Print this Article


සහලේනෑයන්ට මතක දානයෙහි පින ලැබෙන නොලැබෙන හැටි

සහලේනෑයන්ට මතක දානයෙහි පින ලැබෙන නොලැබෙන හැටි

මෙම ලිපියේ මුල් කොටස ඉල්පුර පසළොස්වක පෝදා (07) පුවත්පතේ පළවිය.

මළගිය අය තමාට කළ සුළු හෝ උපකාරයක් ජීවත්ව සිටියදී කළේ යැයි සිහි කෙරෙමින් ඔවුන් උදෙසා දන් දිය යුත්තේ ය.

* මරණයත් සමඟ ම ක්ෂණයෙන් ඊළඟ භාවොත්පත්තිය ලැබූවකුට හැඬීමෙන්, වැළපීමෙන්, ප්‍රයෝජනයක් නොවේ. (තමන්ට වෙහසක් පමණි)

*මහ රජ (ඔබ විසින් අද තමන්ගේ පරලොවකට ගිය) නෑයන් උදෙසා යම් දානයක් දෙන ලද්දේ ද, ඒ දානය (නිරුත්තර පුණ්‍යක්ෂේත්‍ර හෙයින්) සංඝයා කෙරෙහි සුපිහිටියේ හෙයින් (ආයු –වණ්ණ –සැප – බල ලෙසින්) පේ‍්‍රත සමූහයාට දීර්ඝ කාලයක් හිත සැප පිණිස විපාක දෙයි. ඒ කෙණෙහිම (ඨාන සො හේතුඵල සහිතව) පහළ වීම් වශයෙන් විපාක දෙයි. (කම්ම හා ධම්ම න්‍යායන්ගේ ආශ්චර්ය අද්භූත ස්වභාවය බුද්ධ දර්ශනය බුද්ධ ධර්මය හරහා පමණක් ම විමසා බලමු.

*මේ දක්ෂිණාව දෙන්නා වූ ඔබ විසින් නෑයන් විසින්, නෑයන් සඳහා කළ යුතු වූ ඥාති ධර්මය දක්වන ලදී. (හැඬීම් වැලපීම් ඥාති ධර්ම නොවේ) පේ‍්‍රතයන් පේ‍්‍රතභාවයෙන් මුදවා දිව්‍ය සම්පත්තියට පමුණුවන්නා වූ ඔබ විසින්) පේ‍්‍රතයන්ට මහත් වු පූජාවක් ද කරන ලදී. භික්ෂූන්හට ශක්තිය දෙන ලදී. ඔබ විසිනිදු මහත් වූ පිනක් රැස් කර ගන්නා ලදී.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ බිම්බිසාර රජතුමා විසින් දන් ලැබීමට සුදුස්සන් (දක්ෂිණාර්භ පුග්ගලො) තෝරා දෙන ලද දානයෙහි (මෙවැන්නන්හට දන්දීමෙන් ලැබෙන පින් මහත් ය) සාර්ථක භාවය දක්වමින් කළ තිරෝකුඩ්ඩ සූත්‍ර දේශනාව ඇසු බොහෝ දෙනා ධර්මාවබෝධය ලැබුවෝ ය. (තිරෝකුඩ්ඩ සූත්‍රය නිමි)

මාතෘකාවට අදාළව පහත කොටස ද කියවා ඉහත සූත්‍ර දේශනාව පිළිබඳ යම් සැකයක් (විචිකිච්ඡාවක්) වූයේ නම් අපි එය පහකර ගනිමින් “මළගිය ඥාති ධර්මය” හැකි හැම විටකම කර ගනිමින් කළ උපකාරයට ප්‍රතිඋපකාර කරන්නෝ වෙමු.

එය ද මෙසේ ය. ඉහත සූත්‍රයේ 5 වෙනි ගාථාවේ “දායකාච අනිප්ඵන” යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ දහම් පදයක් ඇත. යමෙකු ගේ සිතෙහි පරිත්‍යාගමය කුසල කර්මයක් කරන ලද්දේ ද ඔහුට එහිදී ම ඵලය ලබාදීම මගින් දානය දුන් දායකයා ද ඵල රහිත වූවෝ නොවෙති.” යනු එහි අදහසයි.

මේ අදහස ලඝු කොට සැහැල්ලුවෙන් යමෙක් ගන්නේ නම්, ඥාති ධර්මය සලකා අපි දෙන දානයෙහි පින් ගැනීමට අපේක්ෂිත අපේ නෑයා එතැනට නො පැමිණියේ නම් දන් දුන් කෙනා අත්කරගත් පින් ඵල රහිත වේ ද යනුවෙන් අදහසක් සමාජ ගතව ඇද්ද? මේ අදහස අදට පමණක් නොව ජීවමාන භාග්‍යවතුන් වහන්සේ කාලයේ දී ද පැන නැඟීමෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ පිළිතුරු දේශනාවකි.

(ඡාණුස්සෝණි සූත්‍රය + අං.නි.6 -පිටුව 490)

ඡාණුස්සෝණී බමුණා ඉතා ධනවත් මහාසාර කුල මහ පඬිවරයෙකි. මොහු එවකට විසූ චාණක්‍යන, තෝදෙය්‍ය, තාරුකථ පොක්ඛරසාති, වැනි බමුණු මහා පඬිවරුන් සමීපව ඇසුරු කළ අයෙකි. ත්‍රිපිටකාගත සූත්‍ර අතර මජ්ක්‍ධිම නිකාය 1.චූලහත්ථීපදෝපම සූත්‍රය, සංයුත්ත නිකාය 2. නිදාන සංයුත්තයේ ගහපති වග්ගයේ ද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හමුව සාකච්ඡා පවත්වා තෙරුවන් සරණ ගිය උපාසකයෙක් ද වේ.

අංගුත්තර නිකායේ එන මෙම සූත්‍රයේ ද ජානුස්සෝනි බමුණා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ සතුටුවිය යුතු සිහි කටයුතු කතා කොට නිමවා එකත්පස්හි හිඳ මෙසේ ඇසීය. පින්වත් ගෞතමයන් වහන්ස. බ්‍රාහ්මණ අපි, පරලොව ගිය නෑයින් සිහිපත් කර දන් දෙන්නෙමු. මේ මතක දානය නෑයන්ට පැමිණෙත්වා'යි ප්‍රාර්ථනා කරන්නෝ වෙමු. භවත් ගෞතමයන් වහන්ස, ඒ දානය නෑ සහලේ නෑයින්ට පැමිණේ ද? ඔවුහු ඒ දන් පරිභෝග කරත් ද?

බ්‍රාහ්මණය, සුදුසු අවස්ථාවෙහි පැමිණෙන්නේ ය. නුසුදුසු අවස්ථාවෙහි (අස්ථානයෙහි) නොපැමිණෙන්නේ යැයි. භාග්‍යවතුන් වහන්සේ වදාළහ.

භවත් ගෞතමයන් වහන්ස, සුදුසු (ස්ථාන) අවස්ථා හා නුසුදුසු (අස්ථාන) අවස්ථා කුමක්ද? (දස කරුණක් දේශනා කළ සේක)

* බමුණ, මෙලොව ඇතැමෙක් ප්‍රාණඝාත, සොරකම්, කාමයෙහි වරදවා හැසිරීම්,.....ක්‍රෝධ බහුලව මිථ්‍යාදෘෂ්ටිකාදි වෙයි. ඔහු මරණින් මත්තෙහි නිරයට යෙයි. එහි නිරිසතුන්ගේ යම් ආහාරයක් වේ ද එයින් ඔහු යැපෙයි. බමුණ එවන් තැනක සිටියහුට මේ මතක දාන පින් නොපැමිණේ. මෙය අස්ථානයෙකි.

* බමුණ මෙලොව ඇතැමෙක් ප්‍රාණඝාතාදී දස අකුසල් ම කරන්නේ වෙයි. මරණින් මතු තිරිසන් ව උපදී. ඔවුනට යම් ආහාරයක් වේ ද එයින් යැපේ. ඔවුනට ඒ දානය නොපැමිණේ. මෙය අස්ථානයෙකි.

බ්‍රාහ්මණ ය. මෙලොව ඇතැමෙක් ප්‍රාණඝාතාදී දස අකුසලින් වැළකී සම්මාදිට්ඨික වෙයි. ඔහු මරණින් පසු මනුෂ්‍යත්වය ලබයි. මිනිසුන්ගේ යම් ආහාරයක් වේ නම් එයින් යැපෙන්නේ ය. මනුලොව සිටී ද ඔවුනට ඒ දානය නොලැබේ. මෙය ද අස්ථානයෙකි.

* බ්‍රාහ්මණය, මෙලොව ඇතැමෙක් ප්‍රාණඝාතාදි දස අකුසලෙන් වැළැකියේ සම්මා දිට්ඨි වූයේ මරණින් මතු දෙවියන් හා එක්වෙයි. දෙවියන්ගේ යම් ආහාරයක් වේ නම් එයින් යැපේ. ඔවුනට මේ දානය නොලැබේ. මෙය ද අස්ථානයෙකි.

* බ්‍රාහ්මණය. මෙලොව ඇතැමෙක් ප්‍රාණඝාතාදී දස අකුසල් කෙරේ, මිථ්‍යාදෘෂ්ටික වෙයි. ඔහු මෙලොව මරණින් පසු පේ‍්‍රත විෂයයට එළැඹෙයි. එහි යම් ආහාරයක් වේ ද එයින් යැපේ. මිය ගිය ඔහුට නෑයෙක්, සහලේ නෑයෙක් මිත්‍රයෙක් වෙත් නම් ඔවුන්ගෙන් කිසිවෙක් මෙවන් මතක දානයක් දෙත්නම් “හේ ඉන් යැපෙයි. බ්‍රාහ්මණය, (ප්‍රේත විෂයයෙහි) යම් තැනෙක සිටියහුට ඒ දානය එළැඹේ. ඒ ස්ථානයෙකි.

* මෙහිදී බමුණා, පින්වත් ගෞතමයන් වහන්ස, පරලොව ගිය ඥාතියෙක් එතැනට නො පැමිණියේ නම්, කවරෙක් ඒ දානය පරිභෝග කෙරේදැයි? ඇසීය.

* බ්‍රාහ්මණය, පරලොව ගිය වෙනත් නෑයෙක් ලේ ඥාතියෙක් එතැනට පැමිණියාහු වෙත්. ඔහු ඒ දන් පරිභෝග කරයි. මේ ස්ථානයකි.

භගවත් ගෞතමයන් වහන්ස, පරලොව ගිය (අපේක්ෂිත) නෑයා ලේ නෑයා එතැනට නොපැමිණියේ නම්, කවරෙක් ඒ දන් වළඳන්නාහු ද? ඇසීය.

ජාණුස්සෝණි බමුණා ඉහත ප්‍රශ්නය ඇසුවේ මෙසේ දෙන ලද දානයාගේ ඵලය දායකයා නොලබතැයි යන ලබ්ධියෙන් සිට බව භාග්‍යවතුන් වහන්සේ දැන මේ පිළිතුර දුන් බව අටුවාව දක්වයි.

* බ්‍රාහ්මණය, යම් හේතුවකින් මේ (මුලක්–අගක් නොපෙනෙන) දීර්ඝ සසර ගමනේ එවන් පරලොව ගිය නෑයකුගෙන් හිස් වන්නේ ය යන කරුණ විය නොහැක්කෙකි. එය අස්ථානයෙකි. එයට ඉඩක් නැත. එසේ හෙයින් දන් දෙන්නා ද නිෂ්ඵල නොවේ.

භවත් ගෞතමයන් වහන්ස, දානයක විපාක අස්ථානයෙහි ද ලැබෙන බව මුලින් වදාළ සේක. ඒ කවරෙක් ද?

* බ්‍රාහ්මණය ඒ මෙසේ ය. මෙලොව ඇතැමෙක් ප්‍රාණඝාත කරන්නේ වෙයි. මිථ්‍යා දෘෂ්ටික වෙයි. එහෙත් හෙතෙම පැවිදි මහණ බමුණන්ට ආහාර පාන, වස්ත්‍ර, යාන, මල්විලවුන්, ආවාස, ප්‍රදීප දෙන්නේ වෙයි. හෙතෙම මරණින් මත්තෙහි තිරිසන් ලොව හස්තින් ඇතුන් අතර උපදී. එහෙත් ඔහු ආහාර පාන මාලා ආදි අලංකාරයන් ලබන්නේ ය. (මංගල හස්ති වේ)

* බ්‍රාහ්මණය, මෙලොව ඇතැමෙක් දස අකුසල් ම ඇත්තේ වෙයි. එහෙත් ඔහු මහණ බමුණන්ට දන් දෙන්නේ වෙයි. ඔහු මරණින් පසු අශ්ව. ගව සුනඛව ඉපිද ආහාරපාන නානා අලංකාර සැප ලබන්නේ වෙයි. (ආජානීය, අශ්ව, ආජානීය වෘෂභ (ගව) ස්වභාවය) (සුනඛ ස්වභාවයට ගියත් සැප ලබන්නමෝ වෙයි)

* බ්‍රාහ්මණය, මෙලොව ඇතැමෙක් දස අකුසලින් වැලැකුණේ වෙයි. (සම්මා දෘෂ්ටික වෙයි) මහණ බමුණන්ට අවශ්‍ය දෑ දන්දෙයි. මොවුහු මිනිස් ලොව ඉපිද මිනිස් ලොව පස්කම් සැප ලබන සුලුවෙයි. මරණින් මතු දෙවියන්ගේ ස්වභාවයට පැමිණෙයි. එහි දෙවියන් සතු පස්කම් ගුණ ලබන්නේ වෙයි. (සදෙව්ලොවක් වේ)

එහෙයින් බ්‍රාහ්මණය. දානයක් දුන් දායකයා

ප්‍රතිඵල නැත්තෙක් (අනිෂ්ඵල) නොවේ.

භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්යයි. අද්භූතයි. පින්වත් ගෞතමයන් වහන්ස, යම් යම් දානයන් හි ලා දායකයා ද නිෂ්ඵල නොවේ. දන්දීම සුදුසු ම ය. එම කරුණ අදහන්නට සුදුසු ම ය. බ්‍රාහ්මණය, මේ කරුණ එසේ ම ය. මේ කරුණ එසේ ම ය. දායකයා ද නිෂ්ඵල නොවේ. (අපිදු සැකයෙන් තොරව කළගුණ ඇත්තකු ලෙසින් ඥාති ධර්මය සිහිකොට මහ සඟරුවනට නිති දන්දෙන්නෝ වෙමු)