තමන්ගේ අයිතිය තමන්ට ම අහිමි කල
අනුන්ගේ අයිතිය පතන්නේ කුමට ද?
ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ ලේකම්
( බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව බුද්ධශාසන අමාත්‍යාංශය)
කේ.කේ. සුගතපාල
“පුත්තා මත්ථි ධනංමත්ථි
ඉතිබාලො විහඤ්ඤති
අත්තා හි අත්තනො නත්ථි
කුතො පුත්තා කුතො ධනං”
අනුවණ පුද්ගලයා මට දරුවෝ ඇත. ධනය ඇත. කියා සිතමින් වෙහෙසෙයි. තමාට තමාත් නැති කල
කුමන පුත්තු ද? කුමන ධනය ද?
මේ අපි කියවමින් සිටින්නේ බාල වග්ගයේ බුද්ධ වචන බව සිහියට නඟා ගැනීම වැදගත් ය.
බොහෝ ජනයා තම කුලය, අගේ කොට සලකති. එහෙයින් තම කුලය රකින්නේ කුලය පිරිසුදු කරන්නේ,
තම මවුපියන්ගේ සිත් පුරවන්නේ පුත්‍රයා ය යන අදහස මෙහි ගැනේ. ධර්මයේ පුත්‍රයන් සිවු
දෙනෙක් ගැන විස්තර ඇත.
අත්තජ :– තමා නිසා උපන්, ඛෙත්තජ :– තම ලයෙහි උපන් ( දරු ස්නේහය මුල්කොට) අන්තෙවාසික
– තමා වෙතින් ශිල්ප ශාස්ත්‍රාදිය උගත් ( උගත් – නැණවත් – දක්ෂ තම ශිෂ්‍යයකු
මුල්කොට) දින්නක : අන්දරු තමා විසින් හදා වඩා පෝෂණය කළ යනුයි.
මෙහි තම ලෙයින් උපන් අන්තජ පුත්‍රයා සැලකේ. මොවුන් අතර ද තමාගේ ගුණ නුවණින්
මවුපියන් ඉක්මවා සිටියේ – අධික ගුණ නුවණ ඇත්තේ, ධන ධාන්‍යයෙන් වැඩී සිටියේ, තම වංශය
මවුපියන්ටත් වඩා ධ්වජයක් මෙන් ඔසවා තැබුයේ අනුනට ද හිතවත් වූයේ, අතිජාත නම් වේ.
මේ සියල්ලෙන් තම මවුපියන්ට අනුරූපව සිටියේ අනුජාත නම් වේ.
මව්පියන්ට වඩා මේ සියල්ලෙන් පහත් ව සිටියේ අවජාත නම් වේ.
නුවණැති දෙමව්පියෝ අතිජාත, අනුජාත පුත්‍රයන්ට කැමැති වෙති. මෙහිලා ද මට පුත්‍රයෝ
ඇතැයි මවුපියන් සතුටු වන්නේ මේ දෙදෙනා ගැන ම ය.
එහෙත් මෙම ගාථාවෙන් කියැවෙන්නේ එම සතුටු ද මුලාවක් බව සිහියට ගත යුතු බව ය. දූවරුන්
ද මෙසේ ම ය)
‘ධනං මේ අත්ථි:–නම් මට ධනය තිබෙන යන්න ය.
මෙහිලා ධනය නම් තමා සතු චංචල හා අචල වස්තු ය. කෙනකු සතු, තමාගේ පැවැත්මට හා
දියුණුවට අදාළ මිල මුදල් – ඉඩකඩම්, ගේ දොර, වතුපිටි, යාන වාහන, රන්, රිදී හා
තැන්පත් යන හැම දෙයක්ම මේ ධන ශබ්දයට ඇතුළත් වෙති.
ඉති බාලො විහඤ්ඤති නම් මේ මෝඩයා (මිනිසා) නැසී යන්නේ යන අරුත යි.
මෙහි බාලයා යනු මෝඩයා ය. අඥානයා ය. මෙලොව පරලොව නොදන්නා ය. විහඤ්ඤති යනු නැසී යන්නේ
ය. දුකට පත්වන්නේ ය යනුයි. දරුවන් හා ධනය ඉපැයීමට යාමෙන් ය.
අත්තාහි :–යනු තමා ය.එය සම්මුති කතාවලට අයත් පදයකි. පරමාර්ථ ධර්ම කතා තුළ “තමා”
යනුවෙන් පුද්ගලයෙක්, සත්ත්වයෙක්, ආත්මයක් නැත. එහි එන්නේ ස්කන්ධ නාමය යි. භවයෙන්
භවයට යන්නේ මේ උපාදාන කොටගත් ස්කනධ පහයි.
අත්තනො නත්ථී යනු තමාත් නැත යනුයි. එනම් සම්මුති වශයෙන් “තමා” කියා කෙනෙක් සිටියත්,
ඔහු ඔහුගේ පාලනයෙන්, මෙහෙයවීමෙන් තොර බව ය. උදාහරණ වශයෙන් ගන්නේ නම්, තමාට තමාගේ
දිරීමට යාම (වයසට යාම) වළක්වා ගත හැක්කේ ද? නවත්වා ගත හැක්කේ ද? නො පුළුවනි.
ලෙඩවීම, ඇඟරැළි වැටීම, දත් වැටීම, කළු කෙස් සුදුවීම, මරණයට පත්වීම, වළක්වාලිය
හැක්කේ ද බැරි ය. ඒ මක්නිසා ද ? තමා යැයි කෙනෙක් නැත. මේ බව තේරුම් නොයන තාක් ඔහු
මෝඩයෙකි. අඥානයෙකි. මෝහයෙන් මුලා වූවෙකි. සද්ධර්මාවබෝධය ලැබිය යුත්තේ මේ සඳහා ය.
“පුත්තා කුතො යනු – එසේ නම් පුත්‍රයෝ යනුවෙන් පිහිටට කෙනෙක් වෙත් ද යන්නයි. නැත.
ධනං කුතො නම් ධනය යනුවෙන් පිහිටට යමක් වේ ද යනුයි. නොවේ. එය ද නොවේ ම ය.
කොපමණ පුත්‍රයෝ සිටියත්, දූවරු සිටියත්, හිතවත් ධනවත්, බලවත් ඥාති සමූහයා කොපමණ
සිටියත්, බලවත් මිත්‍රයන් කොපමණ සිටියත්, ඒ කිසිවකුට හෝ කිසිවකට තමාගේ දිරායාම,
ලෙඩවීම, ඇස් පෙනීම අඩුවීම, දත් වැටීම, හිස කෙස් සුදුවීම, කය දුබලවීම, මරණයට
පත්වීමාදි ස්වභාව ධර්ම ක්‍රියාවලියන් කිසිවක් නවතාලිය හැක්කේ ද?
නො හැක්කේ ම ය.
කිසිසේත් නොහැක්කේ ම ය.
මෙපමණක් නොවේ. අනෙක් සියල්ලට වඩා දවසට දෙතුන් වරක් සෝදා , කවා පොවා, ශීත
උෂ්ණාදියෙන් ගලවා ගත් ඇඳුම් ආයිත්තම්වලින් සරසවා ලූ, කුසගින්නෙහි නොතබා උපස්ථාන කළ
මෙතෙක් කල් “මම වෙමි” “මගේ වෙමි” වශයෙන් සැලකූ මේ ආත්මයවත් (කයවත්) තමාට ස්නේහයක්
නැතිකොට පුත්‍රයන්ගෙන් දූවරුන්ගෙන්, අඹුවගෙන්, පුරුෂයාගෙන් ධනයෙන්, එවනැන්නක්
බලාපොරොත්තු විය හැකි ද? මේ කවරෙක්වත් තමන් දුකින් රැක ගන්නට අපොහොසත් ය. එබැවින්
තෙමේත් තමාට නැත. යමෙක් මෙසේ නොසිතා තමාට දරුවෝ ඇත. ධනය ඇතැයි සිතයි ද එය කෙතරම්
අඥානකමක් වේ ද? මෙවැනි අදහසක් මේ ගාථාවෙන් අපට කියා දේ. එදා මෙන් අදත් කෙනෙක් ධර්මය
සොයා යන්නේ මේවා අතහැර ය.
දැන් මේ උතුම් ධම්මපදය අනුත්තර බුදුරජාණන් වහන්සේ කවර කාරණයක් මුල්කොට දේශනා කළේ
දැයි අටුවා කථාව කියවා බලමු.
(ධම්මපද අටුවා කථා අංක 47)
ආනන්ද නම් සිටුවරයකු සැඩොල් කුලයක ඉපදේ
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩ වාසය කරන කල එනුවර ම ආනන්ද නම් වූ
බලවත් මසුරු සිටුවරයෙක් විසීය. ඔහුට හතළිස් කෝටියක් පමණ ධනය විය. ඔහු කැඳවා අඩමසකට
වරක් පමණ තම ඥාතීන් ඉදිරියේ “මුලසිරි” නම් තම පුතු කැඳවන්නේ ය.
පුත, මේ ධනය හතළිස් කෝටියකි. එසේ වුවත් එය ලොකු ධනයක් සේ නොසලකන්න. දවසකට එක
කහවනුවක් වියදම් කළත් කලක දී මේ ධනය ක්ෂය වී යන්නේ ය. එහෙයින් තව තවත් ධනය රැස්
කරන්න. වියදම් නොකරන්න ආදි වශයෙන් අවවාද කළේ ය.
මේ අතර තමන්ගේ පංච මහා නිධාන ගැන ද පුතාටවත් නොකියාම මසුරු බලයෙන් ම ඔහු කලුරිය කළේ
ය. මරණින් මතු සැඩොල් පවුල් දහසක් ඇති ගමක එක් චණ්ඩාලියකගේ කුස පිළිසිඳ ගත්තේ ය.
සිටුවරයා ගේ මරණය ගැන ඇසූ රජු, මූලසිරි පුතා ගෙන්වා සිටු තනතුර දුන්නේ ය.
මේ මියගිය ආනන්ද සිටු සැඩොල් ස්ත්‍රියකගේ කුස පිළිසිඳ ගත් දා සිට ඒ ගමේ කිසිවකුට
බැළමෙහෙ පවා නැතිවුණි. අනුන්ගෙන් ලැබෙන බත් ටිකක් වුව ද නොලැබෙන තත්වයක් මතුවුණි.
ඔවුහු අප අතර කාලකන්ණියකු සිටී යැයි නිගමනය කළහ. එදින පිරිස දෙකොටසකට, වෙන් කරමින්
දෙදෙනකු දක්වා ගොස් කීප දිනක දීම මසුරු සිටු පිළිසිඳ ගෙන සිටි කාළකණ්ණි මව තෝරා
ගත්හ. වෙන් කර තැබූහ. ඉන්පසු අනෙක් අයගේ අපහසුතා මඟහැරුණි. මේ මවට ද මොහු පිළිසිඳ
ගත් දා සිට යැපෙන පමණටවත් ආහාර නැති විය.
නිසි කල ආ විට ඇය අංග විකල පුතකු බිහි කළා ය. මොහුගේ මුහුණේ පැවැති මේ විකලාංග නිසා
විරූපියෙක් ද විය. එහෙත් මවකගේ දරු ස්නේහය නිසාම තම කුසෙන් උපන් දරුවා අත් නොහළාය.
ඉතා දුක සේ පෝෂණය කරන්නට වූවා ය. දරුවාත් සමඟ මඟට බැස්ස විට කිසිවක් නො ලබන්නී ඔහු
ගෙදර රඳවා තනියම යන දවස්හි බැළමෙහෙ ලැබෙන්නේ ය.
මෙසේ දරුවා තනියම ඇවිද ජීවත්වීමට ලැබෙන කාලය එළැඹුණි. ඒ මව තම පුතුට කබලක් අතට දී
“පුතේ ඔබ නිසා අපි මහත් සේ දුක් වින්දෙමු. දැන් ඔබ පෝෂණය කිරීම අපහසු ය. මෙනුවර
යාචකයින් උදෙසා බත් දෙන තැන් ඇත. එහි ගොස් ජීවත් වන්න” යැයි පිටත් කර හැරී ය.
මෙසේ ඇවිද යන මොහු සිටු කාලයේ ජීවත් වූ සිටු ගෙදර ළඟ නතර වුණි. ඒ පෙර විසු පුරුද්දට
මෙනි. සිටු මාලිගයේ සිවු දොරටුවෙන් තුන් දොරකට ගියේය. කිසිවකු නො දුටුවේ ය.
සිවුවැනි දොරටුවේ දී මූලසිරි පුතා දැක හඬන්නට විය. මේ අතර මොහු දුටු මූලිසිරි
සිටුගේ දරුවෝ බියව හඬන්නට විය. මෙහෙකරුවන් පැමිණ ඔහුට තළා පෙළා ඉවතට ඇද දැමුහ.
මෙවෙලෙහි ආනන්ද හිමියන් සමඟ පිඬු සිඟාවඩින බුදුරජාණන් වහන්සේ මෙම සිද්ධිය දුටු සේක.
ආනන්ද තෙරුන් වහන්සේ දෙස බැලූ සේක. ආසන්නයට පැමිණ විට පහරදී ඉවතට ලා සිටි අය ගැන
සියලු තොරතුරු ආනන්ද හිමිට වදාළ සේක.
මෙහිදී තෙරුන් වහන්සේ මූලිසිරි සිටු බුදුරජාණන් වහන්සේ ළඟට ගෙන්වූ විට අවට සිටි
බොහෝ අය ද රැස්වුහ.
මේ කවරෙකැ”යි ඔබ දන්නේ දැයි විචාළ සේක. නොදනිමියි කී ය.
මොහු ඔබගේ පියා ආනන්ද සිටුවරයා යැයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. එය නොඅදහන බව දැන
ආනන්ද සිටුවරයා ඔබේ පුතාට පඤ්ච මහා නිධාන ඇති තැන් කියන්න දැන්වීය. එහිදි පියා
හඳුනා ගැනීම තහවුරු කළහ. මෙහිදීම මුලසිරි සිටු පුතා බුදුන් සරණ ගියේ සරණ ශීලයෙහි
පිහිටියේ ය.
මෙහිදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඉහත ගාථාව මුල්කොට දහම් දෙසු සේක. ධර්ම
දේශනාවසානයෙහි බොහෝ දෙනාට ධර්මාවබෝධය වූයේ ය. දේශනාව මහජනයාට ද වැඩ සහිත විය. |