Print this Article


අඳුරෙන් එළියට යන මඟ හෙළි කළ තිස්සා උපාසිකාවගේ සැදැහැ සිත

අඳුරෙන් එළියට යන මඟ හෙළි කළ තිස්සා උපාසිකාවගේ සැදැහැ සිත

"ඒ භික්ෂුව ලුණු නැති කාඩි බත් කැඳ ඇය බලා සිටිය දී ම ඉවත දමා පාත්‍රය සෝදා ගත්තා. තිස්සා උපාසිකාවට මහත් සිත් වේදනාවක් උපන්නා. නිවසට පැමිණ ඇඳෙහි වැතිරී හඬන්නටත්, වැළපෙන්නටත් පටන් ගත්තා."

සද්ධාතිස්ස රජතුමා රාජ්‍ය කරන කාලයේ රුහුණු රටේ තිස්සම්බතොට නම් ගමේ මුණ්ඩකගුත්ත නම් එක් දුප්පත් මනුෂ්‍යයෙක් විසුවා. ඔහුගේ භාර්යාව තිස්සායි. ඔවුන්ට එක පුතෙක් සිටියා.

කුලී වැඩ කරමින් ජීවත් වූ මුණ්ඩකගුත්තට දින ගණන් හෝ සති ගණන් ඇතැම් විට වැඩක් ලැබෙන්නේ නෑ.

පවුලේ අගහිඟකම් පිරිමසා ගන්න එවැනි අවස්ථාවල දී ණයට මුදල් ගත්තා. කලක් ගත වන විට කහවණු සැටක් ණය වී තිබුණා. ගෙවා ගැනීමට නොහැකි නිසා ධන හිමියාට සේවය කරන්න සිදු වුණා. ගම්වැසියෝ කණ්ඩායම් වශයෙන්, පවුල් වශයෙන් හා ඥාතීන්, හිතමිතුරන් වශයෙන් එක්වී සංඝයා වහන්සේට දන් දෙන්න පටන් ගෙන තිබුණා. මුණ්ඩකගුත්තටත් දන් දෙන්න ආශාවක් උපන්නා. ඒත් දාන කළමනා ගන්න මුදල් නැතිව පසුතැවුණා. බිරිඳටත් එම සිතිවිල්ලම පහළ වුණා. දවසක් සැමියා අමතා

“ස්වාමිනි, අප පෙර ආත්මවල දන් නො දුන් නිසා මෙසේ දුප්පත් වී ඉපදුණා. මේ ආත්මයේ කෙසේ හෝ දන් දී පින් රැස්කර ගන්න ඕන, ගම්වැසියෝ හැමෝම වගේ දන් පැන් සංඝයා වහන්සේට පිරිනමා පින් අත්කර ගන්නවා. අප කරන්නේ කුමක් දැ”යි විමසා සිටියා.

“මරණය අද හෝ හෙට හෝ පැමිණේ දැයි අප දන්නේ නෑ. රළු හෝ ප්‍රණීත හෝ ආහාරයක් කෙසේ හෝ අපි දන් දෙමු”යි පවසමින් පිළිතුරු දුන්නා.

දිනක් සැමියා ධන හිමියාගේ නිවසේ සේවයට ගිය අවස්ථාවේ තිස්සා උපාසිකාව කාඩි බත් කැඳක් හැදුවා.

එහෙත් එයට දාන්න ලුණුවත් තිබුණේ ණෑ. තුනුරුවන් කෙරෙහි සිත පහදවාගෙන ශ්‍රද්ධාවෙන් යුතුව ඒවා හිස මත තබාගෙන සංඝයා වහන්සේ රැස්වන ශාලාවට ගෙන ගියා. එදින එහි වැඩ සිටියේ ගිහි ජීවිතය විඳ වයසට ගොස් පැවිදි වූ හිමි නමක්. උන්වහන්සේගේ පාත්‍රයට පිළිගන්වා ඒවා වළඳන තෙක් ශ්‍රද්ධාවෙන් බලා සිටියා. ඒ භික්ෂුව ලුණු නැති කාඩි බත් කැඳ ඇය බලා සිටිය දී ම ඉවත දමා පාත්‍රය සෝදා ගත්තා.

තිස්සා උපාසිකාවට මහත් සිත් වේදනාවක් උපන්නා. නිවසට පැමිණ ඇඳෙහි වැතිරී හඬන්නටත්, වැළපෙන්නටත් පටන් ගත්තා. සැමියා පැමිණ ඇයගෙන් තොරතුරු විමසුවත් පැවසුවේ නෑ. නැවත නැවතත් විමසා සිටි විට සියලු පුවත් දන්වා සිටියා.

බිරිඳගේ ශ්‍රද්ධා සිත ඉටුකර දීමට ඔහු තීරණය කළා. හෙතෙම තම පුතා කහවණු අටකට වෙනත් පවුලක සේවයේ යෙදෙව්වා. ලැබුණු මුදලින් කිරි ගවයෙක් මිල දී ගත්තා. නොබෝ දවසකින් ම ඇය පැටියකු වැදුවා. දැන් උදේ සහ සවස කිරි දොවනවා. තිස්සාවගේ ශ්‍රද්ධා මහිමය නිසා ම නැළි හතර බැගින් ලැබුණා. ඒවා දොවා ගත් සැණින් ගිතෙල් බවට පත් වෙනවා.

ගිතෙල් නැළි දෙකක් උදේට දොවා ගන්නවා. එයින් ගිතෙල් මිශ්‍ර බත් සකසා සංඝ රත්නයට පූජා කරනවා. සවස දොවා ගන්නා ගිතෙල් නැළි දෙකින් ගිතෙල් පහන් පූජා කරනවා.

මේ පුවත ගමේ සිටි රාජපුරුෂයකුට අසන්න ලැබුණා. සේවකයකු ලවා පණිවිඩයක් ඔවුන්ට එවනවා ලැබෙන ගිතෙල්වලින් තමාටත් කොටසක් දෙන ලෙසට. පණිවිඩය ගෙන ආ පුද්ගලයා අමතා මුණ්ඩකගුත්ත “පින්වත, ගව දෙනගෙන් ලැබෙන ගිතෙල් බිදුවක්වත් අප භාවිත කරන්නේ නෑ. සංඝයා වහන්සේ වෙනුවෙන්මයි ඒවා වෙන් කරන්නේ. ඒ නිසා ගිතෙල් දිය නොහැකියි” යැයි පවසා සිටිනවා. මේ පුවත රාජපුරුෂයාට දන්වනවා. එයින් ඔහු කෝපයට පත් වෙනවා. ඒ පුවත මුණ්ඩකගුත්තට අසන්න ලැබී “මේ අසත්පුරුෂයා රජුට අප ගැන දොස් කියා අපගේ මේ පින්කම්වලට බාධා පමුණුවන්න පුළුවන්. ඒ නිසා නැළි භාගය බැගින් ඔහුට දෙනවා “යි තීරණය කර දිනපතා ඔහුට ගිතෙල් නැළි භාගයක් දුන්නා. නොබෝ කලකින් සේවය සැපයීමට රජමාළිගයට යාමට ඔහුට සිදු වෙනවා. මේ පුවත දැනගත් මුණ්ඩකගුත්ත එදා පටන් නැවතත් ඔහුගේ නිවසට ගිතෙල් යැව්වේ නෑ. කලක් ගත වී නිවසට පැමිණි විට මේ පුවත ඔහුට අසන්න ලැබී නැවතත් සේවයට වාර්තා කළ අවස්ථාවේ රජතුමා අමතා

“ස්වාමිනි, රජුන්ට දිය යුතු ගව රස සඟවාගෙන මුණ්ඩකගුත්ත නම් තැනැත්තා භුක්ති විදිනවා”යි දන්වා සිටිනවා. “එසේ නම් ඔබ ම ගොස් ඒ ගව දෙනත්, තවත් ගවදෙනුන් සියයකුත් රැගෙන එන්න”යි ඔහුට ම පවරනවා. රාජපුරුෂයා මුණ්ඩකගුත්තගේ නිවසට ගිහින් ගව දෙනත්, තිස්සා උපාසිකාවත්, මුණ්ඩකගුත්තවත්, ගවදෙනුන් සියයකුත් අරගෙන රාජමාළිගාවට පැමිණ රජුට දන්වනවා. රාජ දේවියට නියෝග කරනවා සියලු ආභරණවලින් සැරසී අරුම පුදුම ගව දෙනගෙන් කිරි දොවන්නට. දේවිය කොතරම් උත්සාහ කළත් එක කිරි බිඳුවක්වත් ලබා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. රජතුමා තිස්සා උපාසිකාවත් රාජ දේවිය සේම සරසවා කිරි දොවන්නට අණ කරනවා.

“එසේ ය දේවයන් වහන්ස”යි පවසා ඇය ගවදෙනගේ තනපුඩුවට අත තබනවාත් සමඟ කිරි ඉබේට ම වැගිරෙන්න පටන් ගත්තා. ඇය ගිතෙල් නැළි ගණන් පුරවා රජුට පෙන්වනවා. රජතුමා මහත් සේ පුදුමයට පැමිණ එයට හේතු විමසා සිටිනවා.

එවිට තිස්සා උපාසිකාව

“රජතුමනි, අප බොහෝ සේ දුප්පත්, ණයක් ගෙවා ගැනීමට නොහැකිව කුලී සේවයේ යෙදෙනවා. දනක් දීමට වත්කමක් නෑ. එමනිසා අපගේ එකම පුතු උගසට සේවයේ යොදවා ලබා ගත් මුදලින් මේ ගව දෙන මිල දී ගත්තා. ලැබෙන ගිතෙල් බිඳුවක්වත් අප භාවිත කළේ නෑ. තෙරුන් වහන්සේලාට දන් දීමටත්, පහන් දැල්වීමටත් යෙදෙව්වා”යි කියා සිටියා.

රජතුමා සතුටට පත් වී ඔවුන් ණයෙන් මුදවා තිස්සම්බතොට ගම හිමි කර දුන්නා. භේධකාරී රාජපුරුෂයා ඔවුන්ගේ සේවකයා බවට පත් කළා.

නුවර සමීපයේ ආරාමවල වැඩ සිටි භික්ෂූන් වහන්සේ වැඩමවා දන් පිරිනමා තිස්සා උපාසිකාවගේ ශ්‍රද්ධා මහිමය දන්වා සිටියා.

අඹුසැමි දෙදෙන බොහෝ කුසල් දහම් කොට දිවි කෙළවර දෙව්ලොව උපන්නා. දුප්පත් වී උපත ලැබුවත්, තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් කටයුතු කරමින් වාසය කරන්නාටත්, සංඝයා වහන්සේ උදෙසා දන් පැන් පිරි නමන්නාටත්, ආහාරපානවල හිඟකමක් කිසිදා ඇති වන්නේ නැති බවත්, දන්දීමේ විපාක මේ ආත්මයේ දී ම විපාක දෙන බවත්, තමන් උපයා ගත් දෙයින් කුඩා දෙයක් හෝ ශ්‍රද්ධාවෙන් දන් දීම වැදගත් බවත් මේ කතා පුවතින් අපට කියා දෙනවා.