Print this Article


පින්සරු කාන්තා රත්නයක රුව සොබා

පින්සරු කාන්තා රත්නයක රුව සොබා

සිදුහත් කුමරුගේ අභිමතාර්ථයන් සාධනය කරමින් යශෝධරාවෝ සාකල්‍යයෙන්ම කරුණා බර පි‍්‍රයම්බිකාවක් වූවා ය. ලොව යථාර්ථය මැනවින් දත් සිදුහත් යශෝධරා යුවළ සම ප්‍රඥාවෙන්, සම ත්‍යාගයෙන් සෙනෙහසින් බැඳී දයාවෙන් කල් ගෙවූහ. විමුක්තිය පිණිස වු කතිකාවත දෙදෙනා අතර වූයේ බොහෝ කල් පටන් ය.

තවුස් දම් පුරන්නට තමන් තුළ වූ අභිලාෂය සිදුහත් බෝසතාණෝ වරෙක යශෝධරාවට නොවළහා හෙළි කළහ. ඔබ තපසට යන්නේ නම් මා ද ඔබ සමඟ තපස් රකිමි"යි එවිට යශෝධරාව සපථ කළා ය.

සියුමැලි කතකට එවැනි දුක් ගැහැට අනුභවය උගහට ය. මා විමුක්ති රසය වළඳා ලෝකෝත්තර ශාන්තිය ඔබට ද දානය කරන්නෙමි'යි එදා සිදුහත් කුමාරයාණෝ පිය බිරිඳ රිදුණු හද සැනසුවෝ ය.

සුදොවුන් පිය රජුත්, ප්‍රජාපතී සුළු මවුත් ඔබ රැකවරණයට සිටිත් යැයි පවසා පිය බිරිඳ සිත අස්වසා සිදුහත් කුමරු තම අභිමථාර්ථ සාධනයෙහිලා උත්සුක වූහ.

ඇසළ සඳ නැඟි පුන් පොහෝ දින මානව ශිෂ්ටාචාරයේ කිසිදු පුරුෂයකු, කිසිදු රජකු සිදු නොකළ ආකාරයෙන් රම්‍ය ප්‍රාසාද, පි‍්‍රය පි‍්‍රයම්බිකාව, රන්කැටි පුත්රුවන හැරපියා බුදු බව උදෙසා සිදුහත් මහ බෝසත්හු අනුපිය අරණේ හුදකලාව බවුන් වඩන්නට වූහ.

මහ බෝසත්හු සම්බුද්ධත්වයට පත්ව, දම්සක් පවත්වා, එළැඹි වෙසක් පුන් පෝහෝ දා ස්වකීය ජාතභූමිය වූ කිඹුල්වතයට සම්ප්‍රාප්ත වූ සේක්’ නෑසියන් දැක, පිය මහරජුන් සමඟ යශෝධරා රාජ දේවි පාසාදයට වැඩම කළෝ ය. සුදොවුන් මහ රජාණෝ ස්වකීය ලේලිය වූ යශෝධරාවන් ගැන කළ ගුණ වැනුම ලෝ වැසි ජගත් කාන්තා සංහතියට ම මහඟු ආදර්ශයකි.

“ස්වාමීනි, මගේ දූ යශෝධරාවෝ ඔබ වහන්සේ කසාවත හඳින බැව් අසා කසාවතින් සැරසුණා ය. සිත්කලු වස්ත්‍රාභරණ හැර දැම්මා ය. එක් වේලක් වළඳනු අසා ඇය ද එක වේලක් ම වැළඳුවා ය. ඔබ මඟම ගනිමින් උස් අසුන්, මහ අසුන් හැරදැම්මා ය. මල්ගඳ විලවුන් අත්හැරියා ය. ඇය අතපතා කොතෙක් කුමාරවරු හසුන්පත් එවූව ද ඒ හැම ඇය පිළිකුලෙන් බැහැර කළා ය.” යනුවෙන් පවසත්ම බුදුරදහු

ම පියාණෙනි, අද පමණක් නොව ඈත අතීතයේ ද මැය මා වෙනුවෙන් ම පතිභක්තියෙන් උන් අයුරු සිහිපත් කර දුන් සේක.

“බෝසතුන් සඳ කිඳුරුව උපන් පෙර අත්බවෙක පි‍්‍රය වූ කිඳුරිය වු යශෝධරා කෙරේ පේ‍්‍රමයෙන් ඈ අත්පත් කර ගැනීමට බරණැස රජකු කිඳුරාට ඊයෙන් විද්ද කල කිඳුරිය පිළිකුලෙන් ලජ්ජාවෙන් රජු මුව නොබලා දයාබරිත පි‍්‍රයයා වෙනුවෙන් කඳුළු සලමින් දෙවියන් යැද්දා ය.

සක්දෙව් රජ පඬුපුල් අස්න උණු වැ මේ අනුවේදනීය සිද්ධියෙන් හද කම්පාවැ වහා මනුලොව අවුත් කිඳුරා සුවපත් කර අභය දී කිඳුරියට අත්පත් කර දුන්නේ ය.” සඳකිඳුරු දා කථා වස්තුව අතීත කථා පුවත යශෝධරාවගේ ආත්මීය බැඳීම ස්ඵුට කරයි.

මෙබඳු උසස් ගති ඇති කතුන් මුළු ලොවට ආශිර්වාදයකි. ආශ්චර්යවත් යශෝධරා දේවි චරිතාපදානය කාන්තාවගේ රුව ගුණ සොබා කෙසේ විය යුතු’දැයි සැබෑ දිශානතිය කියාපාන මාලිමාවකි.

අද්‍යතන යුගයේ කුල කත මංගල පෝරු මස්තකප්‍රාප්ත වනුයේ දහසක් අපේක්ෂා දල්වාගෙන යැ. මනාල මනාලි යුවළ අතබැඳි හුය ද, මංගල මුදුව ද, දෙහදක ඒකාත්මික බව හදවතේ සනිටුහන් කරවයි. එනමුදු එකිනෙකාට ශාප කරමින්, වැඩිකල් නොගොස් දික්කසාද වන ළඳුන්, වැදූ දරුවන් ගැන ද නොසලකා හිතුමතේ ක්‍රියා කරන ළඳුන්, සිල්පද බිඳ දමා පව්කාර දිවි ගෙවන ළඳුන්, පේ‍්‍රමාන්විතවැ, අතගත් තම වල්ලභයාණන්ගේ සුළු කරුණු වුව සකසා ගත නොහැකි ළඳුන්, යශෝධරා චරිතාපදානය ආදරයෙන් කියවිය යුතු වෙයි.

කරුණාව , දයාව, ස්වාමි භක්තිය, ඉවසීම, දරා ගැනීම පි‍්‍රයවිප්‍රයෝගයෙන් නොසැලීම, ප්‍රමාණාතික්‍රාන්ත පුත්‍ර ස්නේහය, ස්වාමියන්ගේ නැදිමයිලණුවන් කෙරෙහිවු ආදර ගෞරවය, මේ සියලු ගුණාංග මුසු යශෝධරා දේවි චරිතය ලොවට පාඩම් උගන්වයි. විමුක්තිය උදෙසා හැර ගිය ස්වාමි පුත්‍රයාට රහල් කුමරු සමඟින් තනිවු යශෝධරාවන්ගේ සෙත්පැතීම මනුසත් හද කම්පා කරවයි. දෙනෙතට කඳුළු නංවයි. සැබෑ බිරිඳකගේ ගුණ ගඟ සිසිලස විහිදුවයි. පිවිතුරු හදෙහි අකලංක ස්වාමි භක්තිය කියාපායි.

සුවඳ බොජුන් වැළඳූ මගෙ හිමි සඳුට
නිබඳ බොජුන් රසකර දුන් වළඳන්ට
සුවඳ පලාපල මැවියන් හිමියන්ට
සුවඳ මල් නිතර පිපියන් රන් කඳට

මේ යශෝධරා දේවි හද සන්තානයේ රැව් පිළි රැව් දුන් සිදුහත් බෝසතුන් වෙනුවෙන් වූ හෘදයාංගම ප්‍රාර්ථනාවයි.

කැලේ තිබෙන කොයි දේවත් රස වේ වා
මලේ බමරු ලෙස පිරිවර ලැබ දේ වා
අව්වේ තිබෙන රැස්මාලා අඩු වේ වා
ගව්වෙන් ගව්ව දිවමාළිග සෑදේ වා

දේශයේ දියණිවරුනි, යශෝධරා පිළිවෙත් අභරණ පැළඳි ඔබ විශ්වයටම ශාන්තිය ගෙන දෙන පින්සරු කාන්තා රත්නයක් වනු ඇත.

මෙම ලිපියේ පළමු කොටස උඳුවප් පුර පෝදා පත්‍රයේ (07) පළ විය