූ පමණින් පූර්ණ ජීවිත සංවර්ධනයක් ඇති නොවේ. ඒ සඳහා ආධ්‍යාත්මික සංවර්ධනයක් ද තිබිය යුතු ය. එකී සංවර්ධනය උදාකර ගැනීමට බුදුසමය සියලු ලෝ වැසියන්ට නිවැරැදි, නිරවුල් මඟ පෙන්වීමක් ලබා දෙයි.

සියලු ලෝ වාසීන්ගේ මෙලොව හිත සුව පිණිස පවතින කරුණු හතරකි. එනම්,

උට්ඨාන සම්පදා

ධනයත්, බුද්ධියත් දෙක ලබා ගැනීම සඳහා කරන කටයුතුවල දී අව්ව, වැස්ස, රැය, දාවල, සීතල, උණුසුම, ආහාර අනුභව කළ වේලාව, බඩගිනි වේලාව ආදි කිසිවක් නොසැලකිය යුතු ය.ධනය වැඩියෙන් ලබා ගත හැකි කුමන වේලාවේ වුව වැඩ කිරීමටත්, බුද්ධිය වැඩිපුර ලබා ගත හැකි කුමන වේලාවේ වුව ඒ කාර්යයෙහි යෙදීමටත් පෙළඹිය යුතු ය. කලට වේලාවට, ඇසුරු කරන පුද්ගලයාට සුදුසු පරිදි සිතා මතා අවස්ථාවෝචිත ලෙස අනලස්ව කටයුතු කිරීම කළ යුතු ය.

ආරක්ඛ සම්පදා

උත්සාහයෙන් රැස්කර ගත් ධනය හෝ බුද්ධිය නැති වී යා නොදී රැක ගැනීමයි. විවිධ ව්‍යාපාර මඟින්, රැකියා මඟින් රැස් කළ ධනයත්, පාසල් යාමෙන්, ගුරු ඇසුරින්, බණදහම් ඇසීමෙන් , පතපොත කියවීමෙන්, වැඩිහිටියන් උගතුන් හා සාකච්ඡා කිරීමෙන්, රටතොට ඇවිදීමෙන් ලබා ගත් බුද්ධිමය ධනයත්, විනාශ වීමට ගතවනුයේ සුළු වේලාවකි. රජුන්ගෙන්, සොරුන්ගෙන්, ගින්නෙන්, වතුරෙන්, වේයන්, මීයන් කෑමෙන්, සුරාවෙන්, සූදුවෙන්, බේබදුකමෙන්, සල්ලාලකමෙන් උපයන ධනය නැති වෙයි.

උගත් ධර්මය, ශිල්පය, ශාස්ත්‍රය අභ්‍යාසයෙහි නොයෙදීමෙන්, අමතකව යාමෙන්, අභාවිතයෙන් නැතිවී යා හැකියි. කවරාකාරයකින්වත් උපයා ගත් ධනය, ලබා ගත් දැනුම බුද්ධිය නැති වී යා නොදී රැක ගැනීමෙහි පමණක් නොව, ඒවා වැඩි දියුණු කර ආරක්ෂා කර ගැනීමෙහි කාර්යශීලිව දූරදර්ශීව, අවස්ථාවෝචිත ව, ඉවසිලිවන්තව, සිහිනුවණින් යෙදී කටයුතු කොට එකී ධනයත්, බුද්ධියත් දියුණු කොට, සංවර්ධනය කොට තහවුරුව තබා ගැනීමට දන්නා බවයි.

කල්‍යාණ මිත්තතා

හොඳ විනයක් ඇති, සැදැහැවත්, ත්‍යාගවත්, නැණවත් තමන්ට වඩා ගුණධර්මවලින් දියුණු සුරාවෙන් සූදුවෙන් සල්ලාලකමින් චරිතය කිලිටි කර නොගත්, මඟ නොමඟ නිවැරැදි ව පෙන්වා දීමෙහි සමත් කාරුණික පුද්ගලයා ධනවතකු නොවූව ද කල්‍යාණ මිත්‍රයෙකි. එබඳු තැනැත්තා ධන, නිල ආදියෙනුත් යුක්තනම් පරිපූර්ණ කල්‍යාණ මිත්‍රයෙක් වන්නේ ය.

එබඳු ඇසුරින් තමාගේ ගුණධර්ම වැඩි දියුණු වේ.

සමජීවිකතා

තමන්ගේ ආදායමට සරිලන පරිද්දෙන් වියදම් කිරීමට දන්නා බවයි. ආදායමට ඔරොත්තු නොදෙන අයුරින් ගේ දොර, ආහාරපාන, ඇඳුම් පැළඳුම් ආදී බොරු ආටෝප වැඩිකර ගන්නට යාමෙන් රටට ණය ගැතියෙක් වීමට සිදුවේ. වර්ණවත් ණය ගැති ජීවිතයට වඩා චාම් වූ ද, පිරිසුදු වූ ද ණය නැති නිදහස් ජීවිතය සැපත හා සහනය පිණිස වන්නේ ය. ස්වකීය ආදායම සතර කොටසකට බෙදා එක කොටසක් එදිනෙදා පරිභෝගය සඳහා යෙදීම ද, කොටස් දෙකක් ධනෝපාර්ජනය සඳහා වූ ව්‍යාපාරික කටයුතු සඳහා යෙදීම ද, සතරවැනි කොටස ආපදාවක දී ගැනීම සඳහා තැන්පත් කොට තැබීම ද බෞද්ධ ආර්ථික උපදේශය වන අතර, මෙසේ දැන ක්‍රියා කිරීම සමජීවිකතාව වන්නේ ය.

ධනය ඉපැයීම අමාරු ය. ඒ සඳහා දැඩි වෙහෙසක් ගත යුතුයි. නමුත් ධනය වියදම් කිරීම ඉතා පහසු ය. ඒ සඳහා බොහෝ මාර්ග ද තිබේ. ලෝකයේ වසන සියලු පුද්ගලයන්ගේ ධන භෝග සම්පත් විනාශයට බලපාන හේතු හතරක් තිබේ. සල්ලාලකම, බේබදුකම, සූදුව හා පාප මිත්‍රයන් ඇසුර යි. මෙම කරුණුවලට අමතරව අලසකම තවත් ප්‍රධාන හේතුවකි.

පරලොව හිත සුව පිණිස දියුණු කළ යුතු ගුණධර්ම හතරක් ද තිබේ.

සද්ධා සම්පදා

තෙරුවන් කෙරෙහි පැහැදීම හා විශ්වාසය ද, කර්ම කර්මඵල කෙරෙහි විශ්වාසය ද ශ්‍රද්ධාව ලෙස සැලකිය හැකි ය. ශ්‍රද්ධාව ඇති තැනැත්තා තෙරුවන් කෙරෙහි ප්‍රසාදයෙන් ගුණදහම් දියුණු කරන අතර, කර්මඵල විශ්වාසය තුළින් කායික වැරැදි, වාචසික වැරැදි නොකරයි. සිතිවිලි ද පිරිසුදු කර ගැනීමට වෙර දරයි. එනිසාම ඔහුගේ පැවැත්ම පරලොව හිතසුව පිණිස ම වන්නේ ය.

සීල සම්පදා

දස කුසලයන්හි යෙදෙමින් ත්‍රිවිධ කාය දුශ්චරිතයෙන්, චතුර්විධ වාග් දුශ්චරිතයෙන් වැළකී සිටීම සීල සම්පත්තිය යි. සිල්වත් අයට පරලොව යහපතම මිස අයහපතක් නම් නොවන්නේ ය.

චාග සම්පදා

නැති බැරි අයට තමන් හරිහම්බ කරගත් ධනයෙන්, වස්තුවෙන්, මෙන් ම ශ්‍රමයෙන් වේවා, වචනයකින් වේවා සැනසීම සඳහා පරිත්‍යාගයක් කිරීමට ඉදිරිපත් වීමයි.

ප්‍රඥා සම්පදා

සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය දන්නා නුවණ ප්‍රඥාව යි. අනිත්‍ය, දුක්ඛ,අනාත්ම හෙවත් හේතුන් නිසා හටගත් සියලු ධර්මයන්ගේ වෙනස්වීමත්, වෙනස්වීම ඇති තැන පවත්නා දුකත්. වෙනස්වීම හා දුක පවත්නා දෙය තමන්ගේ අභිමතය පරිදි නොපවත්නා බැවින් “මම” ය “මාගේ” යැයි කිව නොහැකි අනාත්මතාවත් යන මේ ත්‍රිලක්ෂණය වැටහෙන නුවණ ඇති බව ප්‍රඥාව යි. ප්‍රඥාව ඇති තැනැත්තා අගතිගාමී වීම ආදී වශයෙන් පරලොවින් පරාජිත නොවේ.

මෙම ගුණධර්ම දියුණු කිරීම පුද්ගලයාගේ මෙලොව පරලොව හිතසුව පිණිස වන්නේ ය. ස්ත්‍රියක් වේවා පුරුෂයකු වේවා, ලොව කොතැනක වාසය කරන, කවර ජාතියකට වේවා, කුලයකට වේවා ආගමකට වේවා, රටකට වේවා, අයත් පුද්ගලයාට දියුණුවක් මිස පිරිහීමක් නොවන්නේ ය. ලාබය පිණිස, වාසය පිණිස, සැපත පිණිසම මෙම කරුණු උපකාර වන්නේ ය.

තමන්ගේ දියුණුව රඳා ඇත්තේ තමන් අත ම ය. එය අන් අයට කළ හැකි නොවේ. තමාට තමා ම හැර අන් කවරකුවත් පිහිට නොවේ. තමා හිසට තම අතමය සෙවණැල්ල යනුවෙන් සඳහන් වන්නේ ද එය ම ය.

අනුන්ගේ අඩුපාඩු හොඳ නරක නොසොයා තමන්ගේ යහගුණ දියුණුූ කර ගනිමින් දුසිරිතෙන් ඈත්ව ක්‍රියාකිරීමෙන් මෙලොව, පරලොව යහපත උදාකර ගත හැක. ඒ සඳහා අප්‍රමාදීව වීර්යයෙන් අනලස්ව ක්‍රියා කළ යුතු ය. එබඳු මඟ පෙන්වන දහමක උරුමකම් ලද්දෝ අපි වෙමු. එම දහම නම් මීට අවුරුදු දෙදහස් හයසියයකට පෙර දේශනා කොට වදාළ ශ්‍රී සම්බුද්ධ ධර්මය යි.