Print this Article


තිත්ථම්භ සෙනෙවි විහාරමහා දේවියගේ උපායට හසුවේ

දුටුගැමුණු මහ රජතුමා 89 කොටස:

තිත්ථම්භ සෙනෙවි විහාරමහා දේවියගේ උපායට හසුවේ

මව් බිසොවුන් වහන්සේ කෙබඳු උපායක් යොදත්දැයි ගැමුණු රජතුමාට සිතාගත නොහැකි විය. දාව ආචාර්යතුමාගේ මුහුණේ වූයේත් ප්‍රශ්නාර්ථයකි.

“නන්දිමිත්‍ර අපේ විසිරී සිටින සියලු සේනාංක සත්බෑ කෝට්ටේ අසල රඳවන්න දාව ආචාර්යතුමනි, සියලුම තොටමුණු බද බලකොටු එක දවසින් වැටලීමට සැලසුම් කරන්න. සත්බෑ කෝට්ටේ හැර ඉතිරි කඳවුරුවලට සේනාංක තෝරා නම් කරන්න. එක් එක් මහ සෙනෙවියාට එක් එක් කඳවුර පවරන්න.”

“යම් ලෙසකින් අඹතොට බලකොටුව බිඳ වැටුණොත් දකුණු තීරයේ කඳවුරු සියල්ල ඉවත්කර ඇතුළතින් ආරක්ෂක කඳවුරු යෙදීමට එළාර රජු තීරණය කර ඇති බව සිරිනාග අපට දන්වා එවා තිබුණා මතකද?

මහරජතුමනි, අද දහවල් මහ සෙනෙවි මඩුල්ල රැස්වීමට නියමිතයි. එහිදී අඹතොට බලකොටුව ජයගත යුතු ආකාරය සාකච්ඡා කරනවා. දාව ආචාර්යතුමාගේ සැලැස්ම එහිදී ඉදිරිපත් කරන්න පුළුවන්.

ඔව්, ඒක හොඳයි. එහෙමනම් අපි දැන් සත්බෑ කෝට්ටේට යමු. එහි අපේ සේනාංකවලට කඳවුරු සාදා ගැනීමට ඉඩකඩ සලසා දෙමු.

මෑණියනි, දාඨාසේන සමඟ ප්‍රධාන කඳවුරට යන්න. ඔහුගෙන් ඉටුවිය යුතු සේවය ගැන පහදා දෙන්න.

ඔසු පැන් පානයකින් සංග්‍රහ ලැබූ රාජකීය පිරිස විසිර ගියහ. දාඨාසේන අසකු පිට නැගී මවු බිසොවුන් වහන්සේ ගමන් ගත් අස්රියට ආරක්ෂාව සපයමින් මහියංගණයට ආවේ ය. ප්‍රධාන කඳවුරට පැමිණි මව් බිසොව සම් කඩක ඔතා අස් ඔබා සුරක්ෂිතව තල්පතක් දාඨාසේනට දුන්නේ ය. “මෙය තොප පමණක් දැනගත යුතු රහසක්” බව කීවා ය.

“මම තොප ගැන අසා ඇත්තෙමි. තොපගේ සංග්‍රාම ශූරත්වය අගය කරමි. තොප හමුවී කතාබහ කොට හඳුනා ගැනීමේ අදහසින් මම හෙට කඳවුරට එමි.”

“දාඨාසේන, අද මෙම තල්පත හීයක බැඳ තිත්ථම්භය සෙනෙවියාගේ බලකොටුව තුළට විදින්න. මේ සමඟ ඇති කාන්තා ඇඳුම් පැළඳුම් පළඳනා ගෙනයන්න. අවශ්‍ය වූ විටකදී ප්‍රයෝජනයට ගන්න” කියමින් විහාර මහා දේවිය සිනාසුණා ය.

පසුදා උදෑසන විහාරමහා දේවිය මනාකොට ඇඳ පැළඳ සමන්තී කුමරිය සමඟ අඹතොටට රාජකීය දෝළාවෙන් පැමිණියා ය. දාඨාසේන ප්‍රමුඛ හේවායෝ පෙළගැසී විහාර මහා දේවිය පිළිගනු ලැබූහ. කඳවුරේ තැන තැන ඇවිදිමින් කඳවුරේ සියල්ලන් සමඟ සුහද කතාබහක නියැළෙන තමන් දෙස බලකොටුවේ අටල්ලෙක සිට ගිජු ලෙස බලන සෙනෙවියා තිත්ථබ සෙනෙවියා විය යුතු යැයි විහාරමහා දේවියට හැඟිණි. හවස් වන තුරුම කඳවුරේ ගතකළ ඇය සමන්තා කුමරිය සමඟ ආපසු යාමට දෝළාවට නැඟෙත්ම ඉහළින් ඇදී ආ හීයක් දෝළාව ඉදිරියෙන් බිම පතිත විය. හීය අවුළා ගත් සෙබළකු හී පත ගෙන විහාරමහා දේවිය දෙස බැලුවේ ය.

“එය මට දෙන්න”

“දේවීන් වහන්ස, බලකොටුවෙන් ආ හීපතක්”

ඔව්, එය දාඨාසේනට විය හැකියි. මම කියවා ඔහුට යවන්නමි”

හීපත අතට ගත් ඇය එහි ඉටි රෙදිකඩ ඉවත් කළා ය.

“දේවීන් වහන්ස, ඔබතුමියගේ දර්ශනය මට මහත් සතුටකි. හමුවීමට කැමැත්තෙන් සිටිමි. ඒ සඳහා දැනට ඉඩකඩ ඇති එකම තැන බලකොටුවේ දකුණු පස උණ පඳුර අසලයි. උණ පඳුර අසල මුවා කළ ඔරුවක් වෙයි. හිරු උදා වී. හෝරාවකට පසුව මම එතැනට එමි.”

තල්පත කියවා තවමත් ගිජු ලෙස තමන් දෙස බලා සිටින තිත්ථම්භ සෙනෙවියා දෙස නෙත් යැවූ විහාර මහා දේවිය දෝලාවට නැඟුණා ය.

පසුදා උදෑසනම උතුරු දිග අට්ටාලයට වී පෙරදා දුටු දේවියගේ රූපය දකිනතුරු තිත්ථම්භ සෙනෙවියා නොඉවසිල්ලෙන් මහියංගණ මාවත දෙස බලා සිටියේ ය. එක්වරම කැලෑව තුළ සිට භටයන් කිහිප දෙනෙකු විසින් ඔසවාගෙන එන රාජකීය දෝළාව දැක ලහි ලහියේ අට්ටාලයෙන් බැස රහස් දොරටුවෙන් පිට වී ඔරුවට නැඟුණේ ය.

ඔරුවට තරමක් දුරින් දෝළාව තැබු භටයන් ඉවතට ගියහ. දුහුල් සළුවකින් හිස ආවරණය කරගත් දේවිය දෝළාවෙන් බසිත් ම තිත්ථම්භ සෙනෙවියා ඇය පිළිගැනීමට නැඟී සිටියේ ය.

කෙඳිරිලි හඬක් නඟන්නට ද ඉඩ නොතබා ගෙළට වැදුණු කඩු පහරින් ඔරුවෙහි ම වැටුණු ඔහු එහිම පාවෙන්නට හැර කැලයෙහි සැඟව සිටි දුර්ගම සංග්‍රාමික භටයන් දෝළාව ඔසවාගෙන රහස් දොරටුවෙන් බළකොටුව තුළට ඇතුළු වූහ.

බලකොටුව තුළින් ඇසෙන්නට වූ මරහඬත් සමඟම විවෘත වූ මහ දොරින් ඇතුළු වූ සිංහල මහ සේනාව දවස පුරාම සොළී භටයන් කඩු ගෑහ. එක්රැස් කර තිබූ සියලු ධන ධාන්‍ය එළියට ඇද දමා බලකොටුවට ගිනි තබන ලදී.

දාව ආචාර්යතුමාගේ උපදෙස් පරිදි මහගංතොට තෙක් සියලුම කඳවුරු හා බලකොටු එකවර වටකර පහරදීම ඇරැඹිණි.

දුටුගැමුණු රජතුමා මෙහෙය වූ ඵුස්සදේව ප්‍රමුඛ සේනාංකය සත්බෑ කෝට්ටේ බලකොටුව එක් දවසින් බිඳ හෙලූහ. එහි ගබඩා කර තිබූ රන්, රිදී, මුතු, මැණික් ඇතුළු වස්තු සම්භාරය එකතු කර ගොඩ ගසන ලදී. වෙහෙර, විහාර බිඳ දමා නිධන් වස්තු කොල්ලකා, තොටමුණුවලදී වෙළෙඳුන්ගෙන් පැහැරගන්නා ලද දේපළ සියල්ල මහජනයා අතර බෙදා දීමට නියම විය.

සියලු කඳවුරු ජයගෙන කසාතොට දී එක්විය යුතු යන්න දුටුගැමුණු රජතුමාගේ නිවේදනය විය. ලක්ෂ සංඛ්‍යාත බල සේනාවට සම්මාන හා ත්‍යාග පිරිනැමීම කසාතොට දී සිදුවිය.

විහාර මහා දේවියගේ උපදෙස් අනුව තුන් මසක විවේකයක් සියලුම සෙබළුනට දීමට තීරණය විය. තමන්ගේ මවුපියන්, දරුවන්, බිරින්දෑවරුන් බලා එන්නට ලැබුණු නිවාඩුවෙන් කවුරුත් සතුටට පත්වූහ.

ඉතිරි කොටස උඳුවප් පුර අටවක පෝදා (30) අන්තර්ජාල කලාපයේ පළවේ