Print this Article


පහන් සිතක කවි

දිගුකල් දිනේවා!

80 විය සපිරෙන ගෞරවනීය කිරිඳිගල්ලේ ධම්මරතනාභිධාන අප ගුරු දේවයන් වහන්සේ වෙත පිදෙන කාව්‍ය කුසුමාංජලියයි

හතළිස් දෙකේ ඉල් මස දාහත් වැනි දා
මේ ලොව එළිය විය පින්බර පුතු හන්දා
සිරිමල් වියේ දි ම කහවත ගත රන්දා
සසුනට එක් වුණා හිමි ගුණ කඳ හින්දා

අරඹා ගමින් මාරතුගොඩ විදුමැණික
වඩවා ගුණ දහම් දරුවන් මෙ සිරිලක
කරවා ලොව දසත පන්සල් වෙහෙර නෙක
සැනසෙමු අපිත් අද නා හිමි ගුණය දැක

යුරෝපයේ සඟ නායක පදවි ගෙන
නෙක නෙක රටවලට වැඩලා දහම් ගෙන
සනසා බොදුණු හදවත් බුදු මගම ගෙන
නා හිමිසඳුණි බෝ කල් තව වැඩ ඉන්න

දෑ හිතකාමි සිසු පරපුර හදාලා
ලොවට ම දහම් දෙසුමට මඟ තනාලා
කාගෙත් සිත්වලට අම බිඳු පොවාලා
හිමි සුව විඳියි දහමින් සිත නිවීලා

රට ජාතිය ද ආගම හා සසුන් කෙත
ඔපවත් කරයි කාටත් ගෙන දෙමින් සෙත
පින්බර අසූවිය සමරන දහම් කෙත
දිගුකල් දිනේවා දම් මිණ සියත් පත


මෙතෙරින් එතෙරට

අනුන්ගෙ වැරැදි සොය සොය යන සංසාරේ
පිනකට ලැබුණ මිනිසත් බව මේ වාරේ
දුර්ලභ උපත ගෙන නැවතත් පෙර සසරේ
කළ කී දෙය ද කරමින් ඉන්නේ සොයුරේ

තමන්ගෙ කුඹුරෙ වල්පැළ නොගලවා ඉඳන්
අනුන්ගෙ කුඹුරෙ වල් පැළ ගලවනව සැණින්
කුඹුරේ අඩුපාඩු නොපෙනෙන ගොවියාගෙන්
වල් අස්වනු පමණි ගත හැකි සිය කුඹුරෙන්

තමාගෙ පිහිට තමහටමයි සැමදා ම
අනුන්ගෙ පිහිට ගෙන හිටියොත් වැනසීම
දහමේ පිහිට ගෙන සිටියොත් සැනසීම
ලැබෙනා බවයි බුදුහිමියන්ගේ දෙසුම

කලණ මිතුරු සෙවණින් ඕවාද ගෙන
යා යුතු අරිය මග පිරිසිඳව දැන ගෙන
මතු ඉඟි කරන්නට පෙර දුක හඳුනගෙන
පිම්මක් ගසමු මෙතරින් එතරට යැවෙන


දුක හිතෙන කතාවක්

ටවුමේ පාසලේ ලොකු මහත්තයාට
පුදන්න ලොකු සල්ලි නෑ තාත්තා ළඟ
ශිෂ්‍යත්වය ඉහළින් ම පාස් වුණත් මම
පාසල් බසයට දෙන්නට සල්ලි තිබුණෙත් නෑ

කටු මැටි බිත්ති පැලේ පොල් අතු සෙවිළි අතර
එකම වත්කම වී බුසලක කුඹුර පමණි
මගේ ඉගෙනීම දුප්පත්කමින් යට වුණා
වී බුසලක කුඹුරටම මා සින්න වුණා

උදලු මිටේ වියළි සිනිඳු මතු පිටට
දෙඅත්වල රේඛා එක් වුණා නොදැනීම
කරගැට දෑත්වල සිත්තම් කළේ
දුප්පත්කමින් ඉගෙන නොගත් එකේ තරමයි

දවස පුරා ලියදි ගානේ ඇවිදලාම
යටි පතුල් පැලී ඒ අස්සට මඩ රිංගලා
ඒ මඩ සේදීමට ඇලට ගිය කල
දියෙන් බැලුවෙමි මදෙස රජකමට සුදුසු දැයි

නෑ විසුමක් අව්වෙන් මා හට
රිදුම් දෙනවා ගතම කළු කර
පුරාකෘත අකුසලයක මහත
විඳවමි මා වී බුසලක කුඹුරට වී


වඳිනෙමි සිරි දළදා

වැව බෝගම්බර
දළදා ගම්බිර
වැඩමවූ මේපුර
බලන් අසිරි පෙර

හේමමාලාවන්
දන්ත කුමරුවන්
දඹදිව් තලයෙන්
දළදා වැඩුමෙන්

වම් මුනි දළදා
වැඳ පුදා ගත් දා
සිහිවන හින්දා
කවිපද බැන්දා


අට මහ කුසල්

බුදු හිමි ප්‍රමුඛ මහ සඟ වෙත දන් පිදුම
සුදු මුදු ප්‍රතිමා ද පූජාවට සැදුම
හුදු කඨිනය දාන පින්කම නැත හැරුම
කුදු මහ දනන් අටපිරිකර පිදු නිතිම

සදවා ආවාස මහ සඟනට පිදුම
බඳවා වැසිකිළි ද පවරාලන යෙදුම
සොඳවා කෙත්වතු ද පූජාවට පැතුම
යෙදුවා නම් ධර්ම දානය ම යි හොඳම

සඳහන් ඉහත කරුණු ය අට යහ පිදුම
රැඳවෙන් මතු භවය හොඳ ගමනක සැදුම
මුදුනෙන් පිළිගැනෙන දහමේ එන පුදුම
ට කුසල සුගතිය වෙයි සැදුම


නුවණ

මගේ ලොවට බුදු සමිඳු වඩිනවා
බුදු සමිඳුගෙ ගුණ හැඳින ගන්නවා
ඒ ගුණ බලයෙන් නුවණ වඩනවා
නුවණ ලබා ගෙන නිවන් දකිනවා


පින්බර නැඟණියනි

මැදියම් රැයේ
නටුවෙන් ගිලිහී වැටෙන
සේපාලිකා මලක්වන් ඔබ
සුපිපි ගත හා වත

දිරන දරකඩක් සේ දැක
මොහොතක සුව දෙන
දෙතිස් කුණපය ගැන
නැණ මඩල විවර කොට

බුදු සුවඳ ගල්වා
සියොළඟ
සැනසෙන්න
සසර දුක් නිවා


මව් සෙනෙහස ...

දසකඩ මසක් කුස තුළ මා හොවාගෙන
අපමණ දුකක් මා වෙනුවෙන් දරාගෙන
සිත තුළ බියක් නොතබා පසු නොබාමින
සුන්දර ලොවක් ඇත දැන් ඔබ දිනාගෙන

මා වෙනුවෙන් ඉපදුණු දරු සෙනෙහසට
ගතේ රුහිරු හැරුණේ රන් කිරිවලට
සම නොම වේ මේ ලොව අන් කිසිවකට
අම්මේ ඔබ මට දුන් සෙනෙහසට