Print this Article


අවශ්‍යතා අඩු තරමට ජීවිතය සැහැල්ලුයි

අවශ්‍යතා අඩු තරමට ජීවිතය සැහැල්ලුයි

යම් ආකාරයකට ලිහිණි කුරුල්ලෙක් කොහේ හෝ දිශාවක් බලා පියාඹා ගෙන යනවා නම් ඒ කුරුල්ලාට දැනෙන එකම බර වන්නේ තම පියාපත් බර පමණයි. අන්න ඒ වගේම තමා භික්ෂුවට ඇති එකම බර පාත්‍රය හා කය පරිහරණයට යොදා ගන්නා චීවරය පමණ යි.

අපේ සමාජයේ ළමුන් පමණක් නොව ඇතැම් වැඩිහිටි උදවිය, රෝගීන්, විශේෂයෙන් කාන්තා පක්ෂය සුභර තත්ත්වයෙන් ඈත්ව සිටිනා ආකාරයක් දක්නට පුළුවනි.

පවුලේ උදවිය විසින් බොහොම අපහසුතා මැද හරිහම්බ කර මේ කියන අය පෝෂණය කරනවා. ඉතින් ඒ අයගේ උපරිම ශක්තියෙන් එහෙම පෝෂණය කළත් ඒවායෙහි අඩුපාඩු ද ඇති වනවා.

එවැනි අවස්ථාවල වැඩිහිටියන්, රෝගීන්, කාන්තාවන්, භාර්යාවන් ඒවායින් සෑහිමකට පත් නො වී බොහොම අපහසුතා මැද තමන්ගේ අවශ්‍යතා ඉටු කරන දරුවන්, උපස්ථායකයන්, ස්වාමි පුරුෂයන් වැනි අයට සැරවැර කරමින්. තමන්ට දුක සේ ලබා දෙන දේ ප්‍රතික්ෂේප කරමින්, ඉවත දමමින් ක්‍රියා කරනවා දක්නට පුළුවන්.

ඇතැම් අවස්ථාවල හිඟමන් ඉල්ලා ගෙයින් ගෙට යන යාචකයන් පවා තමන් අපේක්ෂා කරන ආකාරයෙන් යමක් නො ලැබෙන විට නින්දා අපහාස කරමින් ක්‍රියා කරන ආකාරය ඔබ අප කවුරුත් අත්දැක තිබෙන සුලභ කරුණක් නොවේ ද?

විශේෂයෙන් ම කරණීයමෙත්ත සූත්‍රය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර තිබෙන්නේ භික්ෂූන් වහන්සේ අරමුණ කර ගෙනයි. උන්වහන්සේ සුභර තත්වයෙන් තම ජීවිත පවත්වා ගෙන යාමේ අගය මෙහි දී වටහා ගත යුතු ව ඇත.

චීවර, පිණ්ඩපාත, සේනාසන හා ගිලානප්‍රත්‍යය යයි කියන මේ සිව්පස පරිභෝගයේ දී උන්වහන්සේ සුභර තත්වයෙන් වාසය කළ යුතු බව නොයෙක් අවස්ථාවල දී බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.

එපමණක් නොව විනය පිටකයේ නොයෙක් තැන්වල උන්වහන්සේ විසින් මේ කරුණ සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල පැනනැඟුණු අසතුටුදායක භික්ෂු පැවැතුම් හේතුකර ගෙන විනය නීති රැසක් ම පනවා ඇති ආකාරය මෙහි දී අප විසින් පැහැදිලිව තේරුම් ගැනීම වැදගත් වෙනවා,

එහි දී උන්වහන්සේ කොපමණ සැහැල්ලුවෙන්, සුභර තත්වයෙන් වාසය කළ යුතු ද යන්න පැහැදිලි කරන අවස්ථාවක් ලෙස චූල්ලහත්ථිපදොපම සූත්‍රයේ එක අවස්ථාවක ජානුස්සෝණි නම් බමුණා අමතා බුදුරජාණන් වහන්සේ භික්ෂුවගේ සුභර බව මෙසේ ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව මේ ශාසනයෙහි උතුම් පැවිදි බව ලබන භික්ෂුව තමන්ගේ කයට සෑහෙන චීවරයකිනුත්, කුසට ප්‍රමාණවත් වන පිණ්ඩපාත ආහාරයෙනුත් තෘප්තියට පත් වෙනවා.

මේ කියන භික්ෂුව යම් තැනකට වැඩමවනවා නම් පාත්‍රය හා සිවුර පමණක් ම ඒ යනකොට අරගෙන යනවා. එම කරුණ බුදුරජාණන් වහන්සේ තවදුරටත් පැහැදිලි කරනවා. යම් ආකාරයකට ළිහිණි කුරුල්ලෙක් කොහේ හෝ දිශාවක් බලා පියාඹා ගෙන යනවා නම් ඒ කුරුල්ලාට දැනෙන එකම බර වන්නේ තම පියාපත් බර පමණයි. අන්න ඒ වගේම තමා භික්ෂුවට ඇති එකම බර පාත්‍රය හා කය පරිහරණයට යොදා ගන්නා චීවරය පමණ යි.

මේ නිසා සසර කතරින් එතෙර වීමේ අරමුණෙන් පැවිදි බව ලබන භික්ෂුව සිතේ ඇති වන සැහැල්ලු බව නිසා ම අනවජ්ජ සුවය නිරන්තරයෙන් ම අත්විඳීන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා.

මේ ආකාරයෙන් භික්ෂූන් වහන්සේ තමන්ට ලැබෙන අතිරේක ලාභ ප්‍රයෝජනයෙන් පමණක් සෑහිමකට පත් වී මහත් අපේක්ෂා ඇතිව වාසය කළොත් හැම විටම සිතට සුවයක් දැනෙන්නේ නැහැ. මේ නිසාම අනවජ්ජ සුඛයෙන් භික්ෂුව ඈත් වි දුභර භික්ෂු ජීවිතයක් පවත්වා ගෙන යාමට සමත් වෙනවා.