දිනුම පැරදුම
තමන් අත ම ය
ලෝක සත්ත්වයා අනූපමේය මෛත්‍රී කරුණා ජලයෙන් සුවපත් කළා වූ සුවහසක් ලොව දනන් හට
ශක්තියක් වූ තුන් ලෝකාග්‍ර වූ අසම සම වූ බුදුරජාණන් වහන්සේ නමක උදෙසා පුද පූජා
පවත්වමින් උපහාර දැක්වීමට සාමාන්‍ය මිනිසකු තුළ දැඩි ශ්‍රද්ධාවක් පහළ වූයේ නම්,
හෙතෙමේ මහා පුණ්‍යවන්තයෙකි.
ඒ පිළිබඳ කතාන්තරයක් ධර්මයෙහි සඳහන් වන්නේ මෙසේ ය.
මේ මහා භද්‍ර කල්පයට පෙරාතු ව “පදුමුත්තර” නම් බුදුරජාණන් වහන්සේ සමයෙහි “හංසවතී”
නුවර එක් දුගී පවුලක පිරිමි දරුවෙක් උපන්නා. නමින් ඔහු සෝනකයි. අගහිඟකම් මැද ජීවත්
වූ අසරණ පවුලක් නිසා නිසි වයසට පැමිණිය ද සෝනක දරුවාට ප්‍රමාණවත් අධ්‍යාපනයක් ලබා
දීමට ඔහුගේ මවුපියන්ට නොහැකි වුණා.
එදවස පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වැඳ පුදාගෙන බණ ඇසීමට උන්වහන්සේ වැඩ විසූ විහාරය
වෙත දිනපතා බොහෝ පිරිස් ගියා. ඒ බව නිතර දෙවේලේ දුටු සෝනක තරුණයා ද බුදුන් දැක බණ
අසන්නට එම පිරිස් හා එක් වුණා.
ඔහු අනෙකුත් සැදැහැවතුන් මෙන් විහාරස්ථානය අතුපතු ගා පිරිසුදු කරමින් මල් පහන්
පුදමින් බුදුන් වැඳ බණ ඇසුවා. තෙරුවන් සරණ ගිය ඔහු පංචශීලය රක්ෂා කළ උපාසකයකු බවට
පත් වුණා.
මහා පරිමාණයෙන් දන් නොදුන්න ද විහාරස්ථානයෙහි කුදු මහත් කටයුතුවල දී ශ්‍රම
දායකත්වයෙන් සිය යුතුකම් ඉටු කළා. වත් පිළිවෙත් රකිමින් නිරන්තරයෙන් විහාරයට ගොස්
පින්කම්වලට සහභාගි වුණා. මෙලෙස බුදුන් වඳීන්නට ගිය සෝනක තරුණයා ගැන කා තුළත්
පැහැදීමක් ඇති වුණා.
පදුමුත්තර බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන් සහිත ලෝක සත්ත්වයා කෙරෙහි අනුකම්පාවෙන්
සද්ධර්මය දේශනා කරමින් වැඩ හිඳ අවසානයේ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය බව
ප්‍රත්‍යක්ෂ කරමින් පිරිනිවන් පා වදාළ සේක.
ආදාහනයෙන් පසු ශේෂ වූ ශාරිරීක ධාතූන් වහන්සේ ඒකරාශි කොට සත් යොදුන් උස මහා
චෛත්‍යයක් ඉදිකරවා එහි ධාතූන් වහන්සේ තැන්පත් කළා. එසේ තැන්පත් කොට පදුමුත්තර සර්වඥ
ධාතුන් නිදන් කරන ලද මහා චෛත්‍ය රාජයාණන්ට පුද පූජා පැවැත්වූ දහස් ගණන් සැදැහැවත්
පින්වතුන් අතර සෝනක තරුණයා ද වුණා.
මල් මාලා, මල් වැල්, ධජ පතාකාදියෙන් චෛත්‍යය සරසමින් ගෞරව උපහාර දැක් වූ මහා ජන
සමූහයා මෙන් නොව, සෝනක තරුණයාගේ පූජාව වෙනස් මඟක් ගත්තා.
දුගී දුප්පතකු වූ සෝනකට තමා සන්තකව තිබුණේ එක ම උතුරු සළුවක් පමණයි. එය මැනැවින්
සෝදා පිරිසුදු කොට විසි රියන් පමණ වූ උණ ගසෙහි අග කෙළෙවරෙහි කොඩියක් මෙන් ගැට ගසා
චෛත්‍යය වටා ඔසවාගෙන යමින් සාධු හඬ නඟමින් පිරිනිවන් පා වදාළ පදුමුත්තර බුදුරජාණන්
වහන්සේට අපරිමිත වූ ශ්‍රද්ධාවෙන් ඔහු ධජ පූජාවක් කළා. සෝනක තරුණයාගේ තරමට එය අති
විශිෂ්ට වූ මහානිසංස වූ උතුම් බුද්ධ පූජාවක්.
සෝනක දුගී තරුණයාගේ අසහාය වූ බුද්ධ පූජෝපහාරය චෛත්‍යය ආරක්‍ෂාවට පැමිණ සිටි යක්ෂ
සේනාධිපතියන් අතරින් නායක “අභිසම්මතක” නම් යක්ෂ සේනාධිපති දැක සෝනක තරුණයා කෙරෙහි
අතිශයින් ම පැහැදී ඔහු ගැන මහත් අනුකම්පාව ඇති ව,
“මෙම සෝනක තරුණයා එසේ මෙසේ පුණ්‍යවන්තයකු නොවේ. පිනට දහමට ලැදි මොහු බෙහෙවින්
ශ්‍රද්ධාවන්ත ය. දුගී දුප්පත්කමින් මිරිකී ගිය ඔහු සතු එක ම වස්තුව මෙම උතුරු සළුව
පමණෙකි.
එය මැනැවින් සෝදා පිරිසුදු කොට කොඩියක් සේ උණ ගසෙක මුදුන් කෙළවර ගැට ගසා ඔසවා ගෙන
චෛත්‍යය වටා ප්‍රදක්ෂිණා කරමින් සර්වඥ ධාතූන් වහන්සේ වෙත දක්වන මෙම උපහාරය සුළුපටු
නොවූ පින්කමෙක්. මතු ආත්ම භාවයන්ට රැස්කර ගන්නා මහත් වූ කුසල ශක්තියක්. එසේ හෙයින්
ම විසින් ද මොහුට යම් උපකාරයක් කළ යුතු”යි සිතුවා.
ඉන්පසු කොඩියක් මෙන් උණ ගසේ මුදුන් කෙළවර ගැට ගසා චෛත්‍යය වටා ඔසවා ගෙන ගිය උතුරු
සළුව යක්‍ෂ සේනාධිපති විසින් තමා අතට ගෙන අන්‍යයන්ට නොපෙනෙන සේ කොඩිය පමණක්
ප්‍රදර්ශනය වන අයුරින් චෛත්‍යය වටා අහසින් යමින් එය ප්‍රදර්ශනය කළා.
ආශ්චර්යවත් මේ සිද්ධිය දැකීමෙන් විස්මයට පත් වන්දනාකරුවන් මහත් සේ හඬ නඟා සාධුකාර
පැවැත්වූවා. එයින් වඩාත් ප්‍රමෝදයට පත්ව, ධෛර්යවත් වූ සෝනක වඩ වඩාත් පින්කම්වල
යෙදෙමින් කටයුතු කළා. මෙලෙස කාලය ගෙවී යත් ම වියපත් ව මිය ගොස් දෙව් ලොව දිව්‍ය
පුත්‍රයකු ලෙස පහළ වුණා.
එතැන් පටන් මහා කල්ප ලක්ෂයක් පුරා දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝකවල උපත ලබමින් අප්‍රමාණ
වූ දිව්‍ය සැප, මනුෂ්‍ය සැප අනුභව කරමින් අවසානයේ මේ මහා භද්‍ර කල්පයෙහි අපගේ
ශාන්ති නායක වූ ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වසන සමයේ සැවැත්නුවර වංශවත්
බ්‍රාහ්මණ පවුලක උපත ලැබුවා. මෙසේ උපත ලද පින්වත් බ්‍රාහ්මණ කුමරු “උපවාන” නම්
වුණා.
උපවාන කුමරු විසි වයස් පැමිණ කල්හි දක්‍ෂ ලෙස ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කර තරුණ විය
එළැඹෙත් ම ඉගෙනීමේ කටයුතු නිම කර සිටියා.
මෙම අවස්ථාව වන විට අනාථපිණ්ඩික මහා සිටාණෝ අප බුදුපියාණන් උදෙසා ජේතවන විහාරය
ඉදිකිරීමේ පින්කමෙහි නිරතව සිටියා. නිරන්තරයෙන් පිනට දහමට සිත් ඇලී සිටි උපවාන
බමුණු තරුණයා ජේතවන මහා විහාරය බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ වෙත පූජා කිරීමේ
අති උතුම් පුණ්‍ය කර්මයට ද සහභාගි වෙමින් ඒ සඳහා දායකත්වය සපයමින් කුසල් සම්භාරයක්
රැස්කර ගනිමින් අතිශය සතුටට පැමිණ ජේතවන මහා විහාරය බුදුරදුන් වෙත පූජා කිරීමෙන්
අනතුරුව උන්වහන්සේ එහි වැඩ වාසයට පැමිණීම නිසා සැවැත්නුවරවාසීන්ට පින්දහම් හි
යෙදීමට හොඳ ම අවස්ථාව උදා වුණා.
මේ නිසා බුදුරජාණන් වහන්සේ වැඳ බණ ඇසීමට යන පිරිස දිනෙන් දින දස දහස් ගණනින් වැඩි
වුණා.
උපවාන තරුණයා ද දිනපතා බණ අසන්නට ජේතවනාරාමයට ගිය නිසා ඔහු තුළ පැවැති ශ්‍රද්ධාව වඩ
වඩාත් දියුණු වුණා. එමෙන් ම බණ ඇසීමෙන් ජීවිතය පිළිබඳ යථාවබෝධයක් ලැබුණා.
ජීවිතයෙහි නිස්සාර බව දුටු හෙතෙම කළකිරීමට පත්ව තෙරක් පරතෙරක් නැති කම්කටොලුවලින්
ගහන ගිහි ජීවිතයෙහි කටුක දුක යැයි සිතා කළකිරීමට පත් පැවිදිවන්නට සිතුවා.
නොබෝ කලෙකින් බුදුරජාණන් වහන්සේ වෙත එළැඹි උන්වහන්සේගේ අනුදැනීම මත පැවිද්දට පත් වූ
අතර බුදුන් වහන්සේ ඇසුරු කරමින් උන්වහන්සේ වෙනුවෙන් උපස්ථානයෙහි යෙදුන උපවාන
භික්ෂූන් වහන්සේ බණ දහම් හදාරමින් දියුණු කර ගත් ප්‍රඥාව ඇත්තේ විවේකස්ථානයක් සොයා
ගොස් බවුන් වඩා වැඩිකල් නොගොස් සව් කෙලෙසුන් ප්‍රහීණ කොට ලබන්නා වූ ප්‍රණීත වූ මහ
රහත්භාවයට පත් වුණා.
ධාතූන් වහන්සේ නිදන් කළ චෛත්‍යය වටා පුරා මාසයක් ප්‍රදක්ෂිණවෙහි යෙදෙමින් පදුමුත්තර
සර්වඥයන් වහන්සේ නමට ධජ පූජාවක් පැවැත්වීමෙන් උපහාර පැවැත්වූ කුසල් බලයෙන් මහා කල්ප
ලක්ෂයක් පුරා දෙව් මිනිස් දෙගතියෙහි උපත ලබා අප්‍රමාණ වූ සැප සම්පත් විඳ අවසානයේ
මාගේ ශාසනයෙහි පැවිදව මහ රහත් භාවයට පත් වූහ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
බුදුන් වහන්සේගේ දේශනයට සවන් දුන් ශ්‍රාවකයින් බොහෝ දෙනෙක් මාර්ග ඵල ලාභීහු බවට පත්
වූ බව සඳහන් ය.
- නයනා නිල්මිණී |