(ජාතක අටුවාව- මනෝජ ජාතක කතාව ඇසුරිනි) පවිටු මිතුරා
අයහපත ම
ගෙන දෙන්නේ ය ...
අප මහ බෝසතාණන් වහන්සේ, අතීතයේ සිංහරාජයෙක් ලෙස ස්වකීය සිංහ ධේනුවත් සමඟ එක්ව වාසය
කෙළේ ය. ඔවුන්ට පුතෙක් හා දුවක් වශයෙන් දරුවෝ දෙදෙනෙක් වූහ. ‘මනෝජ’ යනු ඒ එකම
පුතුගේ නමයි. මනෝජ ද තරුණ වියට පත්වූ පසු ගැලපෙන සිංහ ධේනුවක් සමඟ පවුල් විය.
මෙසේ ඔවුන් විසූ ගුහාවේ මුළු පවුලේ එකතුව පස්දෙනෙකි. මනෝජ කුළු මීමුන් ආදී වන සතුන්
මරා ගෙනවුත් සිය මවුපියන් ප්‍රධාන පවුලේ උදවියට දී ඔවුන් පෝෂණය කරයි.
එක්දිනක් ගොදුරු බිම ඇවිදින මනෝජට සිවලකු දක්නට ලැබුණි. ‘ගිරිය’ නම් වූ මේ සිවලා
තරුණ සිංහයා දුටු සැණින් පලා යන්නට උත්සාහ කළත්, එය නිශ්ඵල බව දැන බයාදු ලෙස ගාත්
දෙපසට දමා බිම වැතිරුණේ ය.
ඒ දුටු සිංහයා
"මිතුර, මේ කිමදැ?"යි ඇසීය.
"ස්වාමීනි, මම ඔබතුමා දැකීමට පැමිණියේ ඔබේ ළඟ සේවාකම් කරමින්, උපස්ථාන කරමින්
උදව්වීමට යැ"යි සිවලා කීවේ ය. එවිට සිංහයා තමා ඊට කැමති බව සිවලාට දැනුම් දී, ඌත්
කැටුව තමා වසන ගුහාවට ගියේ ය.
සිවලා දුටු බෝසත් සිංහ රාජයා,
"පුත මනෝජ, සිවල්ලු නම් දුස්සීලයෝ ය. පාප ධර්මයෙහි ඇලුණු අය වෙති. අවැඩෙහි යොදවන්නෝ
ම වෙති. එබැවින් එවැන්නකු ළං කර නොගත යුතු යැ"යි සිය පුතුට අවවාද කෙළේ ය.
එසේ වුවත් ඒ කිසිවක් ගණන් නොගත් මනෝජ, සිවලා සමඟ ම සියලු ගමන් බිමන් ගියේ ය.
කිසියම් දවසක අශ්ව මස් කෑමට ආශාවක් ඇති වූ සිවලා, මනෝජ අමතා,
"ස්වාමීනි, අප විසින් අශ්ව මස් හැර වෙනත් නො කෑ මසක් නැත. ඒ නිසා අපි අශ්වයකු අල්ලා
ගනිමුදැ?"යි කීවේ ය.
"මිතුර, අශ්වයන් සිටින්නේ කොහිද?"
"ස්වාමීනි, බරණැස් නුවර නදී තෙර ඕනෑ තරම් අශ්වයෝ සිටිති" යි සිවලා කීය.
උගේ වචන පිළිගත් මනෝජ ඌත් සමඟ එකී නදිය වෙත ගොස්, නදියෙහි බැස නාන අශ්වයන් දැක, ඉන්
එකකු අල්ලාගෙන, සිය පිට මත දමාගෙන වේගයෙන් අවුත් නැවතුණේ, සිය නවාතැන වන ගල් ගුහාව
ළඟ ය. එදා පවුලේ සියලු දෙනා ද, සිවලා ද අශ්ව මස් හිතේ හැටියට කෑහ. කෑමෙන් පසු සිය
පුතු ඇමතූ සිංහරාජයා,
"පුතණුවනි, අශ්වයෝ නම් රජුට අයත් සත්ත්ව විශේෂයකි. රජවරු විවිධ මායා ඇති අය වෙති.
එබැවින් ඔවුහු දක්ෂ දුනුවායන් යොදා සතුරන් මරවති. එබැවින් අශ්ව මස් කන සිංහයෝ වූ
කලි, දීර්ඝ ආයුෂ ඇත්තෝ නොවෙති. ඒ නිසා මින් මතු අශ්වයන් අල්ලන්නට නොයව"යි, තරයේ
මනෝජට අවවාද කෙළේ ය.
පියාගේ වචනය මායිම් නොකළ, මනෝජ සිය කටයුතු සුපුරුදු ලෙසින්ම කරගෙන ගියේ ය. මේ අතර
සිංහයකු තමාට අයත් අශ්වයන් අල්ලා මරන බව දැනගත් රජතුමා, ඇතුළු නුවර ම අශ්වයන්ට සුව
සේ විසිය හැකි භූමියක් වෙන්කොට, එහි විශාල පොකුණක් ද කරවීය. සිවලා සැපයූ තොරතුරු
අනුව එහි ගිය මනෝජ, එතැනින් ද අශ්වයන් අල්ලා මරාගෙන ගියේ ය.
අනතුරුව ඒ ගැන තොරතුරු දැනගත් රජතුමා වෙනම අස්හලක් සාදවා, අශ්වයන් එහි ගාල්කොට
තණකොළත් වතුරත් වෙනත් අවශ්‍යද දෑ ද, එතැනට ම සැපයීමට කටයුතු සංවිධානය කෙළේ ය.
සිවලාගේ මඟපෙන්වීම යටතේ එහි යන්නට පවා, මනෝජ එඩිතර විය. ඒ ස්ථානය පවුරකින් වටකොට
තිබුණි. එහි ගිය මනෝජ එක්වරම පවුර මත පැන, එතැනින් අස්හලට ඇතුළු වී එහි සිටි අසුන්
අතරින් එකකු පැහැර ගත්තේ ය. මේ සිද්ධිය පසුදා ම රජතුමාට ආරංචි විය.
විදුලි එළියෙන් සතකු විද මැරිය හැකි දුනුවායකු කැඳවූ රජතුමා,
" නුඹට රාත්‍රී කාලයෙහි සිංහයකු විඳ මරා හෙළන්නට හැකි දැ?"යි ඇසීය. ඒ හැකියාව තමාට
ඇතැයි පිළිගත් දුනුවායා රජුට පොරොන්දු වී අස්හලේ පවුර සමීපයෙහි, සිංහයා පවුරට
ගොඩවෙන ස්ථානය සලකා, ඒ අසල අටල්ලක් බැඳ, එහි සැඟව සිංහයාගේ පැමිණීම අපේක්ෂා කරමින්
බලා සිටියේ ය.
මේ අතර සිවලා ද කැටුව පැමිණි මනෝජ, අස්හල සමීපයෙහි වූ සුසාන භූමියක සිවලා නවත්වා,
තනිව ම අශ්වයකු අල්ලා ගැනීමේ අදහසින් ඇතුළු නුවරට පිවිසියේ ය. සිංහයා අස්හල සමීපයට
පැමිණ එක්වරම එහි තාප්පය උඩට පැන්නේ ය.
ඒ දුටු දුනුවායා "ගොදුර ගැනීමට පැමිණෙන සිංහයා ඉතා වේගවත් ය. ඉතා තියුණු ස්වරූප
ඇත්තේ යැ"යි සිතා, එවේලෙහි සිංහයාට විදීමට තීරණය නොකොට, අශ්වයකු මරාගෙන ඒ ගොදුර
ඔසවාගෙන අපහසුවෙන් සිංහයා පැමිණෙන විට, විඳීම වඩාත් ප්‍රඥාගෝචර යැ’යි, අදිටන්කොට
ගෙන ඒ අවස්ථාව පැමිණෙන තෙක්, නො ඉවසිල්ලෙන් බලා සිටියේ ය.
මේ අතර අශ්වයකු මරාගත් සිංහයා, ඒ බරත් ඔසවාගෙන, අපහසුවෙන් මඳ වේග ඇතිව ගාටමින්,
පවුර සමීපයට පැමිණියේ ය. ඒ දුටු දුනුවායා ඉතා තියුණු ඊතලයක් ගෙන, සිංහයාගේ පසුපසට
එල්ලකොට විද්දේ ය. සිංහයාගේ පසු පෙදෙසින් ඇතුළු වූ ඊතලය උගේ හිස සමීපයෙන් නික්ම
අහසට විසි විය. ඊතල පහර කෑ සිංහයා මර හඬ තැලීය.
පිට නුවර අස්හලට නුදුරෙහි සුසාන භූමියෙහි හුන් සිවලා සිංහයාගේ මරහඬත්, දුනුදියේ
නාදයත් අසා,
"මාගේ ස්වාමියා ස්ථිර වශයෙන් ම මරණයට පත් වූයේ යැ"යි සිතා ‘මළ අය සමඟ කුමන
විශ්වාසයක් දැ’යි සලකා, පෙර තමා විසූ ස්ථානය සිහිකොට, එහි යන්ට පිටත්වෙමින්, තමාට ම
මෙසේ කියා ගත්තේ ය.
"ඒකාන්තයෙන් මාගේ මිත්‍ර සිංහරාජයා නැසුණේ ය.දැන් ආරක්ෂිත ස්ථානය නම් කැලය යි. සුව
සේ එහි යමි. මැරුණු අය තවදුරටත් මිතුරෝ නොවෙති. ජීවත් වුවොත්, මට යහලුවන් ලැබිය
හැකි ය."
ඊතල පහර කෑ නමුත් සිංහයා සිය ගොදුර අත්හළේ නැත. සිය ගොදුර ඩැහැගත් ඌ, එකම වේගයෙන්
සිය ගුහාව වෙත ගොස්, අසුගේ මළකුණ ගුහා දොරටුවෙහි හෙළනවාත් සමඟම, මැරී වැටුණේ ය. ඒ
ශබ්දය ඇසී ගුහාවෙන් බැහැරට ආ පවුලේ උදවිය ලෙයින් වැකුණු සිරුරු ඇති, ලේ වැගිරෙමින්
අවසන් නින්දෙහි වැටී හුන්, පවිටු මිතුරන් සේවනය කිරීමෙහි ප්‍රතිඵල වශයෙන්, සිය
ජීවිතයෙන් වන්දි ගෙවූ, මනෝජ දුටහ.
ඒ දුටු මනෝජගේ පියා මෙසේ ප්‍රකාශ කළේ ය.
"පවිටු ජනයා ඇසුරු කරන්නා, වැඩි කලක් සැප නොලබයි. අනුශාසනා නොලැබූ, මැරී සිටිනා
මනෝජයා දෙස බලන්න."
මව මෙසේ ප්‍රකාශ කළා ය. "පවට නැමුණු පුතකු නිසා මවක් සතුටු නො වේ. තමාගේම ලේවල ගිලී
මැරී සිටිනා මනෝජයා දෙස බලන්න.
සොයුරිය මෙසේ ප්‍රකාශ කළාය. "ඒකාන්තයෙන් යමෙක් යහපත පෙන්වා දෙන හිතවතුන්ගේ වචන අනුව
ක්‍රියා නො කෙරේද? ඒ පුරුෂයා පවිටකු බවට ද පත්වේ. මේසේ මරණයට පැමිණේ."
බිරිඳ මෙසේ ප්‍රකාශ කළා ය. "යම් උත්තමයෙක් නීචයන් සේවනය කෙරේ ද? මෙසේ ඒ තැනැත්තා
ඊටත් වඩා පවිටෙක් වේ. නීච ජනයන් සේවනය කරන ලදුව, උසස් තත්ත්වයේ ඊතල පහරකින් විනාශ
කරන ලද, මේ උතුම් සිංහරාජයා දෙස බලන්න."
ජාතක කථාව අවසානයේ බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළ සේක.
"හීනයන් සේවනය කරන පුරුෂයා පිරිහේ. සමානයකු ඇසුරු කරන්නා කවදාවත්, නො පිරිහෙන්නේ ය.
උතුමකු වෙත එළඹෙන්නා වහා දියුණු වේ. එබැවින් තමාට වඩා උතුම් අයම ඇසුරු කරන්න."
එදා සිවලා නම්, දේවදත්ත ය. මනෝජ නම්, දෙවුදතුන්ට පක්ෂ භික්ෂුව ය, සොයුරිය නම්,
උප්පලවණ්ණා ය. බිරිය නම්, ඛේමා භික්ෂු ණී ය. මව නම්, රාහුල මාතා ය. පියා නම්,
බෝසතාණන් වහන්සේ ය.
- නයනා නිල්මිණී |